ඩොලර් මිලියන 2ක් සමග චැම්පියන් කුසලානය දිනාගන්න ශ්‍රී ලංකා පිල ද.අප්‍රිකාවට යයි

ඩොලර් මිලියන 2ක් සමග චැම්පියන් කුසලානය
දිනාගන්න ශ්‍රී ලංකා පිල ද.අප්‍රිකාවට යයි

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ජගත් ක්‍රිකට් කුසලාන චැම්පියන්ස් කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනෙන් පිටත් ව යයි.

සැප්තැම්බර් 22 සිට ඔක්තෝබර් 5 දක්වා ජොහැන්නස්බර්ග් හා සෙන්චූරියන් යන නගරවල දී තරග පැවැත්වේ.

තරගාවලියේ ආරම්භක තරගය සැප්තැම්බර් 22 වැනි දින ශ්‍රී ලංකාව හා සත්කාරක දකුණු අප්‍රිකාව සමඟ

සෙන්චූරියන් හි සුපර්ස්පෝට් පාක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මේ තරගයට පෙර ශ්‍රී ලංකාව පෙරහුරු තරග දෙකකට සහභාගි වනු ඇත. ඒ පාකිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් පිල සමඟය. පාකිස්තානය සමඟ පෙරහුරු තරගය සැප්තැම්බර් 18 වැනිදා බෙනොනිහිදීත් කොදෙව් දූපත් සමග තරගය සැප්තැම්බර් 20 වැනිදා ප්‍රිටෝරියාහිදීත් පැවැත්වීමට නියමිතය. මෙවර තරගාවලියේ ජයග්‍රාහක කණ්ඩායමට පිරිනැමෙන ත්‍යාග මුදල ඩොලර් මිලියන දෙකකි.

අනු සූරයිනට ඩොලර් මිලියනයක් හිමිවේ. මීට අමතරව අවසන් පූර්ව වටයේ පරාජිත කණ්ඩායම් දෙකට ඩොලර් ලක්ෂ හතර බැගින්ද එක් එක් කොටසේ තෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම්වලට ඩොලර් ලක්ෂය බැගින් ද හිමිවේ.

චැම්පියන්ස් කුසලාන තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ හයවැනි වතාවටය. අවසන් වරට 2006 වසරේ ඉන්දියාවේ පැවැති තරගාවලිය ජය ගත්තේ ඔස්ට්‍රේලියාවය. කොදෙව් දූපත් කණ්ඩායම අනු සූරයෝ වූහ.

මේ තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලබාගෙන සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් පිලේ ක්‍රිස් ගේල් ය. ඔහු ලබා ගෙන ඇති ලකුණු ප්‍රමාණය 695 කි.

මුත්තයියා මුරලිදරන් චැම්පියන්ස් කුසලාන තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වෙමින් කඩුලු 23ක් ලබාගෙන සිටී.

අද දිවයිනෙන් පිටත් ව යන ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේ ය.

කුමාර් සංගක්කාර (නායක), මුත්තයියා මුරලිදරන් (උප නායක), සනත් ජයසූරිය, තිලකරත්න ඩිල්ෂාන්, මහේල ජයවර්ධන, චාමර කපුගෙදර,තිළිණ කණ්ඩම්බි, ඇන්ජලෝ මැතිව්ස්, නුවන් කුලසේකර, තිලාන් තුෂාර, අජන්ත මෙන්ඩිස්, ලසිත් මාලිංග, තිලාන් සමරවීර, උපුල් තරංග, ධම්මික ප්‍රසාද්.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා