අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මාහිමියෝ

47 වන ගුණ සමරුව අද අම්බලන්ගොඩ පොල්වත්තේ දී

අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මාහිමියෝ

දේශ දේශාන්තර පතල කීර්තිධර අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහ නාහිමියෝ කලෙකින් පහළවන දුර්ලභ ගණයේ ශ්‍රේෂ්ට සංඝපීතෘන් වහන්සේ නමකි.

වර්ෂ 1887 ජුලි 23 දින අම්බලන්ගොඩ පොල්වත්තේ දී උපන් දරුවා පොල්වත්තේ අග්ගාරාමාධිපති පෝරඹ ධම්මාධාර රාජගුරු නාහිමි වෙතින් වර්ෂ 1899 නොවැම්බර් මස 02 දින පැවිදි විය.

මේ ශ්‍රේෂ්ට ශිෂ්‍යයා ලොවට දායාද කළ ඒ ගුරු හිමියෝ පාලි, බුදුදහම, බෞද්ධ දර්ශනය පිළිබඳ පෘථුල දැනුමෙන් හෙබි, ඉන්දීය විශ්වවිද්‍යාලයන් හි ඉගැන්වූ, බුරුම කාම්බෝජ රජුනට ඉගැන්වූ මහා විද්වතෙකි.

කට පාඩමින්

බුද්ධදත්ත සාමණේරයනට ගුරු හිමි ඇසුරින් නිතරම පොත පත කියවන්නට සිදුවූ අයුරුත්, අවුරුදු තුනක් ම අන් පිරිවෙන් සිසුනට මෙන් නිවාඩු දිනයක් තමනට නොවූ බවත් 1902 දී බුරුම රටට යාමට පෙර පාලි වරනැගිල්ල, බාලාවතාරය, ධාතු මංජුසාව, පාලි නිඝණ්ඩුව, ධම්මපදය, වුත්තෝදය, සතිපට්ඨානය සහ තවත් පොත් රාශියක් කට පාඩම් බවත් උන්වහන්සේම පවසති. ගුරුහිමි සිය ජීවිතයට පදනම වූ බව පෙන්වයි.

පැවිදිවීමට පෙර පොල්වත්තේ බෞද්ධ පිරිමි පාසලෙන්ද, අම්බලන්ගොඩ බෞද්ධ ඉංගි‍්‍රසි පාසලෙන් ද ඉගෙනුම ලද අතර පැවිදිව කල් නොයා 1902 දී බුරුමයට වැඩි අතර එහිදී බුරුම බස උගත්තෝ 1908 දී බුරුම බසින් පොත් ගණනාවක් ලියූ හ. බුරුමයේ ස්වර්ණමති විජ්ජොන රතනසීහ මන්දිරයේ දී උපසම්පදාව ලැබ 1911 දී ලක්දිව වැඩියහ.

සිංහල, පාලි, සංස්කෘත, බුරුම, ඉංගි‍්‍රසි ආදි විවිධ භාෂා ඥානයෙන් පරිනත බුද්ධදත්ත හිමියෝ පාලි, සිංහල, බුරුම, ඉංගි‍්‍රසි, රෝම ආදි විවිධ බසින් පොත් රාශියක් ලියූහ. සංස්කරණය කළහ. සමය සමයාන්තර ඥානය, ග්‍රන්ථ විශාරදත්වය, බහුශ්‍රැත භාවය, පාණ්ඩිත්‍යය, බුද්ධි ප්‍රභාව උන්වහන්සේ ගේ ථෙරවාදී බෞද්ධාර්ය හෝ, භාරතීය බෞද්ධාචාර්යයෝ අටුවා පරීක්ෂණ හා අටුවා කථා වස්ථු ග්‍රන්ථ පෙන්වා දෙයි.

ගිහි මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයෝ පැවිදි මහ ගත්කරු බුද්ධදත්ත මාහිමියන් පිළිබඳව මෙසේ දක්වති.

“පොල්වත්තේ බුද්ධදත්ත නායක හිමියෝ පඩිවරයෙකු හා ධර්මධරයෙකු වශයෙන් අනිත් පැවිදි පඩිවරයන්ට හා ධර්මධරයන්ට අහිමි සංකීර්ණ චරිත ඇත්තෙකි.

පාලි භාෂාවෙහි අභිධර්මයෙහි හා ශාසන වංශයෙහි ද පැතිරි ඇති දැනුම ලේඛකයෙකුට අවශ්‍ය ව්‍යුත්පත්තිය, බහුශ්‍රැත භාවය, නිර්ව්‍යාජත්වය තම වැටහීම, නිර්භයව කීම, පොත පත උගැන්මෙන් හා ලිවීමෙන් ලබන අත්‍යන්තර සන්තෝෂය යන මේ ගුණාංගයන් ගෙන් සංකීර්ණ වූවකි.

උන්වහන්සේගේ උගත්කම ලේඛකයෙකුට අවශ්‍ය ව්‍යුත්පත්තියත්, ලිවීමෙන් අත්‍යන්ත සන්තෝෂයත් ඇති පැවිදි පඬිවරයෙකු දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි.... ලිවීම උන්වහන්සේට භාවනා විශේෂයක් විය. උදේ සිට රෑ වනතුරු ලිවීමෙන් වුවද උන්වහන්සේට වෙහෙසක් නොදැනුණි.” (ශ්‍රී බුද්ධදත්ත සිරි සීවලී හිමි – 1965)

උන්වහන්සේ පොත් රැසක් ලියූහ. සංස්කරණ අතර දුර්ලභ පාලි ග්‍රන්ථයන්හි සංස්කරණ ද බෙහෙවි. අති විශිෂ්ට ධර්ම ශාස්ත්‍රිය ඥානය, විවිධ භාෂා පරිනත ඥානය මොනවට මෙම ග්‍රන්ථ තුළින් පෙනී යයි.

පාලි බස පිළිබඳව කළේ මහත් සේවාවකි. උන්වහන්සේගේ පාලි භාෂාවතරණය තරම් අන් ග්‍රන්ථයක් පාලි බස ඉගෙනුමෙහිලා තවත් නැත. පාලි පාඨාවලි, පඨම පාඨාවලි, පාලි සන්දේශවලි, පාලි සාහිත්‍ය, The New Pali – Course, Aids to Pali Conversation and Translation, The Higher Pali Course, Concise Pali – English Dictionary ආදි ග්‍රන්ථ මේ අතින් විශේෂය.

ඊ. ජේ. තෝමස්, රීස් ඩේවිඩ්ස්, අයි. ඩී. හෝනර් ආදි වියතුන් සමග අදහස් හුවමාරු කළේ පාලි භාෂාවෙනි. එංගලන්ත පාලි පොත්සමගම බුද්ධදත්ත මාහිමියන්ගේ දුර්ලභ ග්‍රන්ථ මුද්‍රණය වීම බුදු දහම ජාත්‍යන්තර ලෝකයාට විවර කර දුන්නේ ය.

පාලි බස

පාලි භේසජ්ජවෙසනී (බුරුම අකුරු), අභිධාන ස්පදියිකා (බුරුම අකුරු), සාත්ථ ලක්ඛණ අභිදාන (බුරුම – ඉංගී‍්‍රසි), බුධ සොසුවිපත්ති (බුරුම සන්නය සහිත), Moha Vicehedani  (රෝම අකුරින්), Jinakalamali  (රෝම අකුරෙන්) ආදි ග්‍රන්ථ මෙන්ම තවත් ග්‍රන්ථ රාශියක් ලියැවුණු අතර එම නාම ලේඛනය ඉතා දීර්ඝ වෙයි. ඒ සා පොත් සංඛ්‍යාවක් ලියූ වෙනත් පැවිදි හිමි නමක් නැතැයි කීම නිවැරදි යයි හගිමි. පුවත්පත් සඟරා ආදියට ලියන ලද ලිපි ලේඛන සංඛ්‍යාව අතිමහත් ය.

උන්වහන්සේ විචාරකයෙකි. ගයිගර් පඩිතුමාගේ මහා වංශ පරිවර්තනයේ සිය ගණන් වැරදි පෙන්වා දුන්නේ බුද්ධදත්ත හිමියෝ ය. ඊ. ජේ. තෝමස්, අයි. බී. හෝනර්, බී. සී. ලෝ ආදීන්ගේ කෘතිවල දොස් පෙන්විය. මාර සංකල්පය, අනාත්මවාදය, නිර්මාණය පිළිබඳ බුද්ධදත්ත හිමියන් පළ කළ අදහස් අතිශය වැදගත් ය.

ආනන්ද විද්‍යාලයේ පාලි ආචාර්ය වරයාවූ උන්වහන්සේ ලංකා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු විය. 1953 දී ශ්‍රී කල්‍යාණවංශ නිකායේ අනුනායක ද 1957 දී මහානායක ධුරය ද ලබමින් නිකාය වෙනුවෙන් මහත් සේවාවක් කළහ.

පෙරපර දෙදින රටවල් රැසකට ධර්ම ශාස්ත්‍ර දැනුම බෙදා ලූ උන්වහන්සේ ගේ ධර්මය පිළිබඳ විශාරද දැනුම විවිධ භාෂා පිළිබඳ පුළුල් ඥානය, විදේශ රටවල ධර්ම ප්‍රචාරයේ දී අතිශයින් වැදගත් වන්නට ඇත.

රට ජාතිය ආගමට හානි සිදුවන සෑම තැනකදීම බුද්ධදත්ත හිමියෝ අභිනව පෙරමුණ ගත්හ. 1940 රුවන්වැලි සෑ චුඩා මාණික්‍ය පැළඳවීමේ උළෙල, බුද්ධ රූපය හා කුරුසිය, එළිසබැත් මහ රැජින පිළිගැනීම් උළෙල මේ ආදි නොයෙක් තන්හි උන්වහන්සේ ගේ අභීතව සැබෑ සංඝ ගුණයෙන් ක්‍රියා කළහ. කිසි විටක කීර්ති ප්‍රශංසා, නම්බුනාම පසුපස නොගිය ද ඒ සියල්ල උන්වහන්සේ සොයා ආයේ ය.

බුරුම රජයෙන් අග්ගමහා පණ්ඩිත ලද උන්වහන්සේ, එම උපාධිය ලද ප්‍රථම විදේශිකයාණෝ ය. ඒ ශ්‍රී ලංකාවට ලබාදුන් කීර්තියකි. කොළඹ ප්‍රාචීන භාෂෝපකාර සමිතියෙන් සම්මාන පණ්ඩිත උපාධිය ද, ලංකාදීප පත්‍රයෙන් ‘සාහිත්‍ය කීර්ති’ ගෞරව සම්මානයද, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය චක්‍රවර්ති උපාධිය ද, ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය සූරී උපාධිය ද ප්‍රදානය කැරිණි.

විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රථම මහාචාර්යවරයා වූහ. බුරුමයේ හයවන ත්‍රිපිටක ධර්ම සංගායනාවේ උත්තරීතර ග්‍රන්ථ ශෝබන මණ්ඩලයේ පුමුඛයා වූහ. ලංකා බෞද්ධ මණ්ඩලය, ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලය, බෞද්ධ විශ්ව කෝෂ මණ්ඩලය, සාහිත්‍ය උපදේශක මණ්ඩලය ආදියේ නිරතව මහත් විශිෂ්ට සේවාවක් සිදු කළහ.

තෙවලා දහමට, සම්බුද්ධ ශාසනයට මෙන්ම ශාස්ත්‍රීය හා නොයක් අතින් අනුපම අමිල සේවාවක් ඉටුකළ මේ අග්‍රගණ්‍ය ප¼ඩිවරයා වර්ෂ 1962.11.09 දින අපවත් වී වදාළහ. 1962.11.17 දින සිව් දිගින් ඇදී ආ අති විශාල පිරිස් මැද අම්බලන්ගොඩ පියසේන ක්‍රීඩාංගණයේ දී ආදාහන පූජෝත්සවය සිදු කැරිණි.

අමිල මෙහෙවරක්

1981 මැයි 22 දා තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශය විසින් උන්වහන්සේ වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කළේ ය. ශ්‍රී බුද්ධදත්ත මාවත, ශශ්‍රී‍්‍ර බුද්ධදත්ත විද්‍යාලය, ශ්‍රී බුද්ධදත්ත ප්‍රතිමාව ආදිය උන්වහන්සේ සිහිකරවයි.

ජන හදවත්හි සදානුස්මරණීය ලෝක පූජිත මේ ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයාණන් පිළිබඳ 47 වන ගුණානුස්මරණ පුණ්‍යෙීත්සව කටයුතු, අග්ගාරාමාධිපති නින්දානේ වජිරඤාණ හිමිපාණන් ගේ අනුශාසකත්වයෙන් අම්බලන්ගොඩ පොල්වත්තේ අග්ගාරාම විහාරස්ථානයේ දී සිදු කිරීමට නියමිතය.

බුද්ධදත්ත මාහිමිට නිවන් සුව පතමු.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා