අපේ විපක්ෂ නායකයා අද රටට එරෙහිව ක්‍රියා කරනවා

අපේ විපක්ෂ නායකයා අද රටට එරෙහිව ක්‍රියා කරනවා

ජාත්‍යන්තරය හමුවේ බේගල් කීම හෙළා දකිමින් ජනපති කියයි

‘අද අපේ රටේ සිටින්නේ ‘ආණ්ඩුවට’ එරෙහිව කටයුතු කරන විපක්‍ෂ නායකවරයෙක් නොවෙයි. රටේ හොඳ නම, ජනතාවට ලැබෙන වාසි වළක්වන, රට පාවා දෙන ‘රටට එරෙහි විපක්‍ෂ නායකයෙක්’ යැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කෙළේ ය.

“රටේ ජනතාවට වාසි හිමි කැරදෙන වැඩපිළිවෙළ ආපස්සට හැරවීමට ජාත්‍යන්තරය ඉදිරියේ බොරු බේගල් කියමින් රටේ කීර්ති නාමය විනාශ කරන, රට පාවාදෙන විපක්‍ෂ නායකවරයෙක් සිටීම කනගාටුවක් බවද ජනාධිපතිවරයා කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත්‍රීධුර අපේක්ෂක කණ්ඩායමේ ජය තහවුරු කිරීමේ අරමුණින් හම්බන්තොට දිස්ත්‍රික් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු හා රණවිරු යන ෂඩ් මහා බලවේගයේ ක්‍රියාකාරීන් ඊයේ (15) උදේ අරලියගහ මන්දිරයේ දී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ දී රාජපක්‍ෂ මහතා එසේ පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, ලෝකයේ කිසිම රටකවත් රටට එරෙහිව වැඩ කරන විපක්‍ෂ නායකවරු නෑ. ඉන්නේ ආණ්ඩු වලට එරෙහිව කටයුතු කරන අයයි.

ඒ අය කුමන දේශපාලන මතයක් දැරුවත් තමන් උපන් රටට ආදරෙයි. උපන් රට, මාතෘ භූමිය පාවා දෙන්නේ නෑ. නමුත් එහි අනිත් පැත්තයි අපේ රටේ විපක්‍ෂ නායකවරයා කරන්නේ.

අප කවුරුත් දේශපාලනය කළ යුත්තේ රට මුල්තැන තබා ගෙනයි. ආණ්ඩු බලය හෝ විපක්‍ෂයේ සිටියත් කමක් නෑ, රට පාවා දෙන්න හොඳ නෑ. අද අපේ ඉන්න විපක්‍ෂ නායකවරයා රටට, ජී.එස්.පී බදු සහනය දෙන්න එපා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණය දෙන්න එපා කියා ජාත්‍යන්තරයට කරුණු කියනවා. රටේ සංවර්ධනය වීමේ වැඩපිළිවෙළට බාධා කරනවා. රට ආපස්සට හැරවීමට කටයුතු කරනවා.

අපේ රටේ කලක් සේවය කළ අයිස්ලන්තයේ එක්තරා විශ්ෂඥයෙක් මෑතකදී වඩාත් හොඳ ප්‍රකාශයක් කළා. ඒ තමයි ලෝකයේ මෑත කාලීන සංවර්ධනය වන රටක් දකින්න නම් ශ්‍රී ලංකාවට යන්න. එහි නැඟෙනහිර පළාත දෙස බලන්න, ඒ කථාවයි.

අද එක්සත් ජාතික පක්‍ෂය මේ දකුණු පළාත් සභා මැතිවරණයේ දී ප්‍රචාරක කටයුතු කරන්නේ දිනන්න නොවෙයි. ඔවුන් අද කටයුතු කරන්නේ දෙවැනි තැන බේරා ගැනීමට යි.

මිනීමරු කොටි ත්‍රස්තවාදීන් පරාජයට පත් කළ ලෝකයේ එකම රට අපේ රටයි. අපේ උරුමයන් වන ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට, මහනුවර දළදා මාළිගාවට ප්‍රහාර එල්ල කළ පාපතර කොටින් පරාජයට පත් කොට අප ලැබුවේ සුවිශල් ජයක්.

අපි එය ලැබුවේ වසර 3ක් තරම් කෙටි කාලසීමාවක දී යි. අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ සන්ධාන කණ්ඩායමට බොහෝ දක්‍ෂතා තිබෙන, හැකියාවන් තිබෙන බුද්ධිමතුන්, කලාකරුවන්, ව්‍යාපාරිකයන් ඇතුළත් කොට තිබෙනවා.

මනාප පොරයට වැටෙන්න එපා. බුලත් කොළය දිනවීමට කැපවී කටයුතු කරන්න ජනාධිපතිවරයා ඉල්ලීමක් කෙළේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්, කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා ඇමැති මෛත්‍රීපාල සිරිසේන, ශශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ කටයුතු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, වරාය හා සිවිල් ගුවන් සේවා සහ වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති චමල් රාජපක්‍ෂ මහත්වරු ද මෙහිදී කථා කළහ.

මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන අනුර පි‍්‍රයදර්ශන යාපා, මහාචාර්ය ජී. එල්. පීරිස්, මහින්ද අමරවීර, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා දේවි වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී නිරූපමා රාජපක්‍ෂ, දකුණු පළාත් ආණ්ඩුකාරිනි කුමාරි බාලසූරිය, දකුණු පළාත් සභාවේ හිටපු මැති ඇමැතිවරු ඇතුළු අතිවිශාල පිරිසක් එක්ව සිටියහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා