නොමිලේ බෙදා දුන් කෑමට පොර කෑ 20ක් මරුට බිලි

නොමිලේ බෙදා දුන් කෑමට පොර කෑ 20ක් මරුට බිලි

කරච්චිහි කුඩා පුන්‍යායතනයක ඉහළ මාලයේදී නොමිලේ බෙදාදුන් ආහාර ලබාගැනීමට ගිය ගැහැණු ළමයින් සහ කාන්තාවන් 20 ක් පමණ තදබදයකින් පෙරේදා මියගිය බව එරට පොලීසිය වාර්තා කරයි.

මේ අය දිනය පුරා රාමසාන් උපවාසයේ යෙදී සිටි පිරිසක් බව සඳහන්ය. මෙම අනතුරෙන් තවත් 30 දෙනෙක් පමණ තුවාල ලබා ඇත.

මීට දින හතරකට පෙර ඉන්දියාවේ පාසලක ඇතිවූ තදබදයකින් සිසුන් පස් දෙනෙක් මිය ගියහ. කරච්චි අනතුරින් මිය ගිය කාන්තාවන් සහ සිසුන් 20 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ. කෝරි උද්‍යානය ආශ්‍රිත මෙම ප්‍රදේශය කරච්චියේ ඉතා ජනාකීර්ණ ප්‍රදේශයකි.

පෝලිමේ දිගු කාලයක් තුළ රැඳී සිටි මේ පිරිස නොසන්සුන්වූ විට, පෝලිම බලාගැනීමට යොදවා සිටි ආරක්ෂකයා විසින් මෙම පිරිසට බැටන් ප්‍රහාර එල්ලකර ඇතැයි පොලීසිය පවසයි.

මෙම ප්‍රහාරයෙන් බේරීමට තැත් කිරීමේදී තදබදය ඇතිවී තිබේ. ඉතාම පටු මාර්ගයක පිහිටි මෙම ගොඩනැගිල්ල අවට විශාල ජනකායකට ඉඩකඩ නොවූ බව බලධාරීහු පවසති.

ශෝක ප්‍රකාශ කිරීම සඳහා නගරයේ කඩ සාප්පු වසා දමා තිබූ අතර, සිවිල් රෝහල මියගිය සහ තුවාල ලැබූ අයගේ ඥාතීන්ගෙන් පිරී ඉතිරී ගිය බව වාර්තා වේ.

තදබදයක් නිසා කරච්චියේ ප්‍රබලතම අනතුර සිදුවූයේ 2006 දීය.

මහම්මත් තුමාගේ උපන් දින සැමරීමේ උත්සවයකට සහභාගි වී සිටි කාන්තාවන් සහ ළමයින් 29 දෙනෙක් එම තද බදයෙන් මිය ගියහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා