යොවුන් පාර්ලිමේන්තුවට නාමයෝජනා 1130ක්

යොවුන් පාර්ලිමේන්තුවට නාමයෝජනා 1130ක්

යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්දහස් එකසිය තිස්දෙනකු (1130) නාමයෝජනා භාර දී ඇත. දිවයිනේ දිස්ත්‍රික් විසිපහක් නියෝජනය වන පරිදි යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මේ නාමයෝජනා භාර දී ඇති අතර නාමයෝජනා භාරගැනීම පසුගිය දහවැනිදා අවසන් විය.

යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය ලබන විසිහත්වැනිදා (27) පැවැත්වීමට නියමිත අතර නොවැම්බර් පළමුවැනිදා සිට නාමයෝජනා භාරගැනීම සිදුවිය. දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුන්සිය තිස්දෙකක් නියෝජනය කරමින් යොවුන් මන්ත්‍රීවරුන් තුන්සිය තිස්දෙදෙනකු පත්කර ගැනීමට නියමිතය.

සියලු ජාතීන් නියෝජනය වන පරිදි තිදෙනකු පත්කෙරේ. ප්‍රධාන තේරීම් භාර නිලධාරියා ලෙස කටයුතු කරන යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එම තිදෙනා පත්කරනු ලබයි. යොවුන් පාර්ලිමේන්තුවේ ප්‍රථම සැසිවාරය ලබන දෙසැම්බර් දොළොස්වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

දිවයින පුරා ක්‍රියාත්මක යෞවන සමාජවල සාමාජිකත්වය ඇති අවුරුදු දහතුන සිට විසිනවය දක්වා සීමාවේ තරුණ තරුණියන්ට මැතිවරණය වෙනුවෙන් නාමයොජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සළසා තිබූ අතර ඡන්දය පාවිච්චි කළ හැක්කේත් සාමාජිකයින්ට පමණි. යෞවන කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවෙන ජාතික යොවුන් පාර්ලිමේන්තුව සඳහා ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයක් පිහිටුවීම ද පසුගියදා සිදුවිය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා