එජාපෙට දකුණෙන් හිමිවන්නේ අන්ත පරාජයක්

එජාපෙට දකුණෙන් හිමිවන්නේ අන්ත පරාජයක්

දකුණු පළාත් සභා අපේක්ෂක බන්දු රණවක

ශි‍්‍රඝ්‍රයෙන් සංවර්ධනය වන දකුණු පළාත අද වන විට දේශපාලන උණුසුමක් පවතින ප්‍රදේශයක් බවට පත්ව ඇත. ඒ උණුසුම පළාත් සභා මැතිවරණය නිසාවෙන් ඇති වන්නකි. කොටපොළ විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති බන්දු රණවක මහතා දකුණු පළාත් සභා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙනි. ඔහුගේ දේශපාලන ගමන් මඟ, වර්තමාන දේශපාලනය හා දකුණේ සංවර්ධන කටයුතු පිළිබඳ රණවක මහතා දිනමිණ ට දැක්වූ අදහස් මෙසේ සටහන් වේ.

* ඔබ දේශපාලනයට පිවිසුණු ආකාරය විස්තර කළොත්

මා දේශපාලනයට පිවිසෙන්නේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන අවධියේ සිටයි. එහි ප්‍රතිඵලයක් ලෙස 1975 වසරේදී තරුණ සමිතියේ සභාපතිවරයා ලෙස මාව තේරී පත් වුණා.

එතැන් සිට පැවැති සෑම මැතිවරණයකදීම පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් තරුණයෙකු ලෙස මා උපරිමයෙන් කැපවීම් කළා. 88 වසරේදී පැවැති මැතිවරණයේ්දී ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය දීම වළක්වා සිටියා. එදා ඊට එරෙහිව සාක්ෂිකරුවෙකු ලෙස පෙනී සිටි එක ම පුද්ගලයා මම යි.

ඉන් පසු 1991 වසරේ දී කොටපොළ ප්‍රාදේශීය සභාවෙන් තරග කරන්න අවස්ථාව ලැබුණා. එහිදී විපක්ෂයේ වැඩිම මනාප ගත් පුද්ගලයා ලෙස එදා එම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකයා බවට පත් වුණා. එහෙත් 1995 වසරේදී මා ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලා අස් වුණා.

* ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලා අස් වුණු ඔබ අලුත් ගමනක් ආරම්භ කරනවා නේද ?

ඔව්. මා ඉන්පසු සමුපකාර ක්‍ෂේත්‍රයට පිවිසුණා. ඒ අනුව 1995 වසරේදී කොටපොළ විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපතිවරයා ලෙස තේරී පත් වුණා. එතැන් සිට අද වෙනකම් වසර 15ක් නොකඩවා සභාපති ධුරය උසුලන්න මට හැකියාව ලැබුණා.

අද වන විට මා මාතර දිස්ත්‍රික් ග්‍රාමීය බැංකුවේ සභාපතිවරයා ලෙසත් ජාතික සමුපකාර මණ්ඩලයේ සභාපතිවරයා ලෙසත් මහජන බැංකුවේ අධ්‍යක්‍ෂවරයෙකු ලෙසත් ජාත්‍යන්තර සමුපකාර සංවිධානයේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්‍ෂකවරයෙකු ලෙසත් කටයුතු කරමින් සිටිනවා. ලංකාවේ පළමු වතාවට තමයි එවැනි තනතුරකට ශ්‍රී ලාංකිකයකුට පත්වීමට වරම් ලැබුණේ.

මේ කිසිදු තනතුරක් ලබා ගත්තේ දේශපාලන හෝ වෙනත් බලපෑමක් කරලා නෙවෙයි. කොටපොළ දෙහිගස්පේ ගමෙන් පැමිණි ගැමියෙකු ලෙස මා තුළ තිබූ නිර්මාණ හා හැකියාව නිස යි.

* ඔබ සමුපකාර ක්‍ෂේත්‍රයට පිවිසෙන විට එහි විශාල මූල්‍ය අර්බුදයක් තිබුණා නේද ? ඒ වෙනුවෙන් ගත් පියවර මොනවාද ?

විශාල මූල්‍ය අර්බුදයක් තිබියදී තමයි සමුපකාරය භාර ගත්තේ. කොප් ලංකා තේ කම්හල රුපියල් ලක්ෂ 200ක් ගෙවා ගන්න බැරුව හිටියා. ණය වාරිකය හා පොළිය පමණක් ලක්ෂ 10ක් සේවකයන් 200 – 225 පමණයි සිටියේ. එහෙත් ඒ සියලු අභියෝග ජය ගෙන 1998 වසරේදී ලංකාවේ හොඳම සමුපකාරය බවට පත් වීමට හැකි වුණා.

අද වෙන කොට කෝටි 20 මාසික පිරිවැටුමක් ලබනවා. සේවක ධාරිතාව 650 දක්වා ඉහළ දමා ගැනීමටත් ලක්ෂ 450 කට තේ කම්හලක් මිලදී ගන්නටත් අපට හැකියාව ලැබුණා. සේවක වැටුප් පමණක් මසකට එක්කෝටි විසි පන් ලක්ෂයක් ගෙවමින් සිටිනවා.

මීට අමතරව සමුපකාරය සතුව කෝටි 3 ක ස්ථාවරයක්, අක්කර 165 ක ඉඩමක් සහ රුපියල් ලක්ෂ 1200 ක් වටිනා සම්පත් තියෙනවා.

ලංකාවේ කිසිදු සමුපකාරයක සේවකයෙකුට බෝනස් ලබා දෙන්නේ නැහැ. එහෙත් අප සේවකයන්ට සිංහල අලුත් අවුරුදු සමයේ දී වැටුප් 2ක් ලබා දෙනවා. 12 % පොළියක් යටතේ ලක්ෂ 2 1 / 2 දක්වා සේවකයන් හට ණය ලබාදීම සිදු කරනවා. දස වසර සම්පූර්ණ කළ සේවකයන් හට රන් පවුම් සම්මාන ලබාදීමට කටයුතු කළා. මෙවැනි සේවාවන් රැසක් මගේ සභාපතිත්වය යටතේ සිදු කිරීමට හැකි වීම ගැන මා සතුටට පත් වෙනවා.

* සමුපකාර ක්‍ෂේත්‍රය හරහා කීර්ති නාමයක් හිමි කර ගෙන සිටින ඔබ දේශපාලනයට නැවත වරක් පැමිණීමෙන් එම කීර්ති නාමයට හානියක් ඇති වේවි කියලා හිතෙන්නේ නැද්ද ?

අද වන විට දේශපාලනය හා දේශපාලනඥයන් ගැන ජනතාව තුළ ප්‍රසාදයක් නැහැ කියලා මා දන්නවා. එහෙත් එය සියලු දෙනාටම බලපාන්නේ නැහැ. ඕන තරම් දේශපාලනඥයන් ඉන්නවා, තම ගරුත්වය ආරක්ෂා කර ගනිමින් ජනතාවට සේවය කරන.

හොඳම උදාහරණය තමයි වර්තමාන ජනාධිපතිතුමා. එතුමා දිනෙන් දින ජනප්‍රියතාවයේ හිනි පෙත්තට යමින් සිටිනවා. එතුමා දේශපාලනඥයෙක් නොවෙයිද ? ඒ නිසා තමයි මා පැවසුවේ සියලු දෙනා එක මිම්මෙන් මනින එක සාධාරණ නැහැ කියලා.

මා දේශපාලනඥයෙක් ලෙස කටයුතු කළ මොහොතේදීත් මගේ නමට කැළලක් ඇති කර ගත්තේ නැහැ. සමුපකාර ක්‍ෂේත්‍රයේදීත් එහෙමයි. ඉදිරියටත් බන්දු රණවක තම චරිතයට නමට කැළලක් ඇති කර ගන්නේ නැහැ.

* ඔබ මේ වෙන කොට ජනතාවට ලබාදුන් පොරොන්දු මොනවාද ?

මා පොරොන්දු දේශපාලනය කරපින්නා ගෙන පැමිණි පුද්ගලයෙක් නෙවෙයි. පාලම්, බෝක්කු, මංමාවත් හදා දෙන්නම්, රැකියා මෙච්චර ලබා දෙන්නම් කියලා ඡන්දේ ඉල්ලන්නේ නැහැ.

කරන්න පුළුවන් දේ කිව යුතුයි. එසේ නොමැති වුණොත් පාරක බැහැලා යන්න බැරි වෙනවා. එම නිසා තමයි මම පුන පුනා කියන්නේ මා ප්‍රතිපත්තිගරුක ගෞරවනීය දේශපාලනයකටයි පිවිසියේ කියලා. ඒ තත්ත්වය කවදාවත් නැති කර ගන්නේ නැහැ.

* මේ මොහොතේ විපක්ෂය දකුණු පළාතෙන් ප්‍රබල සටනක් ලබාදීමට සූදානමින් සිටිනවා. ඔබත් ඔබේ පක්ෂයත් ඊට මුහුණ දෙන්නේ කොහොමද ?

ප්‍රබල සටනක් දෙනවා කිව්වට දකුණේ කොහේද ඔය ප්‍රබල සටන තියෙන්නේ. පරාජය වහ ගන්න මොනවා හරි දොඩවන්න ඕන නිසා එ. ජා. ප. ය හා ජ. වි. පෙ. විකාර දොඩවනවා.

ළදරුවෙකුට වුණත් තේරෙන දෙයක් තමයි මේ රජය පරාජය කරන්න බැහැ කියන එක. මොකද පසුගිය මැතිවරණ ඊට හොඳම නිදසුන්. අපි අභියෝග කරනවා විපක්ෂයට පුළුවන් නම් තිබෙන මන්ත්‍රීධුර හරි අරක්ෂා කර ගෙන පෙන්වන්න කියලා. ඌවටත් වඩා අන්ත පරාජයක් තමයි එ. ජා. ප. ටත් ජ. වි. පෙ. ටත් මෙවර දකුණෙන් හිමි වන්නේ.

* ඔබට විශ්වාසයි ද ජයග්‍රහණය ඔබේ පක්ෂය සතුයි කියලා

සියයට දෙසියක් විශ්වාසයි. 85 % ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් අපි දකුණෙන් ලබා ගෙන මැතිවරණ ඉතිහාසයේ විශිෂ්ටම ජයග්‍රහණය දකුණෙන් පෙන්වනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා