කිසිදු ආකාරයක වංචාවක් සිදු නොවුණු එකම මැතිවරණය මේ ජනපතිවරණයයි
කිසිදු ආකාරයක වංචාවක් සිදු නොවුණු
එකම මැතිවරණය මේ ජනපතිවරණයයි
- උඩුනුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක එස්. බී. දිසානායක
සංජය අසේල මතුරට සහ
එල්. එස් එගොඩවිට
කිසිඳු වංචාවක් සිදු නොවුණු එකඳු හොර ඡන්දයක් හෝ නොවැටුණු ශ්‍රී ලංකාවේ මෙතෙක්
පැවැති එකම සාධාරණ මැතිවරණය පසුගිය ජනාධිපතිවරණය පමණකැයි මධ්‍යම පළාත් සභාවේ හිටපු
විපක්ෂ නායක උඩුනුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායක එස්. බී. දිසානායක මහතා
පැවැසීය.
පසුගිය ජනාධිපතිවරණයේ දී දූෂිත බවට තමන් විසින් කරනු ලබන චෝදනා සියල්ල අමූලික බොරු
බව රනිල් වික්‍රමසිංහ , මංගල සමරවීර , සෝමවංශ අමරසිංහ හා අනුර කුමාර දිසානායක යන
මහත්වරු දැන සිටියත් මේ යථාර්ථය නොදන්නා දේශපාලන අවබෝධයෙන් හා අත්දැකීම්වලින් තොර
වූ සරත් ෆොන්සේකා තමන්ගේ රැස්වීම් සඳහා සහභාගී වූ සෙනඟත් පසුගිය කාලයේ ඔහු අතවනපු
සියලුම දෙනාත් තමන්ට ඡන්දය දී ජනාධිපති බවට පත් කළා යැයි සිතාගෙන තවමත් පිස්සු
කෙළින බවද ඒ මහතා කීය.
එස්. බී. දිසානායක මහතා මේ අදහස් පළ කෙළේ පසුගිය 6 වැනිදා පිළිමතලාව ඌරාපොල ශ්‍රී
අභයරාජ පිරිවෙන් විහාරස්ථානයේ පැවැති යටිනුවර ශ්‍රී. ල. නි. ප ආසන බල මණ්ඩල
රැස්වීමේ දීය. යටිනුවර කඳු පළාත ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි ශාස්ත්‍රපති
පණ්ඩිත මොරගොල්ලේ ජිනරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ රැස්වීමේ දී
වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද කීය.
මේ අප පසුවන්නේ හතර අවුරුදු දේශපාලන ඉතිහාසයක අලුත් පරිවර්තනයක් ලැබූ මොහොතකයි.
2005 වසරේ දී ශ්‍රී. ල. නි. පය චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වය යටතේ අවසානයේ දී
අකමැත්තෙන් වෙනත් කිසිම කරන්නට දෙයක් නැතිව මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා
ලෙස නම් කළා. ඊටත් එහා ගියාම 2004 දී අපේ ආණ්ඩුවක් හදාගන්න නම් මහින්දට අගමැතිකම
අනිවාර්්‍යයෙන්ම දිය යුතු බවට ශ්‍රී ල.නි. ප යට පොදු පෙරමුණට , ජ. වි. පෙ ට එකඟ
වීමට සිදු වුණා. එය මේ යුග ඉතිහාසයේ ආරම්භයයි.
මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව පැවැති එ. ජා. ප ය එදා නියෝජනය කළත් මා හිටියේ
හිරගෙදර ශ්‍රී. ල. නි. ප ය තුළින් ක්‍රියාත්මක වූ මහින්ද විරෝධී බලවේගයට නායකත්වය
දුන්නේ චන්ද්‍රිකා කුමාරතුංග සහ අනුර බණ්ඩාරනායකයි. උඩිනුත් ගිනි යටිනුත් ගිනි
ඇවිලෙද්දී එදා මහනුවර දිස්ත්‍රික්කයේ 100%ක් රාජපක්ෂ චරිතයක් එක්ක වෙළිලා එතුමාට
ජනාධිපතිකම ගන්න උදව් කරපු පුද්ගලයා ටිකිරි කොබ්බෑකඩුව මහතායි. එයට සහාය දුන්
ප්‍රධාන පිරිස යටිනුවර ජනතාවයි. එබැවින් එම යුග පෙරළියේ උරුමකරුවන් සහ අයිතිකරුවන්
ඔබ පමණයි.
මරණය පෙනි පෙනී රට ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් ධෛර්යවන්ත මිනිසාට මේ රටේ ජනතාව උපරිම
ලෙස කෙළෙහි ගුණ සැලකුවා. ඡන්දයට පෙර රටේ හැම තැනම තිබ්බේ සරත් උඩින් දිනනවා කියන
ප්‍රචාරයයි. එයට නිවැරැදිව ජනතාව උත්තර දුන්නා. මේ රටේ අති ගෞරවණීය මහා සංඝරත්නය
එයට නායකත්වය දුන්නා.
පසුගිය 26 වැනිදා සවස 5.30 වෙනකොට ලංකාවේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයෙන් මහින්ද රාජපක්ෂ
මහතා දිනන බවට අපට තොරතුරු ලැබුණා. මේ පණිවුඩය මට දිස්ත්‍රික්ක 7ක කිවේ ඒ ප්‍රදේශවල
යූ. ඇන්. පී මන්ත්‍රීවරුන්. ඔවුන් කිව්වේ එස්. බී . අයියා මේ සැරෙත් අපට කෙළ
වෙනවා’’ කියලයි. එහෙම නම් ඡන්ද හොරකම් කරන්නේ කොහොමද ?
මේ රටේ පැවැති අවාසනාවන්තම, අසාධාරණතම, අවීනිතම හා අඳුරු ඡන්ද කීපයක් තිබෙනවා. ඉන්
පළමු වැන්න 1981 යාපනයේ සංවර්ධන සභා මැතිවරණයයි. ඒක මෙහෙයවූයේ ගාමිණී දිසානායක
මහතායි. ඒකෙදි දහදුරා වැඩ සියල්ලම කළේ වර්තමාන එ. ජා. ප සභාපති ජයවික්‍රම පෙරේරා
කුරුණෑගලින් ගෙන ගිය මැර පිරිසයි. යාපනයේ පුස්තකාලයට ගිනි තියලා පිස්තෝල කටවල් වලට
ඔබලා ඡන්ද මං කොල්ල කෑවා. ඒ ආණ්ඩුවයි මේ රට මහා කාලකන්නි පාපතර 30 අවුරුදු යුද්ධයකට
ඇඳගෙන උතුරේ තරුණයන් අතට මරාගෙන මැරෙන බෝම්බය , තුවක්කුව දුන්නේ.
ඊළඟ ඡන්දය 82 ජනමත විචාරණයයි. ඒක මෙහෙයවූවේ රනිල් වික්‍රමසිංහයි. එදා ශ්‍රී. ල. නි.
ප ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ ඡන්දයත් හොරට දාගත්තා. ඊට පස්සේ 1999
වයඹ පළාත් සභා ඡන්දය චන්ද්‍රිකාගේ උපදෙස් පරිදි ඒ පාපතර වැඩේට මටත් කරගන්න
සිද්ධවුණා. ඒ මැතිවරණය සාධාරණයි කිව්වේ මංගල සමරවීර මහතායි.
මේ ජනාධිපතිවරණය පටන් ගන්න තැන ඉඳලා මැතිවරණ කොමසාරිස්වරයා කෙළින් හිටියා. සමහර
තීන්දු රජයට එරෙහිව පාවා ගත්තා. මේ ඡන්දයේ දී විපක්ෂය ඉල්ලපු හැම දෙයක්ම ඔහු
දුන්නා. ඡන්ද පෙට්ටිත් එක්ක විපක්ෂයේ උදවියත් කච්චේරියට ගියා. එක තැනකදීවත්
විපක්ෂයේ නියෝජිතයන් පන්නා බලහත්කාරයෙන් ඡන්දය දැමුවා කියන කිසිම පැමිණිල්ලක් නැහැ.
විපක්ෂය මේ කියන්නේ ලංකාවේ සියලු දිසාපතිවරු හොරු සහකාර මැතිවරණ කොමසාරිස්වරු හොරු
මැතිවරණ කොමසාරිස් ඇතුළු මුළු මැතිවරණ දෙපාර්තමේන්තුවම හොරු මැතිවරණ රාජකාරිවල නිරත
වූ සියලුම රජයේ සේවකයෝ හොරු කියලයි. මේ මුලාවට හංසයාට ඡන්දය දුන්න අය වැටෙන්න එපා.
තව අවුරුදු 5 - 6 කින් මේ රට දුප්පත්කමින් මිඳෙනවා. රටේ ඒක පුද්ගල ආදායම වැඩි
වෙනවා. ජීවන මට්ටම ඉහළ යනවා. රට සංවර්ධන වෙනවා. එබැවින් සියලු සුළු ජාතීන් සමඟ
අත්වැල් බැඳගනිමින් ඉදිරි මහා මැතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තවත් යෝධ
ජයග්‍රහණයක් ලබා දෙමින් එම ගමන තවත් ශක්තිමත් කරමු.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා
2005 ජනාධිපතිවරණයේ දී අපට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට උපරිම අයුරින් යුතුකම්
ඉෂ්ට කරන්න බැරි වුණා. ඒත් අපි යටිනුවර ආසනය ඡන්ද 363කින් පරාජය වුණා. නමුත් අපි මේ
වතාවේ මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස අතුරින් තුන්වන තැනට වැඩි ඡන්ද ලබා
ගනිමින් ඡන්ද 10,374කින් ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයට දායක වුණා. ඒ සඳහා යෝධ ශක්තියක්
බලයක් සැපයූ ජනතාවට ගෞරවාචාරය පිරිනමන අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය
යටතේ යටිනුවර ජනතාවට සුබ අනාගතයක් උදාකර දීම සඳහා මා උපරිම ලෙස කැපවෙනවා.
මේ රැස්වීම අමතා මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ඒ. ජී. සිරිසේන, කඩුගන්නාව නගර සභාවේ
විපක්ෂ නායක සිසිර අබේවික්‍රම යන මහත්වරුද කථා කළ අතර එම අවස්ථාවට උඩුනුවර උඩ පළාත්
ප්‍රධාන සංඝනායක නිකහැටියේ සෝරත නාහිමියන් සහ මධ්‍යම පළාත් සභා මන්ත්‍රි ඒ. එම්.
මානෙල් බණ්ඩාර , යටිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති තුසිත කුමාර වලගෙදර යන මහත්වරු
ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
|