නැඟෙනහිර නවෝදයෙන් උතුරු වසන්තයට

ශී‍්‍ර ලංකාව, “ඉන්දීය සාගරයේ මුතුඇටය” යන විරුදාවලිිය ලැබූ රටය. එය අපගේ මාතෘභූමියය. මේ මාතෘභූමිය, බෝම්බ, බිම් බෝම්බ පුපුරන හඩින් තොර, තුවක්කු පත්තුවන හඬක් නොමැති දේශයක් බවට පත්විය යුතුය.

එසේ යුධ බියෙන් තොරවූ, සාමකාමී, සහජීවන හා සෞභාග්‍යවත් පුණ්‍ය භූමියක් බවට අප රට පත් කර ගැනීම අපට අසීරු කරුණක් නොවේ. කෙතරම් අසීරු කරුණක් වූවත්, අභියෝගයක් වූවත් සුන්දර රටක් නිර්මාණය කිරීමේ මුඛ්‍ය පරමාර්ථය ඔස්සේ ශී‍්‍ර ලාංකික අපි පියවර තැබිය යුතු වෙමු.

ගමනට අපි මුල පුරා අවසන්ය.

පුරා දශක තුනකට ආසන්න කාලයක් මිනීමරු, ම්ලේච්ඡ කොටි ත‍්‍රස්තවාදීන් ලක් මාතාවගේ ගෙළ සිරකරගෙන තිිබුණි. ලක් මාතාවගේ දරු කැළ සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී 30කට ආසන්න ජනවාර්ගිකයෝ පිරිසක් මින් පීඩා වින්ඳහ.

අද වනවිට කොටි ත‍්‍රස්තවාදය මේ රටින් සහමුලින්ම මුලිනුපුටා දැමීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිර්භීත තීන්දු තීරණ හා නියෝග මත ආරක්ෂක අංශ රණවිරුවන් කි‍්‍රයාකොට හමාරය.

“ත‍්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජයට පත් කළ නොහැකිය; කොටි ත‍්‍රස්තවාදීන් ලෝකයේ අංක එකේ ගරිල්ලා සංවිධානයකි. ඔවුන් සමඟ සටන්වැද මුළු රටම ලේ විලක් වනු ඇත.

“මේ ආණ්ඩුව රට යුද්ධයකට ඇද දමා ජනතාව පීඩාවට පත් කරනවා” යන විවිධ මතවාද, අවලාද, විවේචන මැද ආණ්ඩුව ත‍්‍රස්තවාදය පරාජයට පත්කොට, ඉන් පීඩා විඳි ජනතාව නිදහස් කර ගැනීමේ මානුෂීය මෙහෙයුම් ඇරැඹීය.

වසර 2006 ජුනි මස දී මාවිල්ආරු සොරොව්ව කොටි ත‍්‍රස්තවාදීහු වසා දැමූහ. ඉන් ගොවි පවුල් විශාල පිරිසකට පානීය ජලය ලබා ගැනීම දුෂ්කර විය. ගොවිතැනට අවශ්‍ය ජලය නොලැබුණි.

සියලු කර්මාන්ත, වෙළහෙළඳ්‍රම් බිඳ වැටුණි. මේ මොහොතේ සිය වගකීම පසක් කරගත් රජය සාකච්ඡා මාර්ගයෙන් මාවිල්ආරු සොරොව්ව නැවැත විවෘත කර ගැනීමට කි‍්‍රයා කළහ. කොටි ඊට කන්දුන්නේ නැත.

අවසානයේ ආරක්ෂක අංශ විරෝදාර රණවිරුවෝ මාවිල්ආරු සොරොව්ව නිිදහස් කර ගැනීමේ මානුෂීය මෙහෙයුම් ඇරඹූහ. එදා ඇරැඹි මෙහෙයුම් පුරා වසර දෙක හමාරක්, තුනක් ගතවන අද දවස වනවිට මේ රටේ ජනතාවට උරුම කර දී තිබෙනුයේ, ත‍්‍රස්තවාදයෙන් තොර බිමකි. කොටියා පරාජයට පත් කළ රටකි.

නැවත පදිංචි කරවීම

අද දවස වනවිට රජයට කළ යුතුව තිබෙනුයේ උතුරු පළාතේ මුදාගත් ප‍්‍රදේශවල සිටි ජනතාව නැවැත තම ගම්බිම්වල පදිංචි කරවීමය. ඒ පළාතේ මාර්ග, විදුලිබල, සෞඛ්‍ය, අධ්‍යාපන, වැව් අමුණු වැනි දේ ඇතුළු කාලයක් එහි සිදු නොවනූ සංවර්ධනය ඒ දෙසට ගෙන යෑමය.

කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් නිදහස් කරගන්නා මවුබිම නැවැත සාමකාමී, සහජීවනය හා සෞභාග්‍යමත් දේශයක් බවට පත් කිරීමේ සංග‍්‍රාමය ඇරැඹීම අද දවසේ රජය ඉටු කළ යුතු, ජයගත යුතු විශාල අභියෝගය වී තිබේ.

මාවිල්ආරු සොරොව්ව විවෘත කොට, එහි ජලය යළි සිංහල, දමිළ, මුස්ලිම් ජනතාවට සිත්සේ පරිහරණයට රජය ඉඩකඩ විවර කර දුන්හ. එදා එම මෙහෙයුම්වලදී අවතැන් වූ නැඟෙනහිර පළාතේ ලක්ෂ 1 1/2ක ආසන්න ජනතාව අද වනවිට නැවැත තම මුල් ගම්බිම්වල පදිංචි කර හමාරය.

මෙය අහඹු හා ඉබේ සිදුවූ හෝ ප‍්‍රාතිහාර්යෙක් හෝ නොවේ. ජනාධිපතිවරයාගේ නායකත්වයෙන්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම මත සිදු කළ දැවැන්ත වැඩපිළිවෙළක් නිසා සිදුවූවකි.

විරෝදාර ආරක්ෂක සේනාවෝ සිය දිවි දෙවැනි කොට, කොටින් නැති රටක් බිහි කළහ. එය නැවැත ත‍්‍රස්තවාදයට යට නොවීමට රජය වගබලා ගත්හ. ඒ වගබලා ගැනීමට “නැඟෙනහිර නවෝදය” නම් ජාතික වැඩපිළිවෙළ එළිදැක්විණි.

අද වනවිට මුළු නැඟෙනහිර පළාතේ ම සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත්ව ඇත. කොටියාගේ ම්ලේච්ඡ, කුරිරු ත‍්‍රස්ත කි‍්‍රයා එහි සිදුවන්නේ නැත. සාමාන්‍ය ජනතාව අවුරුදු විස්සකට අස්වද්දා නොතිබූ ඉඩම් දැන් අස්වද්දා ඇත.

මීටර් 200 ක් මුහුදු සීමාව ඉක්මවා නොගිය ධීවරයා අද කිලෝ මීටර් ගණන් දියඹට ගොස් මත්ස්‍ය සම්පත නෙලා ගෙන පැමිණෙතිි. සංචාරක, සන්නිවේදන, ඉදිකිරීම් වැනි අංශවල නවෝදයක් සිදුවෙමින් තිබේ.

දිගුකාලීන ආර්ථික හා සාමාජීයිය සංවර්ධනය උදෙසා අප රටට දැන් නැඟෙනහිර පළාතේ දායකත්වය වැඩි වශයෙන් ලැබීමට පටන්ගෙන තිබේ.

ඉදිකිරීම්වල නවෝදයක්

ත‍්‍රස්තවාදීන්ගෙන් නැඟෙනහිර භූමිය නිදහස් කර ගන්නවාත් සමඟ ම, එහි එතෙක් නොපවත්වා තිබූ පුංචි ඡන්දය රජය පැවැත්විය. ඒ අනුව මඩකළපුව දිස්ති‍්‍රක්කයේ, මඩකළපුව මහ නගර සභාව ඇතුළු ආයතන 10ක පුංචි ඡන්දය පැවැත්විය.

අනතුරුව වසර 20කට පසු නැඟෙනහිර මුල් ම පළාත් සභා මැතිවරණය පැවැත්විය. එම පළාත් සභා හා පුංචි ඡන්දවල දී ඒ පළාතේ ජනතාවට තමන් කැමැති තමන් දන්නා හඳුනන පිරිසක් තම ඬ;ය¤ජිතයෝ ලෙස නිදහස් හා සාධාරණ ඡන්දයෙන් පත්කර ගැනීමට ඉඩ ලැබුණි.

මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හිමිකම ලද නැඟෙනහිර ජනතාව අද භුක්ති විඳින නිදහස, උතුරේ ජනතාවට ද ලබා දිය යුතු වන්නේය.

අපගේ මෙස උත්සාහය, නැඟෙනහිර ජනතාව යළි නවෝදය කරා රැගෙන ඒමට මුල් වූ “නැඟෙනහිර නවෝදය” වැඩපිළිවෙළ යටතේ ඒ පළාතේ සිදුවූ, මෙතෙක් කිසිවෙකු නිවැරදිව කථාබහ නොකළ එක් මාතෘකාවක් පිළිබඳව කතිකා කිරීමටය.

එනම් වෙඩි හඬ හා බෝම්බ පිපිරෙන හඬ නැති උතුරු - නැඟෙනහිර දෙපළාතක් බිහි කිරීම උදෙසා සිදුකරන දැවැන්ත මානුෂීය මෙහෙවරක් පිළිබඳ කතිකා කිරීමය.

ගෞරවාන්විත සාමයක්

උතුරු නැඟෙනහිර පළාත්වල වළ දමා තිබෙන බිම් බෝම්බ ඉවත් කර සම්පූර්ණයෙන්ම ආරක්ෂිත භූමියක් ලෙස එය නැවැත ජනතාවට උරුම කිරීම සඳහා කරන සාමූහික ප‍්‍රයත්නයක් පිළිබඳ කථාවයි මේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන්, ජාතිය ගොඩනැගීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍යංශයට අනුබද්ධිතව බිම් බෝම්බ ඉවත් කිරීමේ ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක වේ. ඒ සඳහා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් ද පත් කොට ඇත.

බිම් බෝම්බ ඉවත් කරමින්...

සංවර්ධනයෙන් ඉදිරියටම...

වසර 2002 දක්වා දිවෙන ඉතිහාසයක් සහිත මේ වැඩපිළිවෙළ ඉකුත් එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ දී කි‍්‍රයාවට නැංවිණි.

කොටි ත‍්‍රස්තවාදියා ඉදිරියේ නිවට, නියාලු ලෙස දණ නමා, මවුබිම පාවාදී සාමය උදා කිරීමට ගත් උත්සාහ පරාජයට පත් කොට අද වනවිට ගෞරවාන්විත සාමයක් ළඟාකර ගැනීමට අපි පියවර තබා ඇත්තෙමු. එහිදීී බෝම්බ ඉවත් වූ භූමියක් ජනතාවට හිමිවිය යුතුය.

නැඟෙනහිර පළාතේ ලක්ෂ 15කට ආසන්න බෝම්බ ප‍්‍රමාණයක් වළ දමා ඇතැයි දළ වශයෙන් ඇස්තමේන්තු කොට ඇත.

මේවා වළ දමා ඇති ප‍්‍රදේශවල හඳුනා ගැනීමක් කොට ඇත. ඒ අනුව එහි බෝම්බ ඉවත් කිරීමේ කි‍්‍රයාදාමය කි‍්‍රයාත්මක කළ ආයතන සංඛ්‍යාව ප‍්‍රධාන වශයෙන් නවය (09) කි.

ශී‍්‍ර ලංකා යුද හමුදාව, හෙලෝ ට‍්‍රස්ට් (Helo Trust) දනිෂ් ඩීමයිනින් ගෘප් (Danish Demining Group - DDG) මිනේෂ්ස් ඇඩ්වසරි (Mines Advisory Group MAG) ස්විස් පදනම (Swiss Foundation for Mine Action - FSD) හොරයිෂන් (Horizon) නෝර්වේජියානු ජනතා ආධාර වැඩපිළිවෙළ (Norwegiun Peopled Aid - NPA) සර්වාත‍්‍රා (Sarvatra) මිලින්ද මොරගොඩ ජනතා බලගැන්වීමේ ආයතනය Milinda Moragoda Institute for Peoples Empowerment - (MMIPE) යන ආයතන මේ කාර්යය ඉටු කරමින් සිටිති.

යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, මන්නාරම යන උතුරු පළාතේ දිස්ති‍්‍රක්ක පහේ ද, ති‍්‍රකුණාමලය, මඩකළපුව හා අම්පාර යන නැඟෙනහිර පළාතේ දිස්ති‍්‍රක්ක තුනේද, උතුරු මැද පළාතේ අනුරාධපුරය හා පොළොන්නරුවේ ද මේ කණ්ඩායම් බිම් බෝම්බ හා මර උගුල් ඉවත් කිරීමේ කාර්යයේ නියැළී සිටිති.

මානුෂීය මෙහෙයුම් සිදුකරන ප‍්‍රදේශවල ආරක්ෂක හමුදාවෝ විසින්ම මේ බිම් බෝම්බ, මර උගුල් ඉවත් කරති. ඊට අමතරව සාමාන්‍ය ජනතාව නැවැත පදිංචි කරවීමට අවශ්‍ය ආරක්ෂිත භූමි නිර්මාණය කරදීම, එහි ජනතාවට ගොවිතැන් බත් කිරීමට අවශ්‍ය ඉඩම් ලබාදීම සඳහා ද ආරක්ෂක අංශ බිම් බෝම්බ ඉවත් කර භූමිය ශුද්ධ පවිත‍්‍ර කර ලබා දෙති.

මෙය අපගේ ආරක්ෂක අංශවල පවතින මානුෂීය ගුණාංග හා මිනිසත්බව ලෝකයට කියාපාන එක සිද්ධියකි. කි‍්‍රයාපද්ධතියකි.

ලංකාවේ විශාලතම පළාත් සභාව නැඟෙනහිරය. එය වර්ග කිලෝ මීටර් 9361 කි. ජන ඝනත්වය ව. කි. මීටරයකට පුද්ගලයන් 159 කි. තෙවැනියට විශාලතම පළාත උතුරය.

එය වර්ග කිලෝ මීටර් 8290 කි. ජන ඝනත්වය 140 කි. මේතරම් අති විශාල භූමි ප‍්‍රමාණයක් වන උතුරු නැඟෙනහිර පළාත් දෙකේ පවතින භෞතික හා මානව සම්පත් ප‍්‍රමාණය අතිවිශාලය.

ලංකාවේ තුනෙන් දෙකක මුහුදු තීරයක් මීට ඇතුළත්ය. වී වගා කැරෙන අස්වැන්න වැඩියෙන්ම ලැබෙන මඩ ඉඩම් හිමි මේ පළාත් දෙකටය.

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ සමාජ ආර්ථික දත්ත 2008 වාර්තාවට අනුව උතුරේ ජනගහනය 11,59000 කි. නැඟෙනහිර ජනගහනය 14,93000 කි.

නිවැරැදි නායකත්වයක් යටතේ කිසිදා ඉටු නොවන සිහිනයක් පසුපස හඹා ගිය සබ්මැරින් පවා නිර්මාණය කිරීමට සමත් දක්ෂ දරුවෝ මේ පළාත්වල සිටිති.

අප කළ යුත්තේ ඔවුහු නිසිමඟට නිවැරැදි නායකත්වයක් ඔස්සේ රට සුරකින මඟට යොමු කර ගැනීමය. ඒ අනුව මේ වනවිට නිවැරැදි දැක්මක් ඔස්සේ රට යළි නිසි මඟට ප‍්‍රවිෂ්ඨ වී තිබේ.

“මහින්ද චින්තන දස අවුරුදු දැක්මට” අනුව කොළඹට හෝ බස්නාහිරට හෝ පමණක් සීමා නොවී රටේ සෑම පළාතකටම සංවර්ධනයේ ප‍්‍රතිලාභ, සංවර්ධන වැඩසටහන් රැගෙන යෑම ආරම්භ වී ඇත.

උතුරු - නැඟෙනහිර දෙපළාතේ දිගු කලක් තිස්සේ සිදු නොවූ සංවර්ධනයක් ආරම්භ කිරීම රජයේ බලාපොරොත්තුවය.

නැඟෙනහිර නවෝදය යටතේ මධ්‍යම රජය ද, නැඟෙනහිර පළාත් සභාව ද, අන් මහජන නියෝජිතායතන ද එක්ව මේ වනවිට එහි දැවැන්ත සංවර්ධන වැඩසටහන් ආරම්භ වී හමාරය. මංමාවත්, විදුලිබල, පානීය ජලය, නිවාස, අධ්‍යාපන, සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කොට තිබේ.

නැඟෙනහිර පළාතේ අලුතින් දැවැන්ත පාලම් රැසක් ඉදිවේ. නව අධිවේගී මාර්ග තැනේ. අලුතින් ම ඕලුවිල්වල අන්තර්ජාතික මට්ටමේ වරායක් ඉදිකැරේ.

දැවැන්ත සංවර්ධනයක්

මේ සියලු වැඩසටහන් වලට අවශ්‍ය අරමුදල් රජය සොයාගෙන අවසන්ය. මේ වනවිට ඒවා කි‍්‍රයාත්මකව පවතී. බැසිල් රාජපක්ෂ මහතාග් ප‍්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා (13) නැඟෙනහිර පළාතේ මාර්ග සංවර්ධන වැඩ සිදු කරන ආකාරය ගැන ප‍්‍රගති සමාලෝචන විශේෂ රැස්වීමක් පැවැත්විණි.

ඊට ඉදිකිරීම් භාර සමාගම්, කොන්ත‍්‍රාත්කරුවෝ, උපදේශකවරු (ඉංජිනේරු සේවා) සහ රජයේ ආයතන සියල්ලගේම ඉහළපෙළේ නිලධාරීහු සහභාගි වී සිටියහ.

එහිදී බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කරනු ලැබුවේ සියලු ඉදිකිරීම් නියමිත දිනට අවසන් කර රජයට භාර දෙන ලෙසය. ප‍්‍රශ්න, ගැටලු ඇතිනම් ඒවා විසැඳීමට වහාම රජය පියවර ගන්නා බවට ඔහු පොරොන්දු විය.

මේ අන්දමට දැවැන්ත සංවර්ධනයක් ළඟාවෙමින් පවතින නැඟෙනහිර පළාත, මුළුමනින්ම ආරක්ෂිත භූමියක් බවට පත්වීම අප කාගේත් සතුටට කරුණකි. එමෙන්ම උතුර පළාත ද කොටි ග‍්‍රහණයෙන් මුදාගෙන, අවසානයේ සියලු බිම් බෝම්බ හා මර උගුල් ඉවත් කොට යළි ජනතාවට ලබාදීම සිිදු කළ යුතු කාර්යයකි.

ඒ කි‍්‍රයාවලිය සිදුවූ විට “උතුරු වසන්තය” නම් වූ සැලසුම් කළ වැඩපිළිවෙළ එහි මැනැවින් කි‍්‍රයාවට නැංවිය හැකිය.

“උතුරු වසන්තය”ත් සමඟ ඒ පළාතට ද යළිත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී හිමිකම්, මානව අයිතිවාසිකම් ලැබී එහි ජනතාව සාමකාමී දේශයක නිදහසේ ජීවත්වීමට වරම් ලබනු ඇත.

දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා, කිසිදු බියකින් හා සැකයකින් තොරව අප රටේ ඕනෑම පුරවැසියෙකුට නිදහසේ ගමන් කිරීමට ඉඩ ලැබෙනු ඇත. ඒ දිිනය වැඩි ඈතක නොවේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා