මුද්‍රණය සඳහා

 
මාගම්පුර වරාය රටට ධන නිධානයක්

මාගම්පුර වරාය රටට ධන නිධානයක්

ආරියශීලි වික්‍රමනායක - මවුබිම ලංකා පදනම සහ මාස්ටර් ඩයිවස් සමාගමේ සභාපති

ස ඉසුරින් සපිරි සෞභාග්‍යමත් ශ්‍රී ලාංකේයීය ජාතිය ගොඩනැගීමේ ඓතිහාසික වූත්, විප්ලවීය වූත්, රන් දොරටුව හෙට (18) විවෘත වන්නේ ය. දකුණුලකට පමණක් නොව, මුළු මහත් රටේ ම ජනතාවට කැවුම් කිරිබත් පිස අනුභව කොට සතුටුවිය හැකි ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන මොහොතක් ලෙස මේ මොහොත සඳහන් කළ හැකිය.

ලොව විශාලතම සහ කාර්යබහුලම වරාය ලෙස සැලැකෙන නෙදර්ලන්තයේ ‘රොටර්ඩෑම්’ වරායට නොදෙවෙනි ලෙස දියුණු විය හැකි හම්බන්තොට නැතිනම් මාගම්පුර වරායට පළමු නෞකාව හෙට සපැමිණේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රාජ්‍ය පාලන සමය කිසිදිනෙක අමතක නොවන සේ තබන රන් සටහනක් වැනි මේ වරායේ ඉදිවීම, එතුමා මෙරට පළමු පුරවැසියා නොවන්නට සිහිනයක් ම වන්නට තිබුණි.

නව ජාත්‍යන්තර මට්ටමේ වරාය විවෘත කිරීම යනු ශ්‍රී ලංකාව ලෝකයේ දියුණු රටක් බවට පත්වීමේ සදානුස්මරණීය, යෝධ පියවරක් තැබීමකි.

එය ශ්‍රී ලාංකේයීය මතු පරපුරේ වාසනාව පාදන ස්වර්ණමය අවස්ථාවක් උදාකිරීමක් යැයි අප සමඟ පැවැසුවේ නාවික ක්ෂේත්‍රය ජයගත් ලාංකික පුත්‍රයෙකි. ඔහු, මාස්ටර් ඩයිවර්ස් සමාගමේ සභාපති සහ මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශීලි වික්‍රමනායක මහතායි.

ශ්‍රී ලංකාවේ ස්වභාවික පිහිටීම පිළිබඳව කතිකා නොකොට හම්බන්තොට ජාත්‍යන්තර මට්ටමේ වරායේ තිබෙන වටිනාකම පැහැදිලි කරගත නොහැක. සමකය ආසන්නව පිහිටි දවසේ පැය 24න්, පැය 12ක් ම ඉතා හොඳට අව්ව තිබෙන කාලගුණික පරිසරයක් ඇති අප රට සත්‍ය ලෙසම වාසනාවන්ත එකකි. ලෝකයේ දවසේ පැය 12ක් අව්ව තිබෙන රටවල් ගණන ඉතා සීමිතය. අප රටට අයිස් පර්වත, හිම කඳු, ගිනිකඳු වැනි ස්වභාවික බාධා නොමැත.

අරාබිකරයේ ඒඩන් වරායේ සිට සිංගප්පූරු වරාය දක්වා නාවික සැතපුම් 4000ක් දිගු ලෝකයේ ප්‍රධාන නාවික මාර්ගයට සමීපව පිහිටි එකම වරාය හම්බන්තොටයි. ඒඩන් වරායේ සිට හම්බන්තොට වරාය දක්වා දුර සැතපුම් 2000 කි.

එතැන් සිට සිංගප්පූරුවට දුර ද සැතපුම් 2000 කි. ඒ අනුව ලොව නාවික ගමන් මාර්ගයේ හරි මැද පිහිටි ප්‍රධාන කේන්ද්‍රීය වරායක් ලෙස හම්බන්තොට හැඳින්විය හැකිය.

සූවස් ඇළෙන් එළියට පැමිණි ඕනෑම නෞකාවක් ලොව දසත ගමන් කිරීමට යන්නේ නම්, එය හම්බන්තොට වරාය පසුකොට යා යුතුමය. එවැනි නෞකාවලට අවශ්‍ය මූලික පහසුකම් ලබාගැනීමට බොහෝදුරට හම්බන්තොට වරායට සේන්දු විය යුතුය.

එය ඔවුන්ට ඉතා පහසුවන්නකි. එසේ නොමැතිව වරාය සේවා ලබා ගැනීමට කොළඹ, චෙන්නායි, හෝ වෙනත් වරායකට නෞකා ගමන් කරන්නේ නම්, එය ප්‍රධාන මාර්ගයෙන් ඉවත් වී නාවික සැතපුම් සිය ගණනක් අමුතුවෙන් ම ගමන් කිරීමක් වනු ඇත.

හම්බන්තොට වරායේ සැලසුම

ලෝක නාවික ගමන් මාර්ගයට ඉතාම ආසන්නව සේද මාවතේ හම්බන්තොට වරාය පිහිටා තිබේ. එම වරාය ජගත් මට්ටමට සංවර්ධනය නොකොට, කොළඹ වරාය දියුණු කොට අප රටේ මහ සයුර ජය ගැනීම කිසිවෙකු සිතන්නේ නම් එය එතරම් ප්‍රඥාගෝචර නොවන්නේ ය.

කොළඹ වරාය ඇතුළු රටේ සෙසු වරායන්, දියුණු නොකළයුතු යැයි අප ඉන් අදහස් කරන්නේ නැත.

නමුත් අප රටට ලොව ප්‍රසිද්ධ නෞකා සමාගම්වල නෞකා දිනා ගැනීමට කොළඹ වරාය දියුණු කළාට වඩා හම්බන්තොට වරාය දියුණු කිරීමෙන් ඵලදායි වන බව අප විවිධ රජයන්ට රාජ්‍ය නායකයින්ට වසර ගණනාවක් තිස්සේ කරුණු පහදා දුන්නේ ය.

හම්බන්තොට වරාය පසුකොට දිනකට නැව් 100ක්, 200ක් අරාබිකරයේ සිට සිංගප්පූරුව බලා නැතිනම් ලොව එහා කෙළවර සිට මෙහා කෙළවර දක්වා විවිධ රටවලට යාත්‍රා කරති.

යුරෝපාකරය, අරාබිකරය, ඉන්දුනීසියාව, ජපානය, ඕස්ට්‍රේලියාව හා මුළු ලොව වටාම ඉක්මන් ගමන් වාර පැවැත්වීමට පෙළෙඹෙන ඕනෑම නෞකාවකට ඉතා පහසුවෙන් අතරමඟ දී අවශ්‍යවන දෑ ලබා ගැනීමට පහසුම තැන ඉඳිකළ හම්බන්තොට වරාය යැයි පැවැසීම අතිශෝක්තියක් නොවේ.

හම්බන්තොට වරාය පිහිටා තිබෙනුයේ, ලොව කිසිම වරායකට නොදෙවෙනි භූගෝලීය පසුබිමකය. එය අප රටේ ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමට ම ලැබුණු රන් ආකරයකැයි කීව ද වරදක් නැත.

අප මුලින් සඳහන් කළාක් මෙන් නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරායට අලුතින් සංවර්ධනයක් අති කළ නොහැකි ය. ඒ මන්ද මේ වන විට එහි සියලුම අංශ දියුණු කොට තිබෙන නිසාය. එමෙන් ම එහි පවතින ඉඩකඩ ද මේ වන විට සීමා වී තිබේ.

හම්බන්තොට වරායට ඇති සුවිශේෂී වාසි කිහිපයකි. ඒවා අතර අති නවීන ලෙස වැඩිදියුණු කිරීමට අවශ්‍ය තරම් ඉඩම් තිබීම පළමු වැන්නයි. හම්බන්තොට වරාය සංවර්ධනය කරන ප්‍රදේශයේ හෙක්ටයාර් දස දහසකට අධික ඉඩක් තිබේ. මේවා අත්පත් කර ගැනීම, වැඩිදියුණු කිරීම එතරම් අපහසු නොවේ.

ලොව කිසිම වරායකට නොදෙවෙනි ලෙස හම්බන්තොට වරාය ඉදිවෙමින් පවතින අයුරු....

එමෙන් ම වරාය ඉඳිකරන මාගම්පුර හා රටපුරා ම අවශ්‍ය තරම් කුසලතා සහ වෘත්තීය පුහුණුවීම් ලබා දී සවිබල ගැන්විය හැකි මානව සම්පතක් රටේ තිබේ. එය ප්‍රයෝජනයට ගත හැකිය.

ලොව දියුණු යැයි පවසන සිංගප්පූරුවේ ප්‍රයෝජනයට ගනුයේ අසල්වැසි මැලේසියාවෙන් ගෙන එන ජලයයි. එනමුත් අපිට ඇති තරම් ජලය, විදුලිය වැනි සම්පත් අපේ රටෙන් සපුරා ගත හැකිය.

හම්බන්තොට වරායට ආසන්නයේ ම තවත් සුවිශේෂී ආර්ථික ක්‍රියාකාරකමක් සිදුවේ. එනම් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ඉදි කිරීමයි. මේ නිසා ද වරායේ වැදගත්කම දෙගුණ, තෙගුණ වේ.

ඉතා විශාල ඉඩකඩක් වරාය ආශ්‍රිතව පිහිටා තිබෙන නිසා අලුතින් කර්මාන්ත, සේවා මධ්‍යස්ථාන, තෙල් පිරිපහදු සංකීර්ණ පිහිටුවා ගත හැකිය.

ලොව කීර්තිමත් රථවාහන, අමුද්‍රව්‍ය, බෙහෙත් හේත් හා යන්ත්‍රෝපකරණ, මහා පරිමාණ කර්මාන්ත ශාලා හිමිකරුවෝ දැනටමත් මෙහි තම කර්මාන්ත ශාලා ස්ථානගත කිරීමට ඉදිරිපත් වී සිටිති. එය අප ලැබූ විශාල භාග්‍යයකි.

ඔවුන්ගේ ආයෝජන හරහා නව රැකියා අවස්ථා බිහි වේ. ඒවා විවිධාකාරයේ පැති ගනු ඇත. හෝටල්, ආහාරපාන, සැකසුම්, ප්‍රවාහන, ගබඩා කිරීම්, සන්නිවේදන, තාක්ෂණික වැනි අංශවල රැකියා අවස්ථා බිහිවනුයේ දස දහස් ගණනිනි.

මෙම සංවර්ධනාත්මක ප්‍රවේශයත් සමඟ අප රටේ ශ්‍රමිකයින්ට අමතරව, පිටරටවලින් වුව මෙරටට ශ්‍රමිකයෝ ගෙන්වීමට සිදුවන බව නම් ඉතාම විශ්වාසදායකය.

වරාය සේවා ආශ්‍රිත කර්මාන්තශාලා කාර්යාල සංකීර්ණ ඇරඹීමට ඉදිරිපත් වූ ආයෝජකයින්ට අමරතව, අඩු වියදමින් තම නිෂ්පාදන ලොව පුරා බෙදා හැරීමට මධ්‍යස්ථාන ඇති කිරීමට ද දැනටමත් ආයෝජකයෝ පිරිසක් ඉඩකඩ වෙන් කරවා ගෙන තිබේ.

නව කර්මාන්තපුර බිහි වී තිබේ. එමෙන් ම මේ වරාය ආශ්‍රිතව කර්මාන්ත ආරම්භ කරන ආයෝජකයින්ට විශේෂ වරප්‍රසාද සහ සහන රජය ලබා දී තිබීම සතුටට කරුණකි.

හම්බන්තොට වරායට පිවිසෙන පළමු නෞකාව සමඟ අප ආයතනයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන ‘රුහුණුපුර නෞකාව’ ද මෙරට නිෂ්පාදිත අයිස්ක්‍රීම්, කිරි නිපැයුම් පටවාගෙන බංග්ලාදේශය බලා පිටත්ව යෑමට ද සූදානම් කොට ඇත.

එය හම්බන්තොට වරාය ඉදිකිරීමේ සිහිනය සඵල වනතුරු ඉවසුම් නැතිව බලා සිටි හා එය සාර්ථකව ඉඳිකිරීමට මඟ පෙන්නූ කෙනෙකු ලෙස මා මේ අවස්ථාවේ විඳිනුයේ නිමකළ නොහැකි සතුටකි.

ජාත්‍යන්තර මට්ටමේ නැව්තොටක් ඉඳිකිරීමෙන් පමණක් සෑහීමකට පත්වීමට අපට නොහැක. අප එම යටිතල පහසුකම රටේ සෙසු පළාත්වල දියුණුවට යොදා ගත යුතු ය. හම්බන්තොට හා අවට මෙන්ම රටේ සෑම බිමකම වගා කටයුතු සාර්ථකව කළ යුතුය. ලොව ආහාර ඉල්ලුමෙන් යම් ප්‍රමාණයක් අපේ නිපැයුමෙන් ලබාදීමට හැකිනම් එය මෙරට ගොවියාට, නිෂ්පාදකයාට හොඳ ආදායමක් ලබන මාර්ගයක් වනු ඇත.

දේශීය කර්මාන්ත හැකිතරම් ආරක්ෂා කර ගනිමින්, වැඩිදියුණු කොට ඒවායේ නිපැයුම් වැඩිවශයෙන් පිටරටවලට යවා අපගේ අපනයන ආදායම් වැඩි කර ගත යුතුය. ඒවා පිළිබඳව අලුතින් සිතා කටයුතු කිරීම අප සැමගේ වගකීම වේ.

එමෙන් ම හැකිතරම් දේශීය ආහාර බෝග, දේශීය ආයුර්වේද නිෂ්පාදන අපි ජාතියක් ලෙස ප්‍රයෝජනයට ගත යුතුය. ශ්‍රී ලංකාව දියුණුව කරා යෑමේ රහස එය වේ.

උදාහරණයක් ලෙස පහත කරුණු සලකා බලමු.

මෙරටේ වාර්ෂික තේ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1කි. අප එවන් මුදලක් ආදායමක් ලෙස ලබන විට වසරකට ඩොලර් බිලියන 03ක මුදලක් ජංගම දුරකථන සඳහා වැය කරයි. මේ තත්ත්වය ගැඹුරින් සිතා බලා හැකිතරම් අනවශ්‍ය වියදම් කපා දැමීමට රටේ පුරවැසියෝ සුදානම් විය යුතුය.

ශ්‍රී ලංකාව දියුණු කිරීමට සෑම දේශපාලන පක්ෂයක ම සහාය ලබා ගත යුතුය. අප රටේ ඉතිහාසය පරීක්ෂා කර බැලීමේ දී දක්නට ලැබෙනුයේ එක් ආණ්ඩුවක් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළක්, විපක්ෂය නිර්දය ලෙස විවේචනය කිරීමය.

විපක්ෂය ආණ්ඩු පක්ෂය බවට පත් වූ විට කරන කියන සෑම දේ පරාජයට පත් වූ ආණ්ඩුවේ සිටි අය විවේචනය කරති. මෙය දැන්වත් නතරකොට දැමිය යුතු ම ක්‍රියාවලියකි.

දේශපාලන වශයෙන් ක්‍රියාකළ යුතු තැන් හා අවස්ථා තිබේ. රටට දිගුකාලීන යහපත උදාකිරීමට ගන්නා වැදගත්, හොඳ වැඩපිළිවෙළට අකුල් හෙලීම නරක ක්‍රියාවකි.

උදාහරණයක් ලෙස පාන්පිටි පරිභෝජනය අඩුකිරීමට, දේශීය ආහාර පරිභෝජනය ඉහළ නැංවීමට රජය ගන්නා හොඳ වැඩපිළිවෙළට, ‘අඩු මිලට පාන් ඕනෑ’ යැයි පවසා ජනතාව විඳී බැස්ස වීම නොකළයුත්තකි. අප මෙහි දී කල්පනා කර බැලිය යුත්තේ දේශීය ගොවියා රැක ගන්නවාද? විදේශීය රටවල ගොවීන්ගේ සාක්කු පුරවනවාද? යන්නයි.

මෙවන් දේ පිළිබඳව ජාතියක් ලෙස ගැඹුරින් සිතා බලා කටයුතු කිරීම රටේ ජනතාවගේ වගකීමයි. රටේ ප්‍රතිපත්ති සම්පාදකයෝ කොතරම්දුරට යහපත් දෙයක් ඉටු කිරීමට ක්‍රියා කළ ද අවසානයේ ඊට පුරවැසියෝ බද්ධවිය යුතුය. එසේ නොවන තැන රට ආපස්සට ගමන්කරනු ඇත.

මේ වන විට රටේ ජනතාව ද මේ බව තේරුම් ගනිමින් සිටිති. එය යහපත් ප්‍රතිඵල ලැබීමේ මඟකි. මේ අයුරින් සිතා බලා කටයුතු කරන ජාතියක් බිහිකිරීම වැඩිහිටියන්ගේ වගකීමයි.

තව නුදුරු කාලසීමාවක දී ලොව පොහොසත් ම රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පවත්වනු ඇත. එදිනට ශ්‍රී ලංකාව, මාගම්පුර වරාය තිබෙන රට ලෙස හැඳින්වීමට ද බැරි නැත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
webmanager@lakehouse.lk