ෂෙහාන් අඹේපිටිය දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා වෙයි

මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2යි : රිදී 3යි : ලෝකඩ 3 යි

ෂෙහාන් අඹේපිටිය දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා වෙයි

ටයිකොන්ඩෝ පුහුණුකරු හා කළමනාකරු ගැටෙද්දී කේෂියා රන් පදක්කමක් දිනා දෙයි

බංග්ලාදේශයේ ඩකාහී දැන් පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදි ෂෙහාන් අඹේපිටිය මීටර් 100 තත්පර 10.46 කින් නිම කරමින් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසාට හිමි රන් සම්මානය ඊයේ දිනා ගත්තේය.

ඔහු මීටර් 200 රිදී පදක්කම දිනාගත් විට පැවැසුවේ මීටර් 100 රන් පදක්කම නියත වශයෙන්ම දිනා දෙන බවයි. එම අධිෂ්ඨානය සැබෑ කළ 20 හැවිරිදි ෂෙහාන් ඉන්දීය ක්‍රීඩකයාට වඩා තත්පර 10 ක කාලයක් ඉදිරියෙන් සිටියේ ය. පොදු රාජ්‍ය මණ්ඩලීය කණිෂ්ඨ ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කමක්ද දිනා සිටි ෂෙහාන් අඹේපිටිය 20 හැවිරිදි වියෙහි පසුවෙයි.

 මීටර් 100 තරගයේ ෂෙහාන් අඹේපිටිය (254) ජයග්‍රාහී අවස්ථාවට ළංවෙමින්.
ඡායාරූප :- ප්‍රින්ස් ගුණසේකර

11 වැනි දිනය නිමා වෙද්දී ශ්‍රී ලංකාව රන් පදක්කම් 16ක් රිදී පදක්කම් 32ක් හා ලෝකඩ පදක්කම් 50ක් ලබා සිවුවැනි ස්ථානයේ පසුවිය.

ඊයේ දිනයේ දී ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩා ඉසව්වලින් රන් පදක්කම් 2ක් හා රිදී පදක්කම් 3ක් ලෝකඩ පදක්කමේ 3ක් එක් විය ඒ අනුව මලල ක්‍රීඩා ඉසව්වලින් ශ්‍රී ලංකාව දැනට රන් 7ක් රිදී 7ක් හා ලෝකඩ 6ක් දිනා සිටී. අද දිනයේ පිරිමි මැතරන් තරගයෙන් මලල ක්‍රීඩා ඉසව් නිමාවට පත්වේ.

කේෂියාගේ දිරිය රන් පදක්කම

ටයිකොන්ඩෝ කි. ග්‍රෑ. 57ට අඩු බර පංතියෙන් තරග කළ ශ්‍රී‍්‍ර ලංකාවේ කේෂියා ෂූහෙල් රන් පදක්කම දිනා ගත්තාය. ඇය මේ පදක්කම දිනාගත්තේ මතභේදයට තුඩුදෙන වාතාවරණයක් මධ්‍යයේය.

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ කළමනාකරු සුජීව ප්‍රනාන්දු මහතා හා කොරියානු ජාතික පුහුණුකරු කී ෂූ ලී අතර ප්‍රබල මත ගැටුමක් මැද තරගයට පිවිසි කේෂියා ශ්‍රී ලංකා නාමය ඉදිරියේ මේ රන් පදක්කම සටහන් කිරීම විශේෂත්වයකි.

කේෂියා ෂූහෙල්

 

ටයිකොන්ඩෝ කළමනාකරුගේ මතය වූයේ ක්‍රීඩිකාව තරගයට සහභාගී නොකළ යුතු බවයි. ඔහු ඒ සඳහා තරගයට පෙර විනිසුරුවන් වෙත ලිඛිත විරෝධතාවක්ද ඊයේ ඉදිරිපත් කළේය. එහෙත් ටයිකොන්ඩෝ ජාතික පුහුණුකරු කී ෂූ ලී ගේ් අදහස වූයේ කේෂියා තරගයට අනිවාර්යයෙන්ම සහභාගී කළ යුතුª බවයි. පුහුණුකරුගේ තීරණය නිවැරදි බව සනාථ කරමින් ක්‍රීඩිකාව දක්ෂතා දැක්වීය.

කේෂියා ශ්‍රී ලංකාවේ දක්ෂතම ටයිකොන්ඩෝ ක්‍රීඩිකාවක් වූ අතර පසුගිය දිනවල අමෙරිකාවේ ඉගෙනුම ලැබුවාය.

කෙසේ වුවද ටයිකොන්ඩෝ කළමනාකාරීත්වය මුල සිටම මේ ක්‍රීඩිකාව තරගයට ඉදිරිපත් නොකිරීමට කටයුතු කිරීම පුදුම සහගත වූ බව කොරියානු ජාතික පුහුණුකරු ‘දිනමිණ’ට පැවැසීය.

කේෂියා ෂුහෙල් රන් පදක්කමක් දිනා ගනිද්දී කි. ග්‍රෑ 53 තරග කළ ගයාත්‍රි සඳමාලි හා කි. ග්‍රෑ 87 තරග කළ රවීන්ද්‍ර ලෝකඩ පදක්කම් ඊයේ හිමිකර ගත්හ.

කාන්තා දුර පැනීමේ ඉසව්වට එක් වූ සී. ඩී. එන්. ප්‍රියදර්ශනී මීටර් 6.20ක දුරක් පනිමින් රන් පදක්කම දිනා ගත්තාය. ඉන්දියාවේ රෙෂ්මි බෝස් (මී. 6.09) රිදී පදක්කමද ප්‍රජුෂා (මී. 5.96) ලෝකඩ පදක්කමද දිනා ගත්හ.

දුර පැනීමේ රන් පදක්කම දිනාගත් එන්. සී. ඩී. ප්‍රියදර්ශනී.

මීටර් 400 ඔ 4 කාන්තා රිදී පදක්කම විනාඩි 3 : 44 . 81 කින් තනුජා කුමාරි , මේනකා වික්‍රමසිංහ , රත්නා කුමාරි හා චන්ද්‍රිකා සුභාෂිනී ද එහි පිරිමි රිදී පදක්කම රොහන් ප්‍රදීප් , ;රීහිත පුෂ්පකුමාර , යූ. ජී. වික්‍රමසිංහ හා ප්‍රසන්න අමරසේකර එක්ව දිනා ගත්හ.

මිටර් 100 කාන්තා රිදී පදක්කම ප්‍රමිලා පියදර්ශනී (තත්. 11. 93) හා ලෝකඩ පදක්කම අචලා ඩයස් (තත්. 12. 12) දිනා ගැනීමට සමත් වූහ. එහි රන් පදක්කම පාකිස්තානයේ නසීම් (තත් 11.81) දිනා ගත්තාය.

මීටර් 5000 ලෝකඩ පදක්කම චමින්ද විජේකෝන් (වි. 14: 47 . 68) දිනාගත් අතර උස පැනීමේ ලෝකඩ පදක්කම නලීන් ප්‍රියන්ත (මී. 2.13) දිනා ගත්තේය.

බොක්සිං - රිදී පදක්මයි: ලෝකඩ 3 යි

කි . ග්‍රෑ 64 ලයිට් වේට් තරගයට එක් වූ සිසිර කුමාරසිංහ රිදී පදක්කම දිනාගත්තේ බංග්ලාදේශයේ අබ්දුර් රහීම්ට පරාජය වෙමිනි. කි. ග්‍රෑ 54 බැන්ටම් වේට් තරගයේ දී කමල් සමීර , කි. ග්‍රෑ 57 ෆෙදර් වේට් තරගයේ දී සමන් ප්‍රියදර්ශන සිල්වා හා කි. ග්‍රෑ 60 ලයිට්වේට් තරගයේ දී කේ. ජයසුන්දර ලෝකඩ පදක්කම් දිනා ගත්හ.

මීටර් 1.81ක දක්ෂතාවක් දක්වමින් උස පැනීමේ රන් පදක්කම දිනාගත් ප්‍රියංගිකා මධුමන්ති.

පිහිනුම්-රිදී 1 යි: ලෝකඩ 2 යි

මීටර් 100 ඔ 4 මෙඩ්ලි සහාය කාන්තා තරගයට එක් වූ ගිහාරා අමරසිංහ , මිනේකා කරුණාරත්න , මිනිරුවණී සමරකෝන් හා මාධවී වීරතුංග විනාඩි 4 : 52.24 කින් තරගය නිමකර රිදී පදක්කම දිනා ගත්හ.

මීටර් 50 නිදහස් ආර තරගයෙන් මාධවී කෞෂල්‍ය කලුආරච්චි (තත්. 29.78) ලෝකඩ පදක්කමද මීටර් (100 ඔ 4) මෙඩ්ලී සහය තරගයෙන් හේෂාන් උණම්බුව , දිලූක තිබ්බොටුමුනුව , කොන්රඩ් ෆ්‍රැන්සිස් හා චානුක වික්‍රමසිංහ (වි. 4: 07.04) ලෝකඩ පදක්කමද දිනා ගත්හ.

කරාටේ රිදී පදක්කමක්

කි. ග්‍රෑ 75 ඒකල කුම්තේ ඉසව්ව නියෝජනය කළ මොහොමඩ් නිෆාස් රිදී පදක්කම දිනා ගත්තේ ය. එම පදක්කමත් සමඟ කරාතේ ක්‍රීඩාවෙන් මේ තරගාවලියේ දී ශ්‍රී ලංකාවට රන් 1ක් රිදී 2ක් හා ලෝකඩ 4 ක් හිමි විය.

ටේබල් ටෙනිස් ලෝකඩ 2යි

ටේබල් ටෙනිස් මිශ්‍ර යුගල තරගවල සහභාගී වූ චලිත රංජන හා තරින්ද්‍ර දර්ශනී ද රොහාන් සිරිසේන හා ඉෂාරා මධුරංගිද ඊයේ තවත් ලෝකඩ පදක්කම් 2ක් දිනාගත්හ.

දුනු විදීමෙන් ලෝකඩ පදක්කමක්

දුණු විදීම කාන්තා ඉසව්වෙන් දිල්හාර ලහිරු ප්‍රසාදනී ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය.

වූෂු ලෝකඩ 2 ක්

වූෂු තායිජික්වාන් කාන්තා ඉසව්වෙන් ධනූෂී තාරාකා ද නන්ක්රවුන් පිරිමි ඉසව්වෙන් රුවින්ද සිල්වා ද ලෝකඩ පදක්කම් දිනා ගත්හ.

මුල්ම සාග් ක්‍රිකට් රන් පදක්කම දිනා ගැනීම බංග්ලාදේශ වැසියන්ට ලෝක කුසලානය දිනුවා වගෙයි

බංග්ලාදේශ පිලේ ආරම්භක පිතිකරු එනමුල් හක් පන්දු 38කදී ලකුණු 43ක් ලබා ගැනීමත් පා දඟපන්දු යැවූ සබීර් රහ්මාන් ලකුණු 24කට කඩුලු 4ක් බිදහෙලා ශ්‍රී ලංකා පිල අපහසුතාවට ලක් කිරීමත් මුල්ම දකුණු ආසියානු ක්‍රිකට් රන්පදක්කම බංග්ලාදේශයට හිමිකර දීමට ප්‍රධානතම හේතු විය.

විසි දහසකට අධික පේ‍්‍රක්ෂක පිරිසකගේ ඔල්වසරන් මැද පෙරේදා මේ ලැබූ ඓතිහාසික ජයග්‍රහණය බංග්ලාදේශයට ලෝක කුසලානය හිමිවූවා වැනිය. ජයග්‍රහණයෙන් පසු එදින රාත්‍රී මීර්පූර් බංග්ලා ජාතික ක්‍රීඩාංගණය අවට වීදී වල නටමින් ගයමින් බංග්ලාදේශ වැසියෝ ප්‍රීති වූහ.

බංග්ලාදේශයේ ක්‍රිකට් හා පාපන්දු අතිශය ජනප්‍රිය තත්ත්වයක පවතී. එබැවින් 21න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණයද උණුසුම් තත්ත්වයක් ගෙන දුන්නේ ය.

ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය උදෙසා එක් ඕවරයකට ලකුණු 7.85ක දළ වේගයක් රඳවාගත යුතුව තිබුණි. ශ්‍රී ලංකා මුල් කඩුලු 3ක් බිඳ වැටෙද්දී එම වේගය ඉතා හොඳින් රඳවාගෙන තිබුණ ද ඉතිරි සියලු පිතිකරුවන් ලකුණු 59කදී දැවී ගියහ. ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ගේ මැදපෙළ ක්‍රීඩා කිරීම ඉතා දුර්වල මට්ටමක පැවැතුණි. දුවද්දී දැවී යෑම් දෙකක් හා උඩපන්දු 5ක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් ලැබුණි. එයින් 3ක්ම ඉතා පහසු ඒවා විය.

බංග්ලාදේශය ඕවර් 20කදී කඩුලු 7කට ලකුණු 157 ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව ක්‍රිකට් රිදී පදක්කමට හිමිකම් කීවේ ලකුණු 152කට සීමා වෙමිණි.

අභිමානවත් සමාප්ති උළෙලකට සැරසෙයි

බංග්ලාදේශයේ ඩකා නුවර පැවැත්වෙන 11 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සමාප්තිය අභිමානවත් අයුරින් සැමරීමට සියලු කටයුතු යොදා ඇතැයි සංවිධායකයෝ පවසති. බංගබන්ධු ජාතික ක්‍රීඩාංගණයේ දී හෙට පස්වරු 4.00ට ආරම්භ වන සමාප්ති උළෙලට බංග්ලාදේශ ජනපති සිල්ලූර් රහ්මාන් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වේ.

මාස 2ක් පමණ තිස්සේ ප්‍රංශය , බෙල්ජියම , ජර්මනිය , මලයාසියාව හා සිංගප්පූරුව වැනි රටවල තාක්ෂණික සංදර්ශන විශේෂඥයන් 36 දෙනෙකු යටතේ සමාප්ති උළෙලේ පුහුණු වීම් සිදු කෙරුණු අතර මුල් පෙළේ කලාකරුවන් 250ක් , බංග්ලාදේශ යුද හමුදා භටයන් 1000ක් හා පාසල් සිසු සිසුවියන් සංදර්ශන ඉදිරිපත් කරනු ඇත.

තාක්ෂණය , විශේෂඥ දැනුම උපරිමව යොදා ගන්නා සමාප්ති උළෙල බංග්ලාදේශ සංස්කෘතියේ ඓතිහාසික සටහනක් වනු ඇති බවට විශ්වාසයක් පවතී. දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේ දී ද අලංකාර මත්ස්‍ය ආකෘතිවලින් සපිරි විශේෂ සංදර්ශනයක් පැවැති අතර එය ඉතා සිත් ගන්නා සුළු එකක් විය.

සමාප්ති උළෙලට ප්‍රංශයෙන් මල්වෙඩි ආනයනය කර ඇති අතර සමාරම්භක හා සමාප්ති උළෙලට සම්පූර්ණ වියදම ඇ. ඩො. ලක්ෂ 58ක් පමණ වැය කර ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා