‘චැනල් ෆෝ’ සමාව නොගත්තොත් නීතිය ක්‍රියාත්මක කරනවා

‘චැනල් ෆෝ’ සමාව නොගත්තොත් නීතිය ක්‍රියාත්මක කරනවා

මහින්ද සමරසිංහ - මානව හිමිකම් හා ආපදා කළමනාකරණ අමාත්‍ය

ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට හානි කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍යයේ චැනල් - 4 රූපවාහිනිය විකාශය කළ අසත්‍ය වීඩියෝ පටය පිළිබඳ සැබෑ තත්ත්වයත්, ඊට එරෙහිව රජය ගත් ක්‍රියාමාර්ග හා ඉදිරි පියවර ගැනත්, ඉදිරියේදී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට වැඩපිළිවෙළක් ඇතිකර ගැනීම ගැනත් මානව හිමිකම් හා ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අදහස් දැක්වු අයුරු.

* ශ්‍රී ලංකාවට හා ආරක්ෂක හමුදාවට කැළලක් ඇති කිරීම, බ්‍රිතාන්‍යයේ චැනල් - 4 රූපවාහිනිය විකාශය කළ අසත්‍ය වීඩියෝවේ අරමුණයි. මේ පිළිබඳව සිදුකළ විද්‍යාත්මක පරීක්ෂණවල ප්‍රතිඵලවලින් පසු ඉදිරි ක්‍රියාමාර්ග සිදුවෙන්නේ කොහොමද?

මේ අසත්‍ය වීඩියෝ පටය පිළිබඳ සිදුකළ ස්වාධීන, විද්‍යාත්මක පරීක්ෂණ ඔස්සේ පිළියෙළ වුණු වාර්තාව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්තුමාට අපි යොමු කළා. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එතුමා තමයි එය චැනල් - 4 නාලිකාවට භාර දෙන්නේ. ඒ අය මේ ගැන ප්‍රතිචාරයක් දක්වනවාද නැද්ද කියන එක ගැන අපි සැළකිලිමත් වෙනවා.

මේ අතර, අපේ නීතිපතිතුමා මේ සතිය අගදී එංගලන්තයට ගොස් මේ කාරණය පිළිබඳ අප ගනුදෙනු කරන නීතිඥ කණ්ඩායම හමුවෙනවා. ඒ අනුව නෛතික වශයෙන් ගත හැකි පියවර පිළිබඳව සොයා බලනවා.

මීට අමතරව බ්‍රිතාන්‍යයේ පුවත්පත් මණ්ඩලය හරහා මේ සම්බන්ධයෙන් අපට කළ හැකි කුමක්ද කියන කාරණය ගැනත් අපි එම නීතිඥ කණ්ඩායම විමසා තිබෙනවා.

මොකද, අපේ ඉලක්කය මේ අවස්ථාවේදී ඔවුන් සමාවගත යුතුය යන කාරණය පමණක් නොවෙයි, නැවතත් මෙවැනි දෙයක් ඇති නොවන වැඩපිළිවෙළකට යාමයි.

එවැන්නක් ඇති නොවීමට වගබලා ගැනීම වැදගත් වෙන්නේ මෙවැනි දෙයකින්. අපට සිදුවන හානිය ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට අපට ගතවන කාලය, මෙවැන්නක් අසත්‍ය බව විද්‍යාත්මකව සනාථ කළත් සුළු පිරිසක් හෝ මෙය සිතෙහි තබාගෙන සිටීම වගේ කාරණා නිසා.

ඒ නිසා හොඳ ම විසැඳුම තමයි යළිත් මෙවැනි සිදුවීමක් ඇතිනොවන පරිදි කිසියම් එකඟතාවයකට එළැඹීම.

මේ වීඩියෝ පටය චැනල් - 4 නාලිකාවට ලබාදීලා තියෙන්නේ බර්ලින් කේන්ද්‍ර කරගෙන පවතින ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) නම් සංවිධානයක් මඟින්.

මේ සංවිධානය ලියාපදිංචි කරලා තියෙන ලිපිනයේ රංජිත් හෙන්නනායක නම් සිංහල අයෙකුත් සිටිනවා. ඔහු විවාහ වී සිටින්නේ යුරෝපා පාර්ලිමේන්තුවේ හරිත පක්ෂයේ මන්ත්‍රීවරියක වන ලොක් බයිලර් සමඟයි. මේ සංවිධානයේ සාමාජිකයන් කවුද යන වගත් දැන් අපි අනාවරණය කරගෙන තියෙනවා.

ඒ අතර සිංහල, දෙමළ දෙපිරිසම ඉන්නවා. මේ වැඩේ සම්පූර්ණයෙන් සංවිධානය කරලා තියෙන්නේ. ඉන්ටර්නැෂනල් නෙට්වර්ක් ප්‍රෝ ශ්‍රී ලංකන් ඩයස්පෝරා (INSD)  කියන සංවිධානය. ඒකේ මේ කියපු කවුරුත් ඉන්නවා.

* ශ්‍රී ලංකා රජය මේ වීඩියෝ පටය අසත්‍යයක් බවට සාධක සහිතව, පරීක්ෂණවල ප්‍රතිඵල අනුව කරන දැනුම්දීම චැනල් - 4 නාලිකාවට ලැබීමෙන් පසු ඔවුන් ඒ පිළිබඳව නිල මට්ටමෙන් සමාව අයැදීමක් නොකළොත් රජය නීතිමය ක්‍රියාමාර්ග කරා යොමුවීමට සූදානම්ද?

ඔව්, අපට නීතිමය ක්‍රියාමාර්ගයකට විශේෂයෙන් යාමට සිදුවෙනවා. මොකද මෙවැනි ව්‍යාජ වීඩියෝ පටයක් නිර්මාණය කිරීමෙන්, මේ රටේ ජනතාව අතර නැවත ගැටුමක් ඇතිකිරීමට උත්සාහ දරා ඇති බව පෙනෙනවා.

මේ ගැන පාර්ලිමේන්තුවේදී මං කරුණු දැක්වූ අවස්ථාවේ, මේ වීඩියෝ පටය පිළිබඳ පැහැදිලි කරල දීලා, අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් ද්‍රවිඩ මන්ත්‍රීවරයකුත් සතුට පළ කළා.

මෙය දැකීමෙන් පසු ද්‍රවිඩ අය විශාල ලෙස කම්පනයට පත්වුණ බව ඔහු කිව්වා. අනෙක් පැත්තෙන්, රටේ ප්‍රතිරූපයට විශාල හානියක් සිදුකිරීම මේ උදවියගේ අපේක්ෂාව වෙලා තියෙනවා.

අනෙක් කාරණය අවුරුදු 30 කට පස්සේ අපේ රට නැවතත් යම් දේශපාලන ආර්ථික හා සමාජ ස්ථාවරභාවයකට ඇවිත්. ඒ ස්ථාවරත්වය බිඳදැමීම සඳහා වන වැඩපිළිවෙළක් හැටියටත් අප මෙය දකිනවා.

රටේ ආර්ථිකය හොඳ අතට හැරෙමින් තියෙද්දී සංචාරකයන් වැඩියෙන් රටට ආකර්ෂණය වෙමින් සිටිද්දී ඒ සියල්ල අවුල් කිරීම මෙවැනි ප්‍රයත්නයන්ගේ අරමුණක් බවත් පැහැදිලියි.

ඊළඟට මේ මෙහෙයුම සිදුකළ දේශපාලන හා හමුදා නායකත්වයන් ජාත්‍යන්තරයට ගෙන ගොස් දඬුවම් කිරීමේ වෑයමකුත් මේකේ තියෙනවා. මේ හැම දෙයක්ම කරන්න හදන්නේ මෙවැනි බොරු ගොතලා.

කලින් එහෙ හිටපු වෛද්‍යවරු හතරදෙනෙක් යොදාගෙන එක් ප්‍රයත්නයක් දැරුවා. දැන් ඒ වෛද්‍යවරුම කියනවා ඔවුන් කළේ බොරුවක් කියලා.

* කිසියම් දුරකට හෝ එවැනි ප්‍රයත්නයක් වළක්වා ගැනීම සඳහා වන වැඩපිළිවෙළකට යාමේ හැකියාවක් තියෙනවද?

ජාත්‍යන්තර මාධ්‍යයත් එක්ක කතා කරලා යම් එකඟතාවකට එන්න සිදුවෙනවා, මෙවැනි දේවල් ලැබුණාම වගකීමෙන් ක්‍රියාකරන්න කියලා. මාධ්‍ය තමන්ගේ කාර්යය ඉටුකරන එක විතරක් නෙවෙයි මෙතැන තියෙන්නේ ඔවුන් එය වගකීමෙන් ඉටුකළ යුතුයි.

මේ සිද්ධියේදී එවැනි වගකීමක් තිබිලම නැහැ. අඩුම තරමේ මේ වීඩියෝ පටය ලැබුණාම චැනල් - 4 නාලිකාව JDS කියන මාධ්‍ය සංවිධානය මොකක්ද කියල අන්තර්ජාලයෙන් හෝ විපරම් කළා නම් එහි බ්ලොග් අඩවිය පටන් අරන් තියෙන්නෙත් අගෝස්තු 1 දා කියලා ඔවුන් දකිනවා.

ඒත් ඒ තරම් විමසීමක්වත් කරලා නැහැ. ඒ නිසා මෙතැන තියෙන්නේ නිදහස් මාධ්‍යයක කාර්යභාරය පිළිබඳ කාරණය පමණක්ම නොවෙයි. වගකීමකින් ඒ කාර්යභාරය ඉටුනොකිරීමේ ප්‍රශ්නයක් තියෙනවා.

රටේ ප්‍රතිරූපයට හානියක් වෙන්න අපිට කිසිසේත් ඉඩදෙන්න බැහැ. රටේ ප්‍රතිරූපයට හානි වෙනවා කියන්නේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ අපි කාටත් හානි වෙනවා කියන එකයි.

එවැනි හානියක් වුණාම, අපි කවුරු වුණත් වෙනත් රටකදී අපේ ගමන් බලපත්‍රය ශ්‍රී ලාංකිකයකු හැටියට ඉදිරිපත් කළාම ඔවුන් වපර ඇහින් බලන්නේ.

මේ නිසා ජනාධිපතිතුමාගේ උපදෙස් මත අපි මේ සම්බන්ධයෙන් වැඩි වෙහෙසක් දරලා ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇති නොවන මට්ටමට යාමට සූදානම්. මේ කාරණයේදී ආරක්ෂක ලේකම්තුමා ඉටුකළ කාර්යභාරය අපි ඉහළින් සිහිපත් කරන්න ඕන.

* චැනල් - 4 රූපවාහිනිය හරහා මේ ප්‍රහාරය එල්ල වුණේ ශ්‍රී ලංකාව කියන ස්වෛරී රාජ්‍යයට. එහිදී බ්‍රිතාන්‍ය රජයට යම් ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද?

අපි මේ පිළිබඳ සොයා බැලුවා. නමුත්, චැනල් - 4 නාලිකාවට එරෙහිව බලපෑමක් කරන්න බ්‍රිතාන්‍ය රජයට අවස්ථාවක් ඇතැයි සිතන්න බැහැ. මොකද, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හරහා නීති සම්මත කර පුවත්පත් මණ්ඩලයක් පිහිටුවා තියෙනවා. ඒ නිසා එය හමුවට ගොස් අපට කරුණු ඉදිරිපත් කරන්න පුළුවනි.

* මේ සිද්ධියට ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයි. ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවාද?

ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්න වෙනවා. මොකද, මේක බොරුවක් කියලා දැන් අපි ඔප්පු කරලයි තියෙන්නේ. ඒ නිසා ඊළඟ පියවර හැටියට පොලිසියත් සමඟ එක්ව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කරන්න සිදුවෙනවා. ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැන ඉන් පසු තීරණය කරන්න පුළුවනි.

* රටට, එරෙහිව මෙවැනි අසත්‍ය චෝදනා නිර්මාණය කරන්න, ජාත්‍යන්තර කුමන්ත්‍රණවලට සම්බන්ධ වෙන්න ඇතැම් පිරිස්වලට තියෙන වුවමනාව ගැන ඔබ මොකද සිතන්නේ?

හේතුන් කිහිපයක්ම තියෙනවා. එකක්, යුද්ධය නිමාවී රටේ සාමකාමී ස්ථාවර පසුබිමක් ගොඩනැඟීමත් එක්ක සමහරු ආපසු ලංකාවට එන්න වෙයි කියලා හිතලා මේව කරනවා. ඒ නිසා ඔවුන්ට තව තවත් රටේ ප්‍රශ්න හදන්න අවශ්‍යයි.

දේශපාලන රැකවරණ යටතේ විදේශ ගතවෙලා ඉන්න උදවියට තවදුරටත් එවැන්නක් ලබාදීමේ අවශ්‍යතාවක් නැහැ. ඒ රටවල් ඔවුන් ආපසු ශ්‍රී ලංකාවට එවන්න ඉඩ තියෙනවා.

 ඔය රටවල අන්තවාදී පක්ෂ නැවතත් ශක්තිමත් වෙන්න පටන් අරන්. ඒ පක්ෂ සංක්‍රමණිකයන් වැළැක්වීම සඳහා ආණ්ඩුවලට බල කරනවා. ඉන්න අයත් ආපහු හරවා යවන්න කියලා ඔවුන් හඬ නගනවා. මේවයින් ආරක්ෂා වෙන්න තවදුරටත් ලංකාවේ අස්ථාවරභාවයක් ඇතැයි පෙන්වන්න ඒ උදවියට අවශ්‍යයයි.

තවත් පිරිසක් ඉන්නවා එල්.ටී.ටී.ඊ.යේ මුදල් අරගෙන ඒවායින් මෙවැනි දේ කරන්න පෙලඹෙන. ආපසු එල්.ටී.ටී.ඊ.ය පණගන්වන්න පුළුවන් කියලා ඒ පිරිස කල්පනා කරනවා. ඒ නිසා ඔවුනුත් මෙවැනි වැඩවලට සම්බන්ධ වෙනවා.

ඉදිරියටත් මෙවැනි දේ කරන්න ඒ අය යොමුවෙයි. නමුත්, ඒවා වැළැක්වීම සඳහා ඔය ජාත්‍යන්තර මාධ්‍යත් එක්ක අපිත් එකඟතාවක් ඇතිකරගෙන මෙවැනි දේ ඔවුන්ට ලැබෙන අවස්ථාවේම අඩුම තරමින් ඒ පාර්ශ්ව ගැන සොයා බලන්න කියලවත් කියන්න වෙනවා. එහිම ඊළඟ පියවර වෙන්න ඕන අපිත් එක්ක ඒ ගැන කතා කරන්න කියන එකයි.

එතකොට අපට ඒ ගැන කියන්න පුළුවන්. විකාශනය කරන්න කලින් අඩුතරමේ තමන්ට ඔය විදියට ලැබෙන වීඩියෝ සත්‍යද, අසත්‍ය ඒවාද කියලා විද්‍යාත්මකව සොයා බැලීමක් කිරීම වගකීම් සහගත මාධ්‍යයක යුතුකමක්.

අවම වශයෙන් මේ වෙලාවෙවත් වගකීමකින් ක්‍රියාකරන්න කියලා ඔවුන්ගෙන් ඉල්ලන්න අපට සිදු වෙනවා. මොකද, අපේ රටට ආරක්ෂක හමුදාවන්ට මඩගහන්න, අවලාද නගන්න යම් කොටසක් පැය 24 දවස් 7 ක්‍රියාත්මක වෙලා ඉන්න නිසා.

එල්.ටී.ටී.ඊ.යට ප්‍රබල ප්‍රචාරක ජාලයක් තිබුණා. ඔවුන් අවම වශයෙන් අවුරුද්දකට අමෙරිකන් ඩොලර් මිලියන 350ක ආදායමක් ලබපු සංවිධානයක්. මේ මුදල් ඔවුන් විවිධ විධියට ආයෝජනය කරලා.

නැව් අරන්, සමහර රටවල ඉන්ධන පිරවුම්හල් අරන්, විවිධ ව්‍යාපාර, සාප්පු ඇති කරලා. මේවායින් ලැබෙන ආදායමෙන් ඔවුන්ට මෙවැනි දේවල් හොඳින් මෙහෙයවන්න පුළුවන්.

* මේ නාලිකාව දෙවෙනි වීඩියෝ පටයකුත් විකාශනය කළා?

හැබැයි ඔය වීඩියෝ පට දෙකම සන්සන්දනය කළාම ඒ දෙකම එක හා සමානයි කියන්න බැහැ. පළමු එක ඉතාමත් බරපතළයි. දෙවැන්නේ තිබුණේ අවතැන් කඳවුරුවල අඩුපාඩු මතුකරලා.

නමුත් එය විකාශනය කරන්න කලින් චැනල් - 4 නාලිකාව අපේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට කතා කළා. එහි අන්තර්ගතය ගැනත්, එය විකාශනය කරන්න යන බවත් ඔවුන් කියා තිබුණා. මේ පිළිබඳ රජයේ මතයත් දක්වන්න කියලා ඔවුන් ඉල්ලීමක් කළා.

අපේ මහ කොමසාරිස් කාර්යාලය අපේ අමාත්‍යංශයට කතා කළාට පසු අමාත්‍යංශ ලේකම්තුමාට මේ ගැන පිළිතුරක් ලබාදෙන්න කියලා අපි දැනුම් දුන්නා. ඒ අනුව ලේකම්තුමා ඊට පිළිතුරු දුන්නා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා