කොළඹට කොටි ගහන බවට අසත්‍ය SMS යැවූ හෙද නිලධාරියා රිමාන්ඩ්
කොළඹට කොටි ගහන බවට
අසත්‍ය SMS යැවූ
හෙද නිලධාරියා රිමාන්ඩ්
රන්ජිත් පද්මසිරි
පැය දෙකක් ඇතුළත කොළඹ නගරයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වන බවට පසුගිය
සිකුරාදා එස්.එම්.එස්. පණිවිඩ මඟින් අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කිරීම සම්බන්ධයෙන්
අත්අඩංගුවට ගත් මුල්ලේරියාව මානසික රෝහලේ හෙද නිලධාරියකු ලබන 27 වැනි දින දක්වා
රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කවින්ද්‍යා නානායක්කාර මහත්මිය
නියම කළාය.
හෝකන්දර දකුණ පදිංචි කොටුව වත්ත හිරාන් ගයන්ත නමැති සැකකරු මෙසේ
රිමාන්ඩ් භාරයට පත් කළ අතිරේක මහේස්ත‍්‍රාත් වරිය මේ සැකකරුගේ මානසික තත්ත්වය
පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියම කළාය.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළ කොළඹ අපරාධ කොට්ඨාසය සැකකරු හිතාමතාම දැන දැනම කොළඹ
නගරයේ දැනට ඇති වාතාවරණය අනුව මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් සිදුවන බවට මහජන
කැළඹීමක් ඇතිවන අන්දමින් අසත්‍ය ප‍්‍රචාර පතුරුවා ඇතැයි කීය.
හෝමාගම පිටිපන පදිංචි
ජගත් පරණවිතාන මහතා පොලිස් හදිසි ඇමැතුම් අංශයට කළ දැනුම් දීමක් මත පොලිස්පති
වරයාගේ උපදෙස් මත මේ විමර්ශනය ආරම්භ කර තිබේ.
තමාගේ දුරකතනයට ලද එස්.එම්.එස්.
පණිවිඩයකින් ඉදිරි පැය දෙක ඇතුළත කොළඹ නගරයේ හදිසි බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වන බවට
තොරතුරක් ලද බවත් එය එවා ඇත්තේ තම මිතුරකු වූ හිරාන් නමැති අය නිසා තමා ඔහුට
දුරකතනයෙන් කතා කර මේ පිළිබඳව විමසා සිටි විට ප‍්‍රවෘත්තිය සත්‍ය බව ඔහු තහවුරු කළ
බවත් එහෙත් මෙහි ඇති තත්ත්වය නිසා තමන් මේ පිළිබඳව පැමිණිලි කළ බවත් පැමිණිලිකරු
ප‍්‍රකාශ කර තිබේ.
පසුව මේ පිළිබඳව විමර්ශනය කර අසත්‍ය ප‍්‍රකාශ කර මහජන කැළැඹිලි ඇතිකරන බවට චෝදනා කර
සැකකරු අත්අඩංගුවට ගත් බව පැවැසූ පොලිසිය විමර්ශනයේදී මුල්ලේරියාව රෝහලේ තවත් හෙද
නිලධාරියකු වූ ලෙනාඩ් නැමැති අය මේ තොරතුරු ඔහුට පවසා ඇති බවත් ලෙනාඩ් නමැති අයට
සුමනාවතී රණසිංහ නමැති තවත් සේවිකාවක් පවසා ඇතැයි තොරතුරු අනාවරණය වී ඇති බව දන්වා
සිටියේය.
මේ පිළිබඳව තවත් සාක්කි සටහන් කර ගත යුතු බවත් මෙවැනි අසත්‍ය තොරතුරු නිසා ජනතාව
විශාල වශයෙන් මහජන කැළැඹීම් ඇති වී මහජන ජීවිත හා දේපළ විනාශ වීමේ අවදානමක් තිබූ
බව පෙන්වා දුන් පොලිසිය විමර්ශන කටයුතු අවසන් නොමැති නිසා සැකකරු රිමාන්ඩ් භාරයේ
තබන ලෙස ඉල්ලා සිටියේය.
සැකකරු තමා එස්.එම්.එස්. යැවූ බව පිළිගන්නා බව අධිකරණය හමුවේ ප‍්‍රකාශ කිරීම නිසා
සැකකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙස අතිරේක මහේස්ත‍්‍රාත් නානායක්කාර මහත්මිය නියම කළාය.
|