වෘත්තීය පත‍්‍රකලාවේදියෝ !

වෘත්තීය පත‍්‍රකලාවේදියෝ !

හිතාමතා ම තම ජාතික වගකීම අත්හරින සියලු මිනිස්සු ද්‍රෝහියෝ වෙති. ගමේ භාෂාවෙන් කිවහොත් ඔවුන ට බූ වල්ලෙන් තැලිය යුතු ය. මාර්ෂල් මැක්ලූහන් නම් ජනමාධ්‍ය විශාරදයා එබඳු පත‍්‍ර කලාවේදීන් හැඳින්වූයේ තක්කඩියා යන අන්වර්ථ නාමයෙන් ය.

ජාතික අර්බුදයක දී කලාකරුවා ට වැට උඩ සිටිය නො හැකි බවත්, ඔහු නිවැරැදි විනිශ්චයක සිට පොදු ජනයා වෙනුවෙන් අප‍්‍රමාද ජාතික මෙහෙවරක යෙදිය යුතු බවත් සම්මානනීය නවකතාකරුවකු වන නුගිගු වා තියෝන්ගෝ කියා තිබේ. ඔහු කළු අප‍්‍රිකානු සමාජයේ වීරයෙකි. අප සමාජයෙහි ද වීරයෝ, ද්‍රෝහියෝ, තක්කඩියෝ හා ජඩයෝ සිටිති. ඔවුන් නිවැරැදි ව හඳුනාගැනීම ට කාලය එළඹ තිබේ.

අද අප ට ඓතිහාසික දිනයෙකි. ශ‍්‍රී ලංකාවේ සියලු ප‍්‍රගතිශීලී බලවේග එක් ස්ථානයක ට රැස් ව දෙවන නිදහස් අරගලයේ ජයග‍්‍රහණය සැමරීම ට කටයුතු යොදා තිබේ. මේ සුවිශේෂී මොහොතෙහි මල්මාලා දමා අභිමානයෙන් පිළිගත යුතු ජනමාධ්‍ය වේදීහූ පිරිසක් ද ගල් ගසා පිළිකුලෙන් පලවා හැරිය යුතු ජනමාධ්‍යවේදී හු පිරිසක් ද සිටිති.

මල්මාලා දමා අභිමානයෙන් පිළිගත යුත්තේ ජීවිතයත් මරණයත් අතර අරගලයක යෙදෙමින් උතුරේ සිට යුද්ධයේ යථාර්ථය වාර්තා කළ ජනමාධ්‍යවේදීනට ය. ගල් ගසා පිළිකුලෙන් පලවා හැරිය යුත්තේ දකුණේ උද්ඝෝෂණ පවත්වමින් පිරිබාහරන් නම් මහ කොටියා ට කඩේ ගිය ජඩමාධ්‍යවේදීනට ය.

රැවුළ, කොණ්ඩය, ඩෙනිම තිබූ පමණින් පත‍්‍රකලාවේදියකු විය නො හැකි ය. සංගමයක නිල තල දැරූ පමණින් ද පත‍්‍රකලාවේදියකු විය නො හැකි ය. ජංගම දුරකථන, ලැප්ටොප්, කැමරා, පෑන් – පැන්සල් ‘නෝට් බුක්’ යන ආම්පන්න විසින් ද හොඳ මාධ්‍යකරුවකු බිහි කරනු නො ලැබේ. ඊනියා මාධ්‍ය නිදහස වෙනුවෙන් කොටුවේ දුම්රිය පොළ ඉදිරි පිට කෑ - මොර දීමෙන් ද යහපත් පත‍්‍ර කලාවේදියකු බිහි නො වේ.

ආසියාවේ පත‍්‍ර කලාවට අලුත් හැඩයක් එක් කළ හින්දු පත‍්‍රයේ කර්තෘ එන්. රාම් මහතා ට උඩු රැවුළවත් නැත. බී. බී. සී. ආයතනයේ ප‍්‍රකට වාර්තාකරුවකු වන ඇලන් ජොන්ස්ටන් තට්ට හිසක් සහිත පුද්ගලයෙකි. ගිය දසකයේ ලොව හොඳ ම මාධ්‍යවේදියා ලෙස සලකන මැට් ඩූ කිසි දු ජන මාධ්‍ය සංගමයකට සම්බන්ධ නැත.

අප මුලින් සඳහන් කළ සියලු දෙනා ත‍්‍රස්තවාදය ට එරෙහි ව පෑන මෙහෙයවන ප‍්‍රකට පුද්ගලයෝ ය. එන්. රාම් කියා සිටියේ පිරිබාහරන් ජීවත් ව සිටින තාක් ශ‍්‍රී ලංකාවට සාමය උදා නො වන බව ය. රාම් මහතා ප‍්‍රාර්ථනා කළ විමුක්තිය අද මෙරට ජනතාව ට ලැබී තිබේ.

ඇලන් ජොන්ස්ටන් මීට ටික කලකට පෙර ත‍්‍රස්ත කණ්ඩායමක් විසින් පැහැර ගන්නා ලදී. ඔහු ගේ අපේක්ෂාව වූයේ ත‍්‍රස්තවාදයේ ඇති මානව - පීඩාකාරී බව ලෝකය ට වාර්තා කිරීම ය. ජොන්ස්ටන් මහතා ගේ අරමුණ ඉටු කර ගැනීම සඳහා දැන් ශ‍්‍රී ලංකාව ට පැමිණිය හැකි ය. කොටි ග‍්‍රහණයෙන් නිදහස් වූ ප‍්‍රාණ ඇප කරුවන් ඒ කතාව ජොන්ස්ටන් මහතා ට කියා දෙනු ඇත.

පිරිබාහරන් නම් මහ කොටියාටත් වඩා නරක ජඩමාධ්‍යවේදීහු පිරිසක් මේ රටේ සිටිති. ඔවුන් පසුගිය කෙටි කාලයෙහි රටට හා ජාතිය ට සිදු කර ඇති හානිය කිසිදු අයුරකින් ගණනය කළ හැකි නො වේ. ජන මාධ්‍ය නිදහස, උතුර ට සාමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් වැනි සංකල්ප වලට මුවා වී ඔවුන් විසින් රඟ දක්වන ලද සියලු නාටකවල ට කොටින් විසින් මිලක් ගෙවා ඇති බව දැන ගන්නට ලැබේ.

මේවා හෙළිදරව් වන විට සමහරුන් රටේ නැත. ජන මාධ්‍ය සංගම් සල්ලි උපයන ව්‍යාපාර බව ට පත් ව ඇති අතර ඒවායෙහි සමහරුන් කොටි සංවිධානයෙ හි උපදේශන මත කි‍්‍රයා කර ඇත. ජඩමාධ්‍යවේදීන් රටේ එක්සත් භාවය ට එරෙහි ව කටයුතු කර ඇති සේ ම පිරිබාහරන් ගේ ඊළාම් සංකල්පය ට නියමින් හා අනියමින් උපකාර කර තිබේ.

මේ අපකීර්තිමත් පුද්ගලයන ට කිසිදු දිනෙක ජාතියේ සමාව නො ලැබෙනු ඇත. ඔවුන් ද්‍රෝහීන් ලෙස හංවඩු ගසා රටෙන් පිටුවහල් කිරීම මැනවි. ත‍්‍රස්තවාදය ට එරෙහි ව එදා පෑන මෙහෙය වූ පත‍්‍ර කලාවේදියා ට ජාතිවාදියා යන ලේබලය වැදිණි. කොටියා ට පක්ෂ ව පිටු ගණන් ලියූ තැනැත්තා ට ප‍්‍රගතිශීලී යන කීර්තිමත් නාමය ලැබිණි.

විවිධ තර්ජන මැද රටේ ස්වෛරීත්වය වෙනුවෙන් ජාතික මෙහෙවරක යෙදුණු පත‍්‍ර කලාවේදීනට සම්මාන පුදන්නට කෙනකු සිටියේ නැත. සියලු ජන මාධ්‍ය සංගම් ව්‍යාජ සාමයේ එල්ලීගෙන පිරිබාහරන්ට උපකාර කළේ ය. මේ සංගම් වල බොහෝ දෙනා කිලිනොච්චියට ගොස් කොටින් ගේ සංග‍්‍රහ භªක්ති වින්දා හ. ඔවුන්ගෙන් ප‍්‍රසංශා ලබා ගත්තා ය. චෙක්පත් සාක්කුවේ දමා ගත්තා හ.

දැන් අප ගේ අවධානය යොමු විය යුත්තේ ඉහත සඳහන් පව්කාරයන් හෙවත් ජඩමාධ්‍යවේදීන් කෙරෙහි නො වේ. ත‍්‍රස්තවාදයට එරෙහි ව හුදෙකලා සටනක නිරත වූ ජනමාධ්‍යවේදී හු පිරිසක් අප ට සිටිති. සටන් විරාම, සාම සාකච්ඡා, සුදු නෙළුම් වැනි ව්‍යාපාර රාජ්‍ය අනුග‍්‍රහය මත කි‍්‍රයාත්මක වෙද්දී පවා ඔව්හු තම ජාතික මෙහෙවර ඉටු කළ හ. ඇතැම් විට ඔවුන් සොයා පැමිණියේ විවේචන, අපහාස හා තර්ජනය.

එහෙත් පත‍්‍ර කලාවේදියකු ගේ ජාතික වගකීම තේරුම් ගත් මේ පිරිස තම රාජකාරිය අකුරට ම ඉටු කළ හ. ඔව්හු අද තම සටන ජයග‍්‍රහණය කර තිබේ. එය දෛවයේ හාස්කමක් නො ව අප‍්‍රමාණ කැප කිරීම් වල ප‍්‍රතිඵලයෙකි. මේ ජයග‍්‍රහණයේ ගෞරවයෙන් කොටසක් ත‍්‍රස්තවාදය ට එරෙහි ව පෑන මෙහෙය වූ පත‍්‍ර කලාවේදීන් වෙත ද හිමි විය යුතු ය. අපි ඔවුන ට හිස නමා ආචාර කරමු.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ත‍්‍රස්තවාදය පිටුදැකීම සඳහා අලුත් න්‍යායක් ලොවට හඳුන්වා දෙන අතර යුද වාර්තාකරණය පිළිබඳ අලුත් ජනමාධ්‍ය සම්ප‍්‍රදායක් ඇති කිරීමට තවත් පිරිසක් සමත් වූහ. මේ ජනමාධ්‍යවේදීන් සජීවී යුද වාර්තාකරණයට නව හැඩයක් එක් කර තිබේ. එය නිතැතින්ම අභියෝගාත්මක කාරණෙයෙකි.

ඉරාකයේ දී ඇෆ්ඝනිස්තානයේ දී පලස්තීනයේ ගාසා තීරයේ දී සුළු වශයෙන් අප මේ අත්දැකීම විද ඇතත් මුළුමනින් ම යුද්ධයක් සජීවී ව වාර්තා කරනු දැක නැත. ත‍්‍රස්තවාදියා ගේ වෙඩි උණ්ඩ, කාල තුවක්කු ප‍්‍රහාර, මෝටාර් ප‍්‍රහාර මැද අව්ව, වැස්ස, පස් බැමි, මර උගුල් මැදින් ගොස් සිදුවීම් රූපගත කිරීම අතිශය දුෂ්කර තවත් මෙහෙයුමකි. ඒ මෙහෙයුම අප ගේ මාධ්‍යවේදීන් අතින් සාර්ථක ව නිම වී ඇත.

සමන් රාමවික‍්‍රම, සුජිත් විදානපතිරණ, අනුර දොරකුඹුර, ශානක ද සිල්වා, අශෝක වීරසිංහ, අමල් සමන්ත, ඉහත සඳහන් මාධ්‍ය මෙහෙයුමේ දී අප සිහියට නැඟෙන නම් කිහිපයෙකි. එහෙත් මේ ජාතික කාර්යය පිටුපස තවත් විශාල පිරිසක් සිටිති.

ඒ සියලු දෙනා ම ජන මාධ්‍ය වීරයන් ලෙස හඳුන්වා දෙන්නට කැමැත්තෙමු. රට වෙනුවෙන්අකුරක් නො ලියා ජනමාධ්‍ය වීරයන් වීමට දඟලන ව්‍යාජ පත‍්‍ර කලාවේදීනට සුජිත් විදානපතිරණ ලා, සමන් රාමවික‍්‍රම ලා ආදර්ශයක් ම වේවා! ද්‍රෝහීන් ප‍්‍රතික්ෂේප කරමු. වීරයන් පිළිගනිමු.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා