විධායක ජනාධිපති ක්‍රමය හා මහින්ද විරෝධය
විධායක ජනාධිපති ක්‍රමය හා මහින්ද විරෝධය
ජනාධිපතිවරයාගේ ධූරකාලය අවසන්වීමට වසර දෙකක් තිබිය දී යළි ජනාධිපතිවරණයකට සූදානම්
වන බවක් වාර්තා වෙනවා. මේ සඳහා රජයේ සූදානම්වීම විපක්ෂයේ සමහරු දකින්නේ තැටිය
රත්වෙනකොට රොටිය පුච්චා ගැනීමක් විදියට. ඕනෑම ආණ්ඩුවක් මැතිවරණයකට යන්නේ තමන්ට
වාසිදායක මොහොතක. ඒ අනුව අවාසිය සිදුවන්නේ විපක්ෂයට. එහෙනම් උදාවී තිබෙන්නේ ආණ්ඩුවට
වාසිදායක විපක්ෂයට අවාසිදායක පරිසරයක්. විපක්ෂය ඒ අවාසිය තුළ වාසියක් සොයන බව
පෙනෙන්නට තිබෙනවා. ඒ සඳහා ඔවුන්ට දේශපාලනය නොකරනම කෙනෙක් වුනත් කමක් නැහැ වගේ.
හමුදා නායකයන් සොයා යන්නේ ඒ නිසායි.
තිස් අවුරුදු යුද්ධය අවසන් වීම සමඟම ජනාධිපතිවරයා සිටින්නේ ජනප්‍රියත්වයේ ඉහළම
තැනක. ඒ පිළිබඳව විවාදයක් නැහැ. ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වයෙන් අනෙක් අයත්
ප්‍රයෝජනය ගන්න සූදානම් වන බවක්ද පෙනෙන්නට තිබෙනවා. ඒ අයට ජනාධිපතිවරණයකට වඩා මහා
මැතිවරණයක් වැදගත්.
මේ වනවිට ආණ්ඩුවේ සමහරු ජනතාවගේ වෛරයට පාත්‍රවෙලා. ඔවුන් කරන
කියන දේවල් නිසා ජනතාව ඉවසන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගැන කල්පනා කරලා. තවත්
කාලයක් මෙහෙමම ඉදිරියට ගියොත් ජනාධිපතිවරයා ගැන තිබෙන ජනතා ප්‍රසාදයත් අඩුවෙන්න
පුළුවන්.
මේ මොහොත වනවිට රටේ බහුතර ජනතාව සිටින්නේ එල්ටීටීඊය හා ප්‍රභාකරන් විනාශ කර රටේ සෑම
ජන කොටසකටම සහනයක් ලබාදීම වෙනුවෙන් ජනාධිපතිවරයාට යුතුකමක් ඉටුකිරීමට. එම
ප්‍රතිචාරය ලබාගන්න ඔහු මැතිවරණයකට පැමිණිය යුතු වෙනවා.
එම මැතිවරණය ඔහු විසින් තරග
කළ යුතු මැතිවරණයක් විය යුතුයි. ඒ සඳහා තෝරා ගැනීමට සිදුවන්නේ ජනාධිපතිවරණයක්. මේ
නිසා ජනාධිපතිවරණයකට යෑම නිවැරදියි. නැතිනම් සිදුවන්නේ ජනාධිපතිවරයාගේ පිහිටෙන්
සමහර අය එතෙර වීමයි. මැතිවරණයකට යෑමයි. එය පාර්ලිමේන්තු මැතිවරණයයි.
මේ නිසා ජනාධිපතිවරණය මෙතනින් එහාට රට ගෙන යාමට ජනතාවගෙන් වරමක් බලාපොරොත්තු වීමේ
පැත්තෙන් ද එය වැදගත්. එල්ටීටීඊය සමඟ නොසන්සුන් වූ ජන ජීවිතය හා එල්ටීටීඊයේ
ක්‍රියාකාරකම් නොමැති ජන ජීවිතය කියන්නේ දෙකක්. රටේ සාමය අපේක්ෂා කරන සියලුම
ජනකොටස්වලට අලුත් ශ්‍රී ලංකාවක් අවශ්‍යව තිබෙන්නේ දැන්. මේ නිසා නව ජනවරමක
අවශ්‍යතාව වැදගත්. ඊට ජනාධිපතිවරයාට තම ධූර කාලයෙන් වසර දෙකක් පරිත්‍යාග කිරීමට
සිදුවෙනවා.
ඔහු නැවත ජනතාව ඉදිරියට යන්නේ නම් එය සිදුවන්නේ මේ රට පසුගිය වසර 30 ක් තිස්සේ
පාලනය කල පාලකයෙක් විදිහට නොවේ. රටේ ප්‍රධානම ප්‍රශ්නය විසඳා ඒ වෙනුවෙන් ජනතාවට
දුන් පොරොන්දු ඉටුකළ නායකයෙක් විදියට. යුද්ධය නිසා සංවර්ධනය අතපසු නොකල නායකයෙක්
විදිහට රටේ ප්‍රධාන වරායවල් 5 ක් එකවර හදන නායකයෙක් විදිහට.
විදුලිබල අර්බුදයට
විසඳුම් දුන්න නායකයෙක් විදියට. ඒ සඳහා නොරොච්චෝලේ ඇතුළු විශාල ප්‍රමාණයේ විදුලි
බලාගාර 3 ක් ඉදිකරන නායකයෙක් විදියට. උතුරේ හා දකුණේ මහා පරිමානයේ වාරිමාර්ග යෝජනා
කීපයක් එකවර අරඹා ඇති නායකයෙක් විදියට. අධිවේගී මාර්ග ඇතුළුව දැවැන්ත මාර්ග
සංවර්ධනයකට අත ගැසූ නායකයෙක් විදියට. මේ නිසා ඔහු මෙවර ජනතාව අතරට යෑමට සූදානම්
වෙන්නේ කියන දේ කළ නායකයෙක් විදියට. නැතිනම් දුන් පොරොන්දු ඉටුකළ නායකයෙක් විදියට.
විපක්ෂය මේ කිසිවක් ගැන කතා කරන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ එල්ටීටීඊ විරෝධී යුද්ධයට
නායකත්වය දී මෙරටින් ත්‍රස්තවාදය සහමුලින්ම තුරන් කිරීමට කටයුතු කළ බවක්වත් ඔවුන්ට
මතක නැහැ වගෙයි. දේශපාලනයේ හැටි එහෙමයි. ඒත් රටේ ජනතාවට එය මතක තිබෙනවා. අද ඔවුන්
කතා කරන්නේ දුන් පොරොන්දු ගණනාවක් ඉටුකිරීම ගැන නොවෙයි.
විධායක ජනාධිපති ක්‍රමය
ගැන. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීමේ පොරොන්දුව රට හමුවේ
තිබෙනවා. එය මහින්ද චින්තනයට එකඟ බව ඇත්ත. එහෙත් එය තනි ප්‍රශ්නයන් ලෙස ගෙන
හුදෙකලාවේ ඉටු කිරීමෙන් පලක් නැහැ. ඒ සමඟම පාර්ලිමේන්තු ක්‍රමය හා උතුරේ ප්‍රශ්නයට
ලබාදෙන දේශපාලන විසඳුමද ඊට අඩංගු විය යුතුයි.
මේ නිසා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම රට පූර්ණ වෙනසකට යොමු
කරනු ලබන දේශපාලන පැකේජයට අයත් එක් කොටසක් පමණයි. ඒ සඳහා පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක්
අවශ්‍ය වෙනවා. හිතෙන හිතෙන වෙලාවට ව්‍යවස්ථාව කෑලි කෑලි වශයෙන් සංශෝධනය කිරීම හා
එහි සමහර සංශෝධන හදිස්සි කාරණා ලෙස ඉටුකිරීමට යෑම නිසා ඇතිවූ විකෘතියේ ප්‍රතිපලයක්
ලෙස ද එල්ටීටීඊ ත්‍රස්තවාදය සමහරු හඳුන්වනු ලබනවා.
එහි සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත්
නිදහසින් පසු අපේ රටේ සිදුවූ දේශපාලන අර්බුදවලට මේ ව්‍යවස්ථාවත් එක් හේතුවක්. මේ
නිසා විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම හෝ පූර්ණ ව්‍යවස්ථා
සංශෝධනයකින් සිදුවිය යුතුයි.
අපේ රටේ ක්‍රියාත්මක වන විධායක ජනාධිපතිධූරය පිළිබඳව ප්‍රශ්න තිබෙන බව ඇත්ත. එය අදට
ගැලපෙන ලෙස සංශෝධනය විය යුතු බවද ඇත්ත. එය සම්පූර්ණයෙන් ඉවත් කළ යුතුද, සංශෝධනය කළ
යුතුද, යන සාකච්ඡාව මීට වඩා ප්‍රබුද්ධ තලයකට ගෙන ආ යුතුයි. මෙය අද සාකච්ඡාවට බඳුන්
වන්නේ අගනුවර මධ්‍යම පන්තියේ සාකච්ඡා සභාවල කටගැස්මක් විදියට.
සාමාන්‍ය ජනයා එම
සාකච්ඡාවේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ තමන්ට අවශ්‍ය ප්‍රදේශවලට වේගවත්
සංවර්ධනයක්. ඒ සඳහා විධායක ජනාධිපතිවරයෙක් සහිත ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යයි. එම
අවශ්‍යතාවලට යම් බලයක් සහිත විධායක ජනාධිපති ධූරය ගැලපෙනවා. මීට අමතරව අප වැනි රටවල
පවතින ජනවාර්ගික නොසන්සුන්තාව සමනය කිරීමටද විධායක ජනාධිපතිවරයා වැදගත්. ඊට හේතුව
රටේ සියලුම ජනකොටස් විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමට සහභාගි වීම පසුගිය සමයේ
ප්‍රභාකරන් හා එල්ටීටීඊය ඊට බාධා කළා.
සාමාන්‍යයෙන් මේ ධූරයේ පවතින විශේෂත්වය සියලු ජනවාර්ගික කොටස්වල සහභාගිත්වයෙන් තොරව
විධායක ජනාධිපතිවරයෙකුට පත්වීමට තිබෙන ඉඩකඩ අඩුවීම. එයම රටේ ඒකීයභාවය සුරැකීමට
හේතුවක්. එසේම ජාතික සමගියට හේතුවක්. මේ නිසා මේ වනවිට අපේ රටේ ජනාධිපතිධූරය ජාතික
සමගිය සංකේතවත් කරන ධූරයක් බවට පත්වෙලා.
එල්ටීටීඊය සම්පූර්ණයෙන්ම විනාශ වීමත් සමඟම
විශේෂයෙන්ම ඡන්දයේ වටිනාකම වැඩිවෙලා. එසේ ජනතා ඡන්දයේ වටිනාකම වැඩි වී තිබෙන්නේද
විධායක ජනාධිපතිධූරය නිසා. රට සාමකාමී නම් ඡන්ද අයිතිය සුරැකෙනවා. ඡන්ද අයිතිය
සුරැකේ නම් විධායක ජනාධිපති පත්කර ගැනීමට සියල්ලන්ටම සහභාගිවීමට හැකිවෙනවා.
මීට අමතරව ජනතාවගේ මූලික අයිතිවාසිකම් පෙරට වඩා විධායක ජනාධිපති ව්‍යවස්ථාව තුළ
සුරැකෙනවා. තමන්ට අසාධාරණයක් වූ විට මූලික අයිතිවාසිකම් යටතේ අධිකරණයට යෑමට හැකිවී
තිබෙන්නේ පවතින විධායක ක්‍රමය තුළ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ආයතන තුනම
වෙන් වෙන් වශයෙන් තම බලඅධිකාරින් ස්වාධීනව පිහිටුවා ගැනීමට හැකිවී තිබෙන්නේ විධායක
ජනාධිපති ක්‍රමය තුළ. මෙහිදී විධායක ජනාධිපති පාර්ලිමේන්තුව හා අධිකරණය යටපත් කරගෙන
තම බලය පතුරවන්නේ නම් ඒ ගැන ක්‍රියා කිරීම වැදගත්.
විධායක ජනාධිපති පාර්ලිමේන්තුවට
වගකියන්නේ නැත්නම් එසේ වග කියන තැනට පත් කිරීමද වැදගත්. ඊට අදාළ වන පරිදි විධායක
ජනාධිපති ක්‍රමය සංශෝධනය කිරීමද වැදගත්. විධායක ජනාධිපතිගේ එම අත්තනෝමතික බලය පාලනය
කිරීම අවශ්‍යයි. මොන බලයක් යටතේ වූවද ජනතාවට මූලික අයිතිවාසිකම් හා මානව හිමිකම්
කඩවීම් සම්බන්ධයෙන් අධිකරණය පිහිට පැතීමටත්, ඒ සඳහා වඩවඩාත් අධිකරණයට මැදිහත්
වීමටත් හැකි වී තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය රැගත් මේ ව්‍යවස්ථාව නිසා බවයි
පෙනෙන්නේ.
මේවා විධායක ජනාධිපති ධූරයේ සාධනීය ලක්ෂණ. ඒ සමඟම එහි රකුසු මුහුණුවරක් ගැන කතාකරන
අය මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු යැයි තර්ක කරනවා. බොහෝ වෙලාවට ප්‍රධාන
පක්ෂ දෙක මීට එරෙහි වන්නේ හෝ වෙනස් කිරීමට කතා කරන්නේ බලය නැති වූ විට, නැතිනම්
විපක්ෂයට ගියවිට. ඒ අතින් බලනවිට ජනතා විමුක්ති පෙරමුණ හැමදාම ස්ථිර මතයක සිටියා.
ඔවුන්ගේ සටන් පාඨය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. පාර්ලිමේන්තුව සතු බලය
වැඩි වන ක්‍රමයක් අවශ්‍ය බවයි ඔවුන් සඳහන් කරන්නේ. එම ස්ථාවරයේ ජේ.වී.පී.ය කවදත්
සිටියා.
එහෙත් එක්සත් ජාතික පක්ෂයේ විරෝධය දැන් විපක්ෂයේ සිටින නිසා සිදුවූවක් බවයි
පෙනෙන්නේ. යූ.එන්.පී.යට මේ සඳහා අවංක වුවමනාවක් තිබුණා නම් ඇයි 2000 දී චන්ද්‍රිකා
රජය මගින් ගෙනා ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ නොවුණේ යන අදහස මතුවෙනවා. දේශපාලනය ගැන
දන්නා බහුතරය දන්නා පරිදි වසර 2000 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු
ජනාධිපතිනිය 2000 ව්‍යවස්ථාව ගෙන ආවේ එක්සත් ජාතික පක්ෂය සමඟ දීර්ඝ සාකච්ඡා
කීපයකින් පසුවයි.
එහි අඩංගු සෑම කරුණකටම වාගේ එක්සත් ජාතික පක්ෂය එකඟවී සිටියා.
ප්‍රශ්නය පැන නැගුනේ චන්ද්‍රිකා ජනාධිපතිනිය විධායක අගමැති ධූරයට අමතරව ජනාධිපති
ධූරයද දැරීමට ඉඩ සැලසෙන පරිදි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමයි. එය සංශෝධනයට යටත්ව එම
පනත අනුමත කිරීමට එදා එක්සත් ජාතික පක්ෂයට තිබුණා. ඔවුන් එය ප්‍රතික්ෂේප කළා පමණක්
නොව 2000 ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව සභා ගර්භයේදීම පුළුස්සා දැම්මා. එදා ආචාර්ය සරත්
අමුණුගම ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මෙය දේශපාලනමය වශයෙන් හෙනගහන
අපරාධයක් බවයි.
අද නැවතත් විධායක ජනාධිපතිධූරය අහෝසි කරන බවට පොරොන්දු දෙන්නේ එකඟතාව පළ කරන්නේ එදා
ඊට ඉඩ නොදී ව්‍යවස්ථාව පවා පුළුස්සා දැමූූ අයයි. කන්න හිතුනාම කබරගොයා තලගොයා
වෙන්නේ මේ න්‍යායට අනුවයි. දැන් නැවතත් උත්සාහ කරන්නේ අවංකවද? මහින්ද සමඟ තරගයක්
දීමට නොහැකි නිසාද? යන ප්‍රශ්නය මතු වෙනවා. මේ නිසා ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති
ධූරය හැකි නම් තරග කරන්න බැරිනම් අහෝසි කිරීමට සැරසෙන ධූරයක් බවට පත්වෙලා. අනෙක්
පැත්තෙන් ආණ්ඩු කරනකොට විධායක ජනාධිපති හොඳයි. විපක්ෂයට ගියාම නරකයි කියන තැනට
පත්වෙලා.
මේ සම්බන්ධයෙන් ව්‍යවස්ථාව සංශෝධනය ගැන කල්පනා කර බැලිය යුත්තේ ඒ නිසයි. එසේ කල්පනා
කර පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයකට වත්මන් ජනාධිපතිවරයාට තව වසර 2 ක
කාලයක් ඉතිරිව තිබෙනවා. මහින්ද රාජපක්ෂ අනෙක් පොරොන්දු ඉටුකළ අයුරින්ම විධායක
ජනාධිපතිධූරය පිළිබඳ පොරොන්දුව ඉටුකිරීමට ඔහුට කාලයක් තිබෙන බව ජනතාව දන්නවා. මේ
සම්බන්ධයෙන් කාලානුරූපීව ප්‍රශ්නයක් පැන නැග තිබෙන්නේ සම්පූර්ණයෙන්ම අහෝසි කරනවාද
සංශෝධනය කරනවාද? යන්නයි.
පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංශෝධනයක් අවශ්‍ය වන්නේ ඒ
සඳහායි. එහෙත් ජනාධිපතිවරයාගේධූර කාලය ඉදිරියට වසර දෙකක් තිබෙන නිසා විධායක
ජනාධිපතිධූරය පිළිබඳ පොරොන්දුව ඒ ආකාරයෙන්ම පවතිනවා. අලුත් ජනවරමකින් හා නව
පාර්ලිමේන්තුවකින් ඒ ගැන සලකා බැලිය හැකියි. අනිවාර්යයෙන්ම ඒ ගැන සලකා බැලිය යුතු
වන්නේ උතුරු නැඟෙනහිරට යෝජනා කරන විසඳුම හා පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමයක් සමඟම
විපක්ෂයට අවශ්‍ය නම් ඒ ව්‍යවස්ථාවත් පුච්චන්න පුළුවන්.
අද විපක්ෂය තුළින් මතුවන්නේ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට වඩා මහින්ද විරෝධය.
මහින්ද ඉවත් කරන්නේ කොහොමද කියලයි ඔවුන් කල්පනා කරන්නේ. ඒ සඳහා පුද්ගලයින් ආදේශ
කරන්න බලනවා. ඒත් ජනතාවට එහෙම වුවමනාවක් නැහැ. ජනතාව බලාගෙන සිටිනවා යුද්ධය අවසන්
කළා වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඊළඟට කුමක්ද කරන්නේ කියා. ඔවුන් සූදානම්
වෙනවා ඒ සඳහා ජනතාවගෙන් වරමක් ගන්න. විපක්ෂය සැරසෙනවා මහින්ද ඉවත් කරන්න. ජනතාව
සැරසෙනවා එල්ටීටීඊය ඉවත් කර රට එක්සේසත් කළ මහින්දට යුතුකමක් ඉටු කරන්න.
රාමන්
|