උතුරු කොරියාවෙන් ප්‍රහාරයක් එල්ල වෙතැයි දකුණු කොරියා හමුදා සීරුවෙන්

උතුරු කොරියාවෙන් ප්‍රහාරයක් එල්ල වෙතැයි
දකුණු කොරියා හමුදා සීරුවෙන්

නාවික ගැටුමකදී උතුරු කොරියාවේ බෝට්ටුවක් ගිනිබත් කිරීමට පළිගැනීමක් වශයෙන් ප්‍රහාරයක් සිදුවේය යන සැකය නිසා,දකුණු කොරියානු හමුදාව පෙරේදා සීරුවෙන් තබා තිබේ. උද්ගතවී ඇති අර්බුදකාරී තත්ත්වය තවදුරටත් වැඩිකිරීමට කටයුතු නොකරන ලෙස අමෙරිකාව උතුරු කොරියාවට අනතුරු අඟවා තිබේ.

මෙම ගැටුම සිදුවී ඇත්තේ කහ මුහුදු තීරයේදී ය. ඇමෙරිකන් ජනාධිපති ඔබාමා ලබන සතියේ ආසියාවේ සංචාරයක් කිරීමට නියමිතව ඇත. උතුරු කොරියාව යළි වරක් න්‍යෂ්ඨික අවිහරණ සාකච්ඡාවලට කැඳවා ගැනීමේ අරමුණ ඇතිව, එරටට නියෝජිතයෙක් එවන ලෙස උතුරු කොරියාව විසින් කළ ආරාධනය අමෙරිකාව පිළිගෙන තිබේ. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ස්ටීවන් බොස්වර්ත් වසර අවසානයට පෙර උතුරු කොරියාවට යනු ඇතැයි විශ්වාස කෙරේ.

ඉකුත් අඟහරුවාදා සිදුවූ නාවුක හමුදා ගැටුමෙන් උතුරු කොරියානු නාවිකයන් දෙදෙනකු මියගොස්, තව තිදෙනකු තුවාල ලබා තිබේ. දකුණු කොරියානුවන්ට කිසිදු හානියක් සිදු නොවූ බව වාර්තා වේ.

ජනාධිපති ඔබාමාගේ සංචාරයට පෙර, උවමනාවෙන්ම අර්බුදකාරී තත්ත්වයක් ඇති කිරීමට උතුරු කොරියාව සාගර සීමාව ඉක්මවා යන්නට ඇතැයි ඇතැම් විශ්ලේෂකයෝ පවසති. උතුරු කොරියානු බෝට්ටුව අණ නොතකා ගමන් කළ නිසා වෙඩි තැබීමට සිදුවූ බව දකුණු කොරියාව පවසයි. එහෙත් උතුරු කොරියාව පවසන්නේ තම බෝට්ටුව තිබුණේ උතුරු කොරියානු මුහුදු සීමාව තුළ බවයි. 1999 සහ 2002 දී හටගත් කොරියානු ගැටුම් වලදී මුහුදු සීමාව ඉක්මවා යාම යුද ගැටුම්වලට ප්‍රධාන හේතුවක් වශයෙන් ඉස්මතු විය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා