නගර කිහිපයකට සීමා වූ පිහිනුම් ක්‍රීඩාව

නගර කිහිපයකට සීමා වූ පිහිනුම් ක්‍රීඩාව
ගමටත් ගෙන යෑම මගේ අපේක්ෂාවයි

ජාතික ජල ක්‍රීඩා අතුරු කමිටු සභාපති, ඇමැති මෛත්‍රීපාල සිරිසේන

පසුගිය කාලයේ දී ජල ක්‍රීඩා පරිපාලනයේ මතු වූ අර්බුද හේතුවෙන් ජල ක්‍රීඩා අතුරු කමිටුවක් නම් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගත්තේ ය. මෙයට මාස කිහිපයකට පෙර නම් කළ ජල ක්‍රීඩා අතුරු කමිටුවේ සභාපතිවරයා වූයේ කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාය. වත්මන් ජල ක්‍රීඩාව පිළිබඳ ඒ මහතා සමග පැවැත්වු සංවාදයක සටහනයි මේ.

ප්‍රශ්නය – ජල ක්‍රීඩා අතුරු කමිටුව පත් කරලා මාස කිහිපයක් ගතවෙලා දැන් පිහිනුම් ඇතුළු ජල ක්‍රීඩාවේ තත්ත්වය කොහොමද?

පිළිතුර – අතුරු කමිටුව පත්කරන්න කලින් ජල ක්‍රීඩාව නගර කිහිපයකට සීමාවෙලා තිබුණේ. කොළඹ, මහනුවර හා ගාල්ල වැනි ප්‍රදේශ කිහිපයකට සීමා වී තිබූ ජල ක්‍රීඩාව ගමට ගෙන යෑම මගේ පළමු සැලස්මයි. ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකම ජල ක්‍රීඩා සංගම් පිහිටුවීමට ක්‍රියා කළා.

දැන් දිස්ත්‍රික්ක 15ක පමණ සංගම් පිහිටුවා අවසන්. ඉතිරි සංගම් කිහිපයත් ඉක්මනින් පිහිටුවා සෑම පළාතකම ජල ක්‍රීඩාවට උනන්දුවක් ඇති කිරීම බලාපොරොත්තුවයි. නගරයට සීමා වී තිබූ ජල ක්‍රීඩාව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමේ ජාතික වැදගත්කම තේරුම් අරගෙනයි සැලසුම් සකස් කරන්නේ.

ප්‍රශ්නය – ජල ක්‍රීඩා අතුරු කමිටුව පත් කරන්න කලින් තිබුණ දුර්වලතා හඳුනාගෙන තිබෙනවාද?

පිළිතුර – ඔව්. පිහිනුම් වැනි ක්‍රීඩා සඳහා වැඩි වශයෙන් පාසල් දරු දැරියන් සහභාගි වෙනවා. එවැනි තත්ත්වයක දී පාසල් ජලක්‍රීඩා සංගමය හා ජාතික ජලක්‍රීඩා සංගමය එකට වැඩකළ යුතුයි.

පසුගිය කාලයේදී ඒ සංගම් දෙකේ නිලධාරීන් එක්ව වැඩ කරලා නෑ. ඒ පරතරය තුළින් ඇති වූ අඩුපාඩුව සමස්ත පිහිනුම් ක්‍රීඩාවට ම බලපා තිබුණා.

පාසල්වල දක්ෂ දරු දැරියන් ඉදිරියට ගැනීමට පාසල් සංගමය සමග ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍යයි. අනවශ්‍ය වාද භේද නැතිව ක්‍රීඩාව දියුණු කිරීම අපේ වගකීමයි.

ප්‍රශ්නය – ගමට ජලක්‍රීඩාව ගෙන යෑමේ වැඩපිළිවෙළ සාර්ථක කරගත්තේ කොහොමද?

පිළිතුර – රටක් වශයෙන් ගත්තහම පිහිනුම් තටාක සීමිතයි. ගමේ දරු දැරියෝ පුහුණු කටයුතු කරන්නේ ගංගාවල් වැව් හා ඇළ දොල ආශ්‍රිතවයි.

ඒ අයට තාක්ෂණයත් සමග පුහුණුව ලබාගන්න පිහිනුම් තටාක ඇති කිරීම ප්‍රධාන ඉලක්කයක්. සෑම දිස්ත්‍රික්කයකම අංග සම්පූර්ණ පිහිනුම් තටාකයක් හැදීම මගේ බලාපොරොත්තුවයි.

ජනාධිපතිතුමාගේත්, රජයේ හා පෞද්ගලික අංශයේ ත්, සහයෝගයෙන් වසර 2ක සැලස්මක් අනුව ගමේ දරුවන් වෙනුවෙන් පිහිනුම් තටාක සෑදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.

ප්‍රශ්නය – දැනට ඒ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවාද?

පිළිතුර – පසුගිය කාලයේ එය ආරම්භ වූවා. ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් හම්බන්තොට අංග සම්පූර්ණ පිහිනුම් තටාකයක් ඉදිකළා. මා පොළොන්නරුවේ පිහිනුම් තටාකයක් හැදුවා. පියවරෙන් පියවර මේ නව සැලස්ම ක්‍රියාත්මක කරනවා.

ප්‍රශ්නය – ජල ක්‍රීඩාවට උපකරණ හිඟයක් තිබෙනවා නේද?

පිළිතුර – විශාල හිඟයක් තිබෙනවා. මේ උපකරණ හිඟය නිසා ගමේ පිහිනුම් ක්‍රීඩාව ආපස්සට ගිහින්. ඒ දරුවන්ට පසුගිය කාලවල දී කිසිම දෙයක් වෙලා නෑ. මා පත්වෙලා තවම කෙටි කාලයයි. අඩුපාඩු හදුනාගෙන තිබෙනවා.

ප්‍රශ්නය – පිට පළාත් තරග සංවිධානය දුර්වලයි කියා චෝදනාවක් තිබෙනවා නේද?

පිළිතුර – පිට පළාත්වල ජල ක්‍රීඩා තරග සංවිධානයේ අධිකාරිය පළාත් සභාවලට දිය යුතුයි. ජාතික සංගමය හැම වැඩක්ම බදාගෙන ඉන්නේ නැතිව දිස්ත්‍රික් ක්‍රීඩා සංගම්වල සම්බන්ධතාව සමඟ පළාත් මට්ටමට ගෙන යා යුතුයි. ප්‍රාදේශීය තරග පවත්වා සුදුස්සන් තේරීමේ බලතල ඒ අයට දිය යුතුයි.

පළාත් සභාවල ක්‍රීඩා අමාත්‍යාංශයක් තිබෙනවා. ක්‍රීඩා අංශයක් තිබෙනවා. නිලධාරින්, පුහුණුකරුවන් සිටිනවා. කොළඹට බලය කේන්ද්‍රකරගෙන ඉන්න ඕනේ නෑ.

ප්‍රශ්නය – ජාත්‍යන්තර තරගවලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමේදී ජල ක්‍රීඩා සංගමයට විශාල චෝදනා එල්ලවි තිබුනා නේද?

පිළිතුර – පසුගිය කාලයේ එවැනි චෝදනා තිබුණා. මා අතුරු කමිටුව භාරගත් පසුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමට පිළිගත් පොදු ප්‍රතිපත්තියක් නිර්මාණය කළා. ඒ අනුව ජාත්‍යන්තර තරගවලට යෑමට සුදුසුකම් ලබන්නේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තේරීම් තරගවලට සහභාගි වී ජය ලබන අය පමණයි.

පසුගිය කාලයේ තේරීම් තරග නැතිව පිටරට ඉන්න අය විදෙස් තරගවලට යවා තිබෙනවා. ඒ තත්ත්වය වෙනස් කළා.

ප්‍රශ්නය – ලබන වසරේ පැවැත්වෙන සාෆ් ක්‍රීඩා තරගාවලියට සූදානම කොහොමද?

පිළිතුර – ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ සම්බන්ධව පිහිනුම් සංචිත ඉක්මනින් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ දරු දැරියන්ට විදෙස් පුහුණුකරුවෙකුගේ උපදෙස් අනුව පුහුණුවක් අවශ්‍යයි.

මා දැනටමත් චීනයෙන් පුහුණුකරුවෙක් ඉල්ලා තිබෙනවා. එය ඉටුවේවි කියා මගේ විශ්වාසය. සාෆ් තරගාවලියට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් ලබාදී වැඩි පදක්කම් ප්‍රමාණයක් ලබාගැනීමට හැකි වැඩපිළිවෙළක් නිර්මාණය කළ යුතුයි.

ප්‍රශ්නය - වෝටර් පොලෝ කණ්ඩායමක් විදෙස් තරගාවලියකට යෑම නවත්වා තිබෙනවා. ඒ ඇයි?

පිළිතුර - තේරීම් කමිටුව යම් තීරණයක් දුන්නොත් එයට මා අතගහන්නේ නෑ. ක්‍රීඩා පාලකයන් තේරීම් කමිටුවට අභියෝගයක් වන පරිදි වැඩකිරීම වැරදියි. තේරීම් කමිටුවේ තීන්දු නැවත සලකා බලනවා නම් ක්‍රීඩා අමාත්‍යාංශය මගින් විය යුතුයි.

ප්‍රශ්නය - රටේ සමස්ත ක්‍රීඩා තත්ත්වය ගැන අදහස කුමක්ද?

පිළිතුර - පොදුවේ බැලුවහම ක්‍රීඩාවේ තත්ත්වය ගැන සතුටු විය හැකියි. ලෝකයේ ඕනෑම රටක ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග තරග කර ජය ලබන්න අවශ්‍ය හැකියාව දක්ෂතාව හා ආත්ම විශ්වාසය අපේ දරුවන්ට තිබෙනවා.

ඒ අයගේ දක්ෂතා වැඩිදියුණු කරගන්න උපකාර කිරීමයි අපේ යුතුකම. ක්‍රීඩා පුහුණුවට තිබෙන අඩුපාඩු සොයා බලා ඒවා නිවැර½දි කර නගර කිහිපයකට සීමාවී ඇති ක්‍රීඩාව ගමට ගෙන යෑම ඉක්මන් කළ යුතුයි. එවිට අපේ රටට විශාල ජයග්‍රහණ අත්කරගත හැකියි.

ප්‍රශ්නය – ජල ක්‍රීඩා සංගමයේ සභාපති ලෙස ඔබේ ඉලක්කය කුමක්ද?

පිළිතුර – මට ඕනෑ කරන්නේ ක්‍රීඩාව දීපව්‍යාප්තව ශක්තිමත් කිරීම. ඒ තුලින් ඉලක්ක රාශියක් සපුරාගත හැකියි. මා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ඉල්ලන්නේ දැනට තිබෙන සීමිත සම්පත් එක්ක කැපවීමෙන් ඉදිරියට එන ලෙසයි.

දුර්වලතා ඇති කරගන්න හොඳ නෑ. පසුබසින්න හොඳ නෑ. අංගසම්පූර්ණ තත්ත්වයන් යටතේ ජයග්‍රහණ ලබපු තැනක් ලෝකේ කොහේවත් නෑ. මොන අඩුපාඩුකම් තිබුණත් ජයග්‍රහණ සඳහා කැපවිය යුතුයි. අපට ලබාදිය හැකි උපරිම සහයෝගය ජාතික වගකීමක් සේ සලකා ලබාදෙනවා.

ප්‍රශ්නය – අතුරු කමිටු සභාපති ලෙස කොපමණ කලක් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවාද?

පිළිතුර – වැඩි කාලයක් නොගොස් නිලවරණයක් පවත්වනවා. දිස්ත්‍රික් සංගම් පිහිටුවා, අවසන් වූ පසු නිලවරණය තැබිය හැකියි. මේ වසර අවසානවීමට පෙර නිලවරණය තබනවා.

ප්‍රශ්නය – ජල ක්‍රීඩා සභාපති තනතුරට ඉදිරිපත් වෙනවාද?

පිළිතුර – මගේ විශේෂ බලාපොරොත්තුවක් නෑ. ඒක නිලවරණය වෙලාවට සලකා බලනවා.

ප්‍රශ්නය – රාජකීය විද්‍යාලයේ පිරිසක් බලවත් ඉල්ලීමක් කරනවා නේද?

පිළිතුර – ඔව්. විශේෂ ඉල්ලීම් ගණනාවක් නිසා තමයි අතුරු කමිටුව භාර ගත්තේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා