කාල්ටන් සත් සාමාජික රගර් 27දා ඇරැඹේ

කාල්ටන් සත් සාමාජික රගර් 27දා ඇරැඹේ

සත් සාමාජික කාල්ටන් ජාත්‍යන්තර රගර් තරගාවලිය සඳහා අනුග්‍රාහකයෙක් ලෙස කටයුතු කරන ජෝන් කීල්ස් ආයතනයේ පාරිභෝගික ආහාර ද්‍රව්‍ය සේවා සමූහයේ සභාපති ජිතේන්ද්‍ර ආර්. ගුණරත්න මහතා, තාරුණ්‍යට හෙටක් සංවිධානයේ සභාපති නාමල් රාජපක්ෂ මහතා වෙත අනුග්‍රාහකත්වය පිරිනැමූ අවස්ථාව.
ඡායාරූපය – කාවින්ද්‍ර පෙරේරා

‘සත් සාමාජික කාල්ටන් රග්බි තරගාවලිය මේ මස 27, 28 හා 29 යන දිනයන්හි දී කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කැර ඇත.

තාරුණ්‍යට හෙටක් සංවිධානය මගින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට පැවැත්වෙන මේ තරගාවලියට නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, පැපුවානිව්ගිනියා සහ බටහිර සමෝවා යන රටවල් ඇතුළු රටවල් 18ක කණ්ඩායම් මේ සඳහා සහභාගි වීමට නියමිතයි.

මෙම රග්බි තරගමාලාව කාණ්ඩ තුනක් යටතේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර ජාත්‍යන්තර තරගාවලිය ආසියානු තරගාවලිය හා පාසල් තරගාවලිය ලෙස ඒවා වෙන් කැර ඇත.

ජාත්‍යන්තර තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාව, ෆීජී, නවසීලන්ත, පැපුවානිව්ගිනියා, දකුණු අප්‍රිකා හා බටහිර සමෝවා කණ්ඩායම් තරග වදින අතර ආසියානු තරගාවලියට ජපානය, තායිවානය, චීනය, දකුණු කොරියාව, කසකස්තානය, තායිලන්තය, මැලේසියාව, ශ්‍රී ලංකාව, ඉරානය, ජෝර්දානය, බෲනෙයි හා පාකිස්තානය අයත් වේ.

ඊට අමතරව පැවැත්වෙන පාසල් තරගාවලිය සඳහා දිවයිනේ ජනප්‍රිය රග්බි කණ්ඩායම් නියෝජනය කරන පාසල් 12ක කණ්ඩායම් තරග වැදීමට නියමිතයි.

මෙම තරගමාලාව පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (10) දා කොළඹ දී පැවැත්විණි. තාරුණ්‍යට හෙටක් සංවිධානය මගින් ක්‍රියාත්මක කරන සෙසු සමාජ කටයුතු සේම මෙම තරගාවලිය ද වාර්ෂිකව පැවැත්වීමට බලාපොරොත්තු වන බව එම සංවිධානයේ ලේකම් ලලිත් පියුම් පෙරේරා මහතා සඳහන් කරයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා