රැකියා වියුක්තිකයන්ගේ අනුපාතය 6.2 දක්වා පහළට

රැකියා වියුක්තිකයන්ගේ අනුපාතය 6.2 දක්වා පහළට

ශ්‍රී ලංකාවේ රැකියා වියුක්ති අනුපාතය සියයට 6.2 දක්වා පහත බැස ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියයි.

මේ වසරේ දෙවන කාර්තුව වන විට මේ තත්ත්වය වාර්තා වී ඇත. මෙම සංගණනය සිදු කොට ඇත්තේ උතුරු පළාත හැර දිවයිනේ සෙසු පළාත් ආවරණය වන අයුරිනි.

2009 වර්ෂයේ දෙවැනි කාර්තුවේ දී රැකියා නියුක්තිකයන්ගේ සංඛ්‍යාව දස ලක්ෂ 7.5 ක් පමණ වාර්තා වන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඩී. සී. ඒ. ගුණවර්ධන මහතා පවසයි.

ඉහත සඳහන් රැකියා නියුක්තිකයන්ගේ ප්‍රතිශතයට කෘෂි කාර්මික අංශයෙන් සියයට 32 ක් ද කර්මාන්ත අංශයෙන් සියයට 26 ක්ද දායක වී ඇති අතර සේවා අංශයේ දායකත්වය සියයට 42 කි.

ඒ අනුව කෘෂිකර්මාන්ත අංශයේ සේවයේ නියුතු පුද්ගලයන් ගණන 2383000 ක්ද කර්මාන්ත අංශයේ සේවයේ නියුතු පුද්ගලයන් ගණන 1914000 ක් ද වන අතර සේවා අංශයේ නියුතු සේවකයන් ප්‍රමාණය 3168000 කි.

පුද්ගලයන් වශයෙන් ගත් කළ මේ වසරේ දෙවැනි කර්තුව වන විට රැකියා විරහිත පුද්ගලයන් ගණන 496000 ක් ලෙස වාර්තා වූ බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

කෙසේ නමුත් 2003 සිට 2008 දක්වා කාලය සළකන විට වාර්ෂික විරැකියා ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වී තිබෙන බවද දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා