කොටි කටේ සිරවී සිටි සරසවි සිසුන් හය දෙනකුට යළි සරසවි වරම්

කොටි කටේ සිරවී සිටි සරසවි සිසුන් හය දෙනකුට යළි සරසවි වරම්

කොටි ත‍්‍රස්තවාදීන් මුලතිව්හි සිරකරගෙන සිට ඉන් පලා ආ සාමාන්‍ය වැසියන් අතරේ හුන් සරසවි සිසුන් හය දෙනකු ඊයේ (16) යාපනය විශ්වවිද්‍යාලය වෙත යවනු ලැබිණි.

නැවත පදිංචි කිරීමේ සහ ආපදා සහන සේවා අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා සිසුන් හය දෙනාට අවශ්‍ය සියලු පහසුකම්ද ලබාදී යාපනය විශ්ව විද්‍යාලයට යැවීමට කටයුතු යොදා තිබේ.

ඇඳුම් පැළඳුම්, පොත්පත් හා වෙනත් උපකරණද සමඟ වියදම් කටයුතු සඳහා රුපියල් දස දහස බැගින් ද ඔවුන්ට මුහුදු මාර්ග ඔස්සේ යාපනයට යාමට නැව් ටිකට්පත්ද ලබාදීමට අමාත්‍යවරයා පියවර ගෙන ඇත.

එම සිසුන්ට එම අවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම පිණිස සුළු උත්සවයක්ද ඊයේ අමාත්‍යවරයාත් වවුනියාව දිසාපතිනිය ඇතුළු සෙසු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වව්නියාව කච්චේරියේ දී සිදුකෙරිණි.

මේ දරුවන්ගේ අධ්‍යාපනය විනාශ වීමට ඉඩ නොදී ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය පහසුකම් ලබාදීම තම අරමුණ බව මෙහිදී අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත.

වවුනියාව මැණික්ෆාම් සහ නෙළුම්කුලම් අනාථ කඳවුරු දෙක පරීක්ෂා කර එහි සිටින ජනතාවගේ සුවදුක් අවශ්‍යතා සොයා බැලීමට ගිය අවස්ථාවේ අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට මෙම සිසුන් පිළිබඳව දැනගැනීමට ලැබී ඇත.

එහිදී ඔවුන්ගේ අසරණකම පිළිබඳව අවධානය යොමුකර ඔවුන්ට අවශ්‍ය සියලු දේ මෙසේ ලබා දී අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය පියවරද ගෙන ඇත.

කොටි ත‍්‍රස්තවාදීන් මේ දරුවන් මිනිස් පළිහක් ලෙස සිරකරගෙන සිටියදී ඔවුන්ගේ ප‍්‍රහාර මධ්‍යයේම පසුගියදා පලා ඇවිත් ආරක්ෂක අංශ වෙත බාරවී තිබුණි.

එන්.නිරංජ, කේ. යමුනා, ආර්.ලෝගරාජන්, ඒ. උමා මදීශ්වරී, බී.රජීවන් සහ කේ. පුෂ්පාදරන් එම සිසු සිසුවියන් හය දෙනාය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා