ෆොන්සේකාගේ බෑනාගේ ඇප අයැදුම ගැන තීන්දුව හෙට

ෆොන්සේකාගේ බෑනාගේ ඇප අයැදුම ගැන තීන්දුව හෙට

ඇප දිය නොහැකි වැරැදි සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට සූදානමක් හා අවධානමක් ඇති බව තමාට දැන ගැනීමට ලැබී ඇතැයි පවසමින් විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකාගේ බෑනා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අපේක්ෂිත ඇප අයැදුම සම්බන්ධ තීන්දුව ප්‍රකාශ කිරීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හෙටට (10) කල් තැබුවා. මේ අපේක්ෂිත ඇප අයැදුම සලකා බැලීම සඳහා ඊයේ (08) කැඳවූ අවස්ථාවේ පෙත්සම්කරු හා වගඋත්තරකරු ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය අපේක්ෂිත ඇප අයැදුම සම්බන්ධව තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට එසේ හෙටට (10) කල් තැබුවාය.

විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකාගේ බෑනා වන ධනුන තිලකරත්න සිය නීතිඥ මුදිත අබේරත්න මහතා මඟින් මේ අපේක්ෂිත ඇප අයැදුම අධිකරණයට ඉදිරිපත් කැර තිබුණි.

ඒ අනුව අපේක්ෂිත ඇප අයැදුම් සළකා බැලීම මහේස්ත්‍රාත්වරිය විසින් ඊයේ (08) ට කල්තබා වගඋත්තරකාර රහස් පොලිසියට ද අධිකරණයට පැමිණීමට නොතීසි නිකුත් කරනු ලබා තිබුණි.

පොදු දේපළ පනත සටනට වැටෙන වරදක් ඇති පුද්ගලයකු සම්බන්ධව හා එවැනි වරදකට චෝදනා ලැබ සිටින පුද්ගලයකු ඇප පනතේ් ප්‍රතිපාදන බලනොපාන බව පවසමින් වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ දමිත් තොටවත්ත මහතා මේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් රජයේ නීතිඥ ලලිත් තොටවත්ත මහතා මෙසේද පැවැසීය.

පෙත්සම්කරු සිය පෙත්සමෙන් සඳහන් කැර ඇත්තේ වංචාවට අදාළ බව කියන සමාගම හා තමාගේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවයි.

අදාළ සමාගම හා පෙත්සම්කාර ධනුන තිලකරත්නගේ නෛතික සම්බන්ධයක් නොමැති වූවාට එම සමාගමේ අධ්‍යක්ෂවරු හා නිලධාරින් සමඟ පෙත්සම්කරුගේ සම්බන්ධතා තිබුණ බවට සාක්කි තිබෙනවා. මේ සම්බන්ධව රහස් පොලිසිය තවදුරටත් පරීක්ෂණ ඉදිරියේදී සිදුකරනවා.

මේ සිද්ධියට පදනම වන්නේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ‘හයිකොප්’ පුද්ගලික සමාගම ඔස්ට්‍රේලියාවේ ‘බ්‍රිටිෂ් බෝනියෝ ඩිෆෙන්ස්’ සමාගමෙහි නියෝජිතයෙක් බව දන්වා ආරක්ෂක අමාත්‍යාංශයේ සැපැයුම්කරුවකු ලෙස ලියාපදිංචි වීමත්, ඉන් ටෙන්ඩර් සඳහා ඉල්ලුම්කැර ඉහත ඔස්ට්‍රේලියානු සමාගම නමින් මිල ගණන් ඉදිරිපත් කැර ටෙන්ඩර් ලබා ගැනීමයි.

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ‘හයිකොප්’ පුද්ගලික සමාගමේ ඉල්ලීම මත ඔස්ට්‍රේලියාවේ ‘බ්‍රිටිෂ් බෝනියෝ ඩිෆෙන්ස්’ සමාගමේ ඒජන්තවරයකු ලෙස පෙනී සිටීම සඳහා ඇටෝනි බලපත්‍රයක් ලබාදුන් බව එම සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කැර තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ලියාපදිංචි එම සමාගමෙන් භාණ්ඩ ආනයනය කැර ශ්‍රී ලංකාවේ විකිණීමටත්, එම සමාගම වෙනුවෙන් මිල දැන්වීම් ඉදිරිපත් කිරීම හා මූලිකයා වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රවර්ධන කටයුතුª සිදුකිරීමේ හිමිකම තිබී ඇති බව කියයි.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය සමඟ භාණ්ඩ සැපැයීම පිළිබඳ ගිවිසුමකට “හයිකොප් පුද්ගලික සමාගම එළැඹ ඇති බව කිසිදිනෙක දැන නොසිටි බව ඔස්ට්‍රේලියාවේ ‘බ්‍රිටිෂ් බෝනියෝ ඩිෆෙන්ස්’ සමාගමේ සභාපතිවරයා පවසා සිටිනවා.

තවද හයිකෝප් සමාගම කැර ඇත්තේ තමන්ට බලයක් නැති ක්‍රියාවක් හා වංචාවක් බවද ඔස්ට්‍රේලියානු සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටිනවා.

භාණ්ඩ ආනයනයේදී හා ටෙන්ඩර්වලදී ‘හයිකොප්’ පුද්ගලික සමාගම පෙනී සිට ඇත්තේ මේ ඔස්ට්‍රේලියානු සමාගම නමිණි. එහෙත් ඊට අදාළ මුදල් අමෙරිකාවේ බ්‍රිටිෂ් බෝනියෝ ඩිෆෙන්ස්’ සමාගමට යවන ලෙස ‘හයිකොප්’ පුද්ගලික සමාගම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය වෙත ලිපියකින් ඉල්ලා සිටිමින් ඒ සඳහා ඕස්ට්‍රේලියාවේ ඉහත සමාගමේ සභාපතිවරයා අකමැත්තක් නැති බවද සඳහන් කැර ඇති බව දන්වා තිබෙනවා.

ඒ අනුව අදාළ මුදල් අමෙරිකාවේ වූ ‘බ්‍රිටිෂ් බෝනියෝ ඩිෆෙන්ස්’ සමාගමට යවා තිබෙනවා. එහෙත් එම සමාගම අමෙරිකාවේ ලියාපදිංචි “හයිකොප් ඉන්ටර්නැෂනල්” සමාගමේ වෙළෙඳ නාමය බවට දැන් හෙළිවී තිබෙනවා. එහි අයිතිකරු මෙහි පෙත්සම්කරු වන ධනුන තිලකරත්නයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය වෙත ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ‘හයිකොප් පුද්ගලික සමාගම ඉදිරිපත් කැර ඇති අටෝනි බලපත්‍රය හැර සෙසු සියලු ලේඛන ව්‍යාජ බව ඔස්ට්‍රේලියානු “බ්‍රිටිෂ් බෝනියෝ ඩිෆෙන්ස්” සමාගමේ සභාපති පවසා සිටිනවා.

හයිකෝප් පුද්ගලික සමාගම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය වෙත ටෙන්ඩර් සඳහා “ඕස්ට්‍රේලියානු සමාගම් නාමය ඉදිරිපත් කැර ඇත්තේ ආරක්ෂක උපකරණ සම්බන්ධව ක්‍රියාකරන පිළිගත හැකි සමාගමක් නිසයි. සියලු දේ මෙලෙස වංචා ලෙස සිදුකැර ආරක්ෂක අමාත්‍යාංශය හා හමුදාව රැවැටීමකට ලක්කැර තිබෙනවා.

රටේ මුදල් ඕස්ට්‍රේලියාවේ අදාළ සමාගමට යවන මුවාවෙන් වෙනත් රටක වෙනත් සමාගමකටද යොමු කළා. හයිකොප් සමාගම භාණ්ඩ ගෙන්වා ඇත්තේද ඕස්ට්‍රේලියානු සමාගමෙන් නොවන බැවින් මින් ස්ථාපිත වන්නේ රජයේ මුදල් නන්නාදුනන ආයතනයකට යවා තිබෙන බවයි.

එක හා සමාන අනුරූප සමාගම් ඇති කැර ඉතා කුමන්ත්‍රණකාරී ලෙස විශාල වශයෙන් වංචාවක් සිදුකැරගෙන ගොස් තිබෙනවා. මේ කුමන්ත්‍රණයට ශ්‍රී ලංකාවේ ‘හයිකොප්’ හා අමෙරිකාවේ ‘හයිකොප්’ සමාගම්වල අධ්‍යක්ෂවරු හා නිලධාරින් යම් ආකාරයකින් සම්බන්ධ විය යුතුයි.

මේ අවස්ථාවේ සිද්ධිය සම්බන්ධව විමර්ශන කෙරෙමින් පවතිනවා. නිෂ්චිත වශයෙන් යම් අයකුට විරුද්ධව සාක්කි ඇති නම් ඒ අයට විරුද්ධව ක්‍රියා කරනවා.

පෙත්සම්කරුට පසුගිය 01 වැනිදා රහස් පොලිසියට පැමිණ ප්‍රකාශයක් දෙන ලෙසට දැන්වූවද අද වෙනතෙක් ප්‍රකාශයක් දීමට පැමිණ නැහැ.

ඔහුගෙන් හැකි ඉක්මනින් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව අධිකරණයට දන්වා සිටිනවා.

මේ පෙත්සම්කරුට පොදු දේපළ විෂයෙහිලා සැකකිරීමට හෝ චෝදනා කිරීමට කරුණු කිසිවක් නැති බවත්, මේ සම්බන්ධව අධිකරණයට ඉදිරිපත් කැර ඇති නඩුවෙන් පෙත්සම්කරු සැකකරුවකු ලෙස නම් කැර නැති බවත් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සාලිය පීරිස් මහතා පැවැසීය.

පෙත්සම්කරුගේ බිරිඳගේ පියා වන සරත් ෆොන්සේකා මහතා ජනාධිපති අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බවත්, එහිදී මතුවූ කරුණු එකක් හෝ ක්‍රියාදාමයකට පෙත්සම්කරුවද හිරිහැරයට ලක්කිරීමේ තැතක් රහස් පොලිසියේ ඇති බවත් නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දක්වමින් පැවැසීය.

පෙත්සම්කරු ලංකාවේ ලියාපදිංචි හයිකොප් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු හෝ කොටස්කරුවකු හෝ වෙනත් ආකාරයක නිලධාරියකු නොවන බවත් අමෙරිකාවේ ‘හයිකොප් සමාගමේ’ හා ශ්‍රී ලංකාවේ ‘හයිකොප්’ සමාගමේ කිසිඳු සම්බන්ධතාවක් නැති බවත් නීතිඥ සාලිය පීරිස් මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටියේය.

මේ කරුණුවලදී රහස් පොලිසිය සද්භාවයෙන් ක්‍රියානොකර පෙත්සම්කරු හිංසාවට පත්කිරීමට කටයුතු කරන බව නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ පැවැසීය.

පෙත්සම්කරු යම් හේතුවකින් අත්අඩංගුවට ගනු ලැබුවහොත් ඔහුට අත්අඩංගුවේදී බොහෝ පීඩන හා හිරිහැරවලට ලක්වීමට සිදුවන බවත් පැවැසූ නීතිඥ සාලිය පීරිස් මහතා පෙත්සම්කරු හට අපේක්ෂිත ඇපයක් නියම කරන මෙන් ඉල්ලීමක් කෙළේය.

දෙපාර්ශවයේම කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා අපේක්ෂිත ඇප අයැදුම සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම හෙට (10) ට කල් තැබීය.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ මුදිත අබේරත්න මහතාගේ උපදෙස් මත නීතිඥ රුක්ෂාන් නානායක්කාර මහතා සමඟ නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය.

වගඋත්තරකාර රහස් පොලිසිය වෙනුවෙන් රජයේ නීතිඥ දමිත් තොටවත්ත මහතා සමඟ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී. ගජසිංහ, ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිරිවර්ධන යන මහත්වරු පෙනී සිටියහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා