මහ ඡන්දේ දී ආණ්ඩුවට විශිෂ්ට ජයක් ලැබෙනවා
මහ ඡන්දේ දී
ආණ්ඩුවට විශිෂ්ට ජයක්
ලැබෙනවා
කෙහෙළිය රඹුක්වැල්ල -
විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය ජාතික ආරක්ෂක ප්‍රකාශක
* මෙවර ජනාධිපතිවරණයෙන් දහ අට ලක්ෂයකට අධික වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජනාධිපති මහින්ද
රාජපක්ෂ මහතා ලැබූ විශිෂ්ට ජයග්‍රහණය ඔබ විග්‍රහ කරන්නේ කෙසේ ද ?
පසුගිය දශක තුනක කාලය මුළුල්ලේ මේ රටේ නායකයන් ප්‍රභාකරන් හා ඔහුගේ ත්‍රස්තවාදය
ඉදිරියේ පරාජිතයන් බවට පත් වුණා. රටේ නායකයන් පිළිබඳ තීන්දු තීරණ ගනු ලැබුවේ
සැතපුම් සිය ගණනක් ඈත බංකරයක බිංකුණ්ඩකු සේ සැඟව සිටි ප්‍රභාකරන් විසිනුයි.
ජේ.
ආර්. ජයවර්ධන, පේ‍්‍රමදාස , චන්ද්‍රිකා වැනි නායකයන්ට නිරතුරුව ම මේ තත්ත්වයට මුහුණ
දීමට සිදු වුණා. ප්‍රභාකරන් රටේ ඉහළ කෙළවරේ සිට මෙරට නායකයන් පිළිබඳ තීන්දු තීරණ
ගන්නා විට මෙරට ජනතාවටද සිදු වුණේ ප්‍රභාකරන් ඉදිරියේ පරාජිතයන් වී සිටීමටයි.
මේ තත්ත්වය තුළ 2005 දී බලයට පත් වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට ලබා දුන්
ප්‍රධානතම පොරොන්දුව වූයේ ත්‍ර‍්‍රස්තවාදයෙන් රට නිදහස් කැර දීමයි. බලයට පත්ව ඉතා
කෙටි කලකට පසුව ලෝකයම මවිතයට පත් කරමින් ප්‍රභාකරන් හා ඔහුගේ ත්‍රස්තවාදය
මුළුමනින්ම පරාජය කිරීමට ජනාධිපතිතුමන්ට හැකි වුණා.
දෙස් විදෙස් බාධක , බලපෑම් ,
කුමන්ත්‍රණ පැමිණිය ද නිවැරැදි ඉලක්කය ඔස්සේ යමින් ත්‍රස්තවාදයෙන් රට නිදහස් කැර
දුන් නායකයාට ජනතාව විසින් ලබා දිය හැකි උපරිම සහාය ලබා දෙමින් කෘත ගුණ සැලකීම මේ
ජනාධිපතිවරණය හරහා සිදු කළා.
*ජනාධිපතිවරණයෙන් රජය එලෙස ජය ලැබුවද විවිධ ජාත්‍යන්තර අභියෝගවලට මැතිවරණයේ දී
ජනාධිපතිතුමන්ට මුහුණ දීමට සිදු වුණා නේද ?
මේ අභියෝග පැමිණියේ මැතිවරණ සමයේ පමණක් නොවේ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ වැඩපිළිවෙළ
ඇරැඹීමත් සමඟ මේ විදේශීය බලපෑම් , එල්ල වුණා. එය දවසින් දවස වැඩි වුණා මිසක් කිසිඳු
අයුරකින් අඩු වූයේ නැහැ. අපි කිසිදා නොහිතපු රටවල් අපට බලපෑම්, අභියෝග කිරීමට පටන්
ගත්තා. ඔවුන් හැමදාම කීවේ එල්. ටී. ටී. ඊ ය පරාජය කිරීමට නොහැකි බවයි.
ත්‍රස්තවාදය
පරාජය කිරීමේ වැඩපිළිවෙළේ අවසන් මොහොතේ දී ලෝකයේ බලවත් කියන හැම රටක්ම ඇතුළු බොහෝ
රටවල් අපට බලපෑම්, අභියෝග කළා. එහෙත් ජනාධිපතිතුමන් කිසිඳු අයුරකින් නොසැලී
ත්‍රස්තවාදය පරාජය කිරීමේ වැඩපිළිවෙළ අවසන් කළේ මුළු ලෝකයම මවිත කරන අයුරින්.
මේ මැතිවරණයේ දී එල්. ටී.ටී. ඊ.යට හිතවත් හැම ජාත්‍යන්තර බලවේගයක්ම උත්සහ කළේ
ජනාධිපතිතුමන් පරාජය කිරීමට යි. ඒ සඳහා ඔවුන් ඩොලර් තොග පිටින් ෆොන්සේකාගේ පිලට ලබා
දුන්නා.
සම්බන්දන් හා ෆොන්සේකා එකතු වුණු අවස්ථාවේ මේ ජාත්‍යන්තර බලවේග තරම් සතුටු
වුණු කිසිවෙකුත් නැහැ. ඒ අවස්ථාවේ ජර්මනිය , ප්‍රංශය , එංගලන්තය වගේ් රටවල්වල එල්.
ටී. ටී. ඊ හිතවාදීන් වීදි බැස රතිඤ්ඤා පත්තු කැර සිය ප්‍රීතිය පළ කළා.
ඒ වගේම සරත් ෆොන්සේකා ඔවුන්ගේ ඉත්තකු විදිහට යොදා ගනිමින් අප ලැබූ යුද ජයග්‍රහණ
සියල්ල විනාශ කිරීමට මේ බලවේග උත්සහ කළා. ඔවුන් ලෝකයේ තමන්ට හිතවත් හැම රටකම මහින්ද
රාජපක්ෂ මහතා පරාජය කිරීමට වැඩපිළිවෙළ ගෙන ගියා. ඒ සඳහා එක්වන ලෙස ඔවුන්
ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටියා.
මෙරට ඉතිහාසයේ කිසි කලෙක කිසිදා මැතිවරණ අපේක්ෂකයකුට
එල්ල නොවුණු ජාත්‍යන්තර බලපෑම් අභියෝග කුමන්ත්‍රණ මහින්ද රාජපක්ෂ මහතාට මෙවර
ජනාධිපතිවරණයේ දී එල්ල වුණා.
* ෆොන්සේකා මහතාගේ මැතිවරණ රැස්වීම් සඳහා පැමිණි ජනතාව දෙස බලන විට මැතිවරණ පරාජය
බාර ගත නොහැකි බැව් එම පාර්ශවය ප්‍රකාශ කරනවා නේද ?
ඔවුන්ගේ බොළඳකම් මේ තුළින් හොඳටම පැහැදිලි වෙනවා. අපි එදා ඉඳලම කියපු විදිහට
දේශපාලන අත්දැකීම් නොමැතිකම ඔවුන්ගේ මේ ප්‍රකාශවලින් ඔප්පු කැර පෙන්වනවා.
ප්‍රාදේශීය සභාවකවත් දේශපාලනය නොකළ සරත් ෆොන්සේකා මේ ජනාධිපතිවරණය තුළ අන්ද මන්ද
වෙලයි සිටියේ. ඔහු කියන්නේ මොනවාද කරන්නේ මොනවාද කියා ඔහුවත් නොදන්නා තත්ත්වයක් ඒ
තුළ තිබුණා.
අනෙක් පැත්තෙන් ඔවුන් කියනවා ඡන්ද ප්‍රතිඵලය විකෘති කැර තිබෙනවා කියා. මේක මේ රටේ
තිබුණු පළමු මැතිවරණය ද ? නැහැ. මේ ඡන්ද කටයුතු සිදු කරන්නේ රාජ්‍ය නිලධාරීන්.
ඔවුන් එක පක්ෂයක නියෝජිතයන් නොවේ. ෆොන්සේකා මහතාටත් ඡන්දය දුන් රාජ්‍ය නිලධාරීන්
ඉන්නවා. ඔවුන් එහෙම තත්ත්වයක් වූවා නම් නිකන් ඉදියි ද? තව පැත්තකින් මේ හැම තැනම
ඔවුන්ගේ දේශපාලන නියෝජිතයන් සිටියා. මේ අය එහෙනම් මොනවාද කළේ.
පරාජයෙන් වියරු වැටුණු විට කියන කතා හැරෙන්නට මේ කණ්ඩායමට අද කතා කිරීමට දෙයක්
ඉතිරි වෙලා නැහැ. පරාජය පිළිගෙන ඉදිරි දේශපාලනය ගැන සැලැසුම් සකස් කරනවා හැරෙන්නට
රටේ ජනතාව බුද්ධියෙන් නොමේරු බාලාංශයේ අය කියා කටයුතු කිරීම ඔවුන් දැන්වත්
නැවැත්විය යුතුයි.
* උතුරු නැඟෙනහිර පළාත්හි ඡන්ද ඉතා විශාල වශයෙන් හිමි වුණේ සරත් ෆොන්සේකා මහතාටයි.
ත්‍රස්තවාදය අවසන් කැර එම ප්‍රදේශ විශාල සංවර්ධනයකට ලක් කිරීමට රජය පියවර ගත්තද එම
පළාත්වල ඡන්ද රජයට අඩු වීමට හේතුව කුමක් ද ?
ගත වු වකවානුව පුරා එම පළාත්වල ජනතාවට මෙවැනි ඡන්දයකට දායක වීමට අවස්ථාව හිමි වුණේ
නැහැ. නමුත් ඔවුන්ට මෙවර ඒ අවස්ථාව හිමි වුණා. කුමන අපේක්ෂකයාට ඔවුන් ඡන්ද පාවිච්චි
කළ ද ඒක තමයි ඇත්තෙන්ම රට ලැබූ ජයග්‍රහණය. එදා ප්‍රභාකරන් තමයි රටේ තීරකයා වුණේ. අද
එහෙම තත්ත්වයක් නැහැ.
දශක තුනක කාලයක් එම ප්‍රදේශවලට ප්‍රජාතන්ත්‍රවාදයේ සේයාවක්වත් තිබුණේ නැහැ. එක්
පුද්ගලයකුගේ යකඩ සපත්තුවට යට වෙලයි තිබුණේ. අද ඔවුන්ට සැබෑ නිදහස උරුම වෙලා තමන්ට
කැමැති ආකාරයට ඡන්ද පාවිච්චි කිරිමට හැකිව තිබෙනවා. එමෙන්ම සම්බන්දන්, මනෝගනේෂන් ,
හකීම් ඇතුළු කණ්ඩායම ෆොන්සේකා මහතා සමඟ එක්ව ගෙන ගිය එල්. ටී. ටී. ඊ වාදී
ව්‍යාපාරයද මේ තුළින් මනාව ඔප්පු වී තිබෙනවා.
ඔවුන් ඒ වෙනුවෙන් ගත් උත්සාහය මේ තුළින් පැහැදිලි වෙනවා. තවත් පැත්තකින් මේ කණ්ඩායම
එම පළාත්වල සාමාන්‍ය ජනතාව අතරට විශාල බොරු ප්‍රචාර ගෙන ගියා.
* මැතිවරණ දින රාත්‍රියේ ෆොන්සේකා මහතා ඇතුළු ඔහුගේ කණ්ඩායම කොළඹ ප්‍රධාන පෙළේ
හෝටල් දෙකක නවාතැන් ගැනීම හා ඒ තුළ තිබුණු කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ පිළිබඳ ව
තොරතුරු රැසක් හෙළි වී තිබෙනවා නේද ?
ලංකා ඉතිහාසයේ පළමු වතාවට තමයි මැතිවරණ දින රාත්‍රියේ අපේක්ෂකයකු තමන්ගේ කණ්ඩායමේ
සිය ගණනක් සමඟින් හෝටල් කාමරයක නැවතුණේ. මේක මහා විශාල කුමන්ත්‍රණයක්. මේ වගේ
තත්ත්වයන් අපි අසා තිබුණේ ලෝකයේ ඒකාධිපති පාලකයන් බිහි වූ ඇතැම් රටවලින් පමණයි. රටේ
වාසනාවට ජනතාව බුද්ධිමත්ව තීරණය ගත් නිසා මහා ව්‍යසනයක් වැළැකී ගියා.
තව පැත්තකින් මේ කණ්ඩායම රට තුළත් ඉන් පිටතත් ව්‍යාජ ප්‍රචාර ගෙන ගියා. මේවා
මොනතරම් බොරුද ? ජනතාවගේ බුද්ධියට නිගා කරන්නට ඔවුන්ට බැහැ. සරල භාෂාවෙන් කිවහොත්
ඔවුන් අතේ පත්තුවන බොරුයි, ප්‍රචාරය කළේ. මේ සියල්ල තුළින් ඔවුන් බලාපොරොත්තු වුණේ
රට අප කීර්තියට පත් කිරීමටයි.
මේ පිරිස තුළ සිටිය නීති විරෝධී කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පරීක්ෂණ අනුව
බොහෝ දේවල් අනාවරණය වෙමින් පවතිනවා. තව ටික දිනකින් සියල්ල මුළු මනින්ම අනාවරණය
වෙයි.
* ජනතාව මේ මැතිවරණයේ දී ජනාධිපතිතුමන්ට ලබාදුන් ආකාරයේ ම විශිෂ්ට ජයක් ඉදිරි මහා
මැතිවරණයේ දී රජයටද ලබා දෙයි කියා විශ්වාසයක් තිබෙනවාද ?
මේ මැතිවරණයේ දී ජනතාව ඡන්දය පාවිච්චි කළේ ජනාධිපතිතුමා කෙරෙහි තිබෙන අසීමිත
විශ්වාසය නිසයි. වසර හතළිහක ඔහුගේ දේශපාලනයත් සිවු වසරක රාජ්‍ය පාලනයත් පිළිබඳ
ජනතාව මනා අවබෝධයකින් ක්‍රියා කළා. ඒ නිසා තමයි මේ විශිෂ්ට ජය ජනාධිපතිතුමන්ට ජනතාව
ලබා දුන්නේ.
ඒ නිසා එවැනි නායකයකු නායකත්වය ලබා දෙන පක්ෂයට , රජයකට ජනතාව එවැනිම විශිෂ්ට ජයක්
ලබාදීම සහතිකයි. ජනාධිපතිතුමාගේ ඉදිරි වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා එතුමාටත්
එතුමා වෙනුවෙන් රජයටත් ජනතාව විශිෂ්ට ජයක් ඉදිරි මහා මැතිවරණයේ දී නියත ලෙසම ලබා
දෙනවා. ඒක ආයෙ වළක්වන්න දෙයක් නැහැ.
මේ ජනාධිපතිවරණයේ දී වැරැදි හෝ ජනාධිපතිතුමන්ට
ඡන්දය ලබා නොදුන් පිරිස එතුමා වෙනුවෙන් ඒ යුතුකම මහා මැතිවරණය හරහා රජයට ලබා දීමට
මේ වන විටත් පෙළ ගැසී සිටිනවා. අපේ බලාපොරොත්තුව , හැටියට මා විශ්වාස කරනවා මෙවර
මහා මැතිවරණයේ දී තුනෙක් දෙකක බලයක් ලබා ගැනීමට හැකි වෙයි කියා. ඒ වෙනුවෙන් මේ වන
විටත් ජනතාව පෙළ ගැසී සිටිනවා.
* එජාපයේ හා ජවිපෙ කඩා වැටීම ඔබ දකින්නේ කෙසේ ද ?
එදා මහා දැවැන්ත දේශපාලන පක්ෂයක් ලෙස ආසියාවේම නමක් තබාගෙන සිටි එජාපයේ සිදුව ඇති
කඩා වැටීම මුලින්ම දැක්කේ මමයි. ඒ නිසයි මම ජනාධිපතිතුමන් සමඟ එකතු වුණේ. රනිල්
වික්‍රමසිංහ මේ පක්ෂය විනාශ කැර අවසානයි. ඒකේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ.
දක්ෂයන්ට තැනක් නෑ. එජාපය අද හරියටම පුස්සන්ගේ පරාදීසයක් වගෙයි. විශේෂයෙන් මේ
ජනාධිපතිවරණයේ එජාප යේ අවසන් කඩා වැටීම සිදුවුණා. අද පක්ෂයත් නෑ. ලකුණත් නෑ.
පක්ෂයත් එක්ක බද්ද වී සිටි පාක්ෂිකයන්ද අද නෑ. ඉතිං මොනවද අද එජාපයට ඉතිරිව
තිබෙන්නේ.
ජනතා විමුක්ති පෙරමුණේ අද ගමනක අවසානය සිදුව අවසානයි. ඔවුන් යන එන මං නැතිව මං මුලා
වී සිටිනවා. ඔවුන්ගත් වැරැදි තීරණ නිසා දේශපාලන වශයෙන් අද ජ. වි.පෙ කියා පක්ෂයක්වත්
ඉතිරිව නැහැ.
ඉදිරි මහා මැතිවරණයට ජවිපෙ තනිවම තරග කළොත් මන්ත්‍රීවරයෙකු දිනනවා කියා තරග කිරීමට
අපේක්ෂකයකුවත් සොයා ගැනීමට නොහැකි තරම් එම පක්ෂය බංකොළොත් වෙලා අවසානයි.
* ජනාධිපතිවරණය හරහා රටට එරෙහි කුමන්ත්‍රණ ක්‍රියාත්මක කිරීම සඳහා ඇතැම් රාජ්‍ය
නොවන සංවිධාන විදේශීය කණ්ඩායම් මෙරටට පැමිණ ක්‍රියා කළ බවට තොරතුරු ලැබී තිබෙනවා
නේද ?
රටට එරෙහි යම් බලවේග ක්‍රියාත්මක වෙනවා නම් ඊට එරෙහිව පියවර ගැනීමට ජනතාව වෙනුවෙන්
රජයට යුතුකමක් තිබෙනවා. ත්‍රස්තවාදය පරාජය කිරීමේ වැඩපිළිවෙළේ දී කිසිම
පැකිලීමෙකින් තොවර එවැනි බලවේගවලට එරෙහිව තරා තිරම නොබලා ක්‍රියා කළ අපට වෙනත් ඕනෑම
බලවේගයකට එරෙහිව පියවර ගැනීමට පැකිලෙන්නේ නැහැ.
රටේ පවතින නීතිය අනුව ගත හැකි සෑම
ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. ඒ වෙනුවෙන් මේ වනවිටත් පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. එහි දී
එම සංවිධානයේ හෝ රටේ බලවත්කම අපට ගැටලුවක් නොවේ.
අපට අවශ්‍ය වන්නේ රට අපකීර්තියට පත් කිරීමට හා රටට එරෙහිව ක්‍රියා කිරීමට කටයුතු
කළේ කවුද කියා තහවුරු කර ගැනීම පමණයි.
සංවාද සටහන
ඉන්දික පොල්කොටුව
|