පෙළපාළි !

පෙළපාළි !

ද්ඝෝෂණවලින් ද පෙළපාළිවලින් ද ලබා ගත හැකි දෙයක් නැත. උපවාසවලින් ද සත්‍යග්‍රහ වලින් ද ලබා ගත හැකි දෙයක් නැත. ඒවා යල් පීනූ දේශපාලන උපාය මාර්ග බවත් මිනිසාගේ ගැම්ම හා බුද්ධිය මොට කරන කරදරකාරී ක්‍රියාකාරකම් බවත් නයිජීරියාවේ වෘත්තීය සමිතියක් කියා සිටී. ශ්‍රී ලංකාවට ද එය ආදේශ කර ගතහැකි ය. දැන් නිතර - නිතර දකින්නට ලැබෙන උද්ඝෝෂණ හා පෙළපාළිවලට අරමුණක් නැත. ඉලක්කයක් නැත. එම විරෝධතා ඔහේ පටන්ගෙන තවත් කරදරයකින් නිමාවට පත් වේ’ ජයග්‍රහණ නැත. ඉදිරි පියවර ද නැත. සිරියාවේ, ලිබියාවේ, ඊජිප්තුවේ, ටියුනීසියාවේ ඇති වූ ජන රැල්ල ශ්‍රී ලංකාවේත් පහළවෙතැ’යි සමහරු සිහින දකිති.

එම රටවල සමාජ හා ජනමූල තත්වයන් ශ්‍රී ලංකාවට වඩා බොහෝ සෙයින් වෙනස් ය. දිගින් – දිගට මැතිවරණ දිනන ආණ්ඩුවකට එරෙහි ව ජනතාව පෙළ ගස්වන්නට පරාජිත දේශපාලන ව්‍යාපාරවලට පුළුවන්කමක් නැත. දැන් සිදු වන්නේ පවතින නිදහසෙන් හා සාමයෙන් අයුතු ප්‍රයෝජන ගැනීමකි. විපක්ෂය මහජනයා කුලප්පු කිරීම සඳහා අසාර්ථක උත්සාහයක යෙදී සිටී. මෙයින් සිදුවන එක ම පාඩුව රටේ සංවර්ධන වැඩ අඩාලවීම පමණි. තිස් වසරක ත්‍රස්තවාදය නිමා කිරීමෙන් පසු ශ්‍රී ලංකාව අලුත් ගැම්මක් ඇති ගමනක් ආරම්භ කර තිබේ. අපගේ වාර්ෂික ආර්ථික වෘද්ධිය 8%ක මට්ටමේ පවතී. මෙබඳු ආර්ථික වර්ධනයක් ඇත්තේ චීනය බඳු දියුණු රාජ්‍යයනට පමණි. ඒක පුද්ගල ආදායම ඉහළ ගොස් රටේ මූර්ත ආදායම සැලකිය යුතු මට්ටමකින් පවත්වාගෙන යනු ලැබේ.

යටිතල පහසුකම් දියුණු වී සංචාරක කර්මාන්තය ඉදිරි පියවර රැසක් තබා ඇත. සියල්ලට ම වඩා ශ්‍රී ලංකාවේ රැකියා වියුක්තිය අඩු වී තිබේ..මේ වනා හී බොහෝ කාලයකට පසු අප ලබාගත් ජයග්‍රහණයන් ය. රටේ පවත්නා දේශපාලන ස්ථාවරත්වය හා ආර්ථික පිබිදීම ගැන සලකාබලන විදේශීය ආයෝජකයෝ ශ්‍රී ලංකාව ගැන උනන්දු වෙති. අමතක නො කළ යුතු කාරණයක් වන්නේ 2005 වන විටත් අසාර්ථක රාජ්‍ය යන ලේබලය අපගේ හිස මත තිබුණු බව ය. වැඩ වර්ජන, පෙළපාළි, විරෝධතා දිගින් - දිගට ම පැවැතිය හොත් අපට මේ සියල්ල හකුළාගෙන අතීතයට යෑමට සිදු වනු ඇත. අතීතයේ අමිහිරි අත්දැකීම් ඛ්ුරුපුරුදු කිසිවකු ඊට ඉඩ නො දෙනු ඇත. තෙල් මිල ඉහළයෑම, විදුලි බිලට ගාස්තුවක් එකතු කිරීම මහජනයාගේ පැත්තෙන් බලන විට කරදරකාරී බව සත්‍යයෙකි.

එහෙත් අප ලෝක යථාර්ථයට මුහුණදිය යුතු ය. රාජ්‍ය සේවාවන් පවත්වාගැනීම සඳහා රජය විශාල වියදමක් දරයි. ඇතැම් ආයතන දුවන්නේ පාඩු පිට ය. එහෙත් මහජන සේවාවන් සඳහා එම ආයතන පවත්වා ගතයුතුව තිබේ. ඉන්ධන අත්‍යවශ්‍ය සාධකයක් වුව එය ඉහළම වැයක් දරන ආනයන භාණ්ඩය බවට පත්ව තිබේ. මුළු ආනයන වියදමෙන් හතරෙන් එකක් හෙවත් 25%ක් තෙල් ආනයනය සඳහා දරයි. හදිසියේ තෙල් ගැටලුවක් මතු වූයේ ඉරානයට පැන වූ ආර්ථික සම්බාධක නිසා ය. ශ්‍රී ලංකාව වැඩිම තෙල් ප්‍රමාණයක් මිලට ගනු ලබන්නේ ඉරානයෙන් ය. ඉරානය තෙල් මිල ඉහළ දැමීමට අමතරව ශීත කාලයේ ආරම්භයත් සමඟ ලෝක වෙළෙඳ පොළෙහි තෙල්මිල ඉහළ ගමන් කරයි. තෙල් නිෂ්පාදනය කරන රටවල පවතින දේශපාලන අර්බුද නිසාද තෙල් මිල ඉහළ යයි.

තෙල් නිෂ්පාදනය නො කරන රාජ්‍යයක් ලෙස මේ යථාර්ථයට මුහුණ දෙන්නට අපිට සිදු වේ. මේ හැරෙන්නට ක්ෂේත්‍ර ගණනාවකට සහන ලබාදීමට ද ආණ්ඩුව පියවර ගෙන තිබේ. පවත්නා අයහපත් තත්ත්වයෙන් ප්‍රයොජනය ගන්නා එක්සත් ජාතික පක්ෂය ජනතාවගෙන් බදු අයකිරීම වහා නවත්වන්නැ’යි ඉල්ලා සිටිති. පෙළපාළි ද යති. බදු නො ගෙන ආණ්ඩුවක් දුවන හැටි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදිය යුතු ය. ජනතා විමුක්ති පෙරමුණ කාලයක සිට ම ජන අරගලයක් සඳහා කුරුමානම අල්ලමින් සිටිති. ඔවුන් ආණ්ඩුවේ කිසිදු හොඳක් දකින්නේ නැත. ජනතාව මේ දේශපාලන අවුල සමඟ එක්වුණහොත් රටේ ඉදිරි ගමන මුළුමනින් ඇද වැටෙනු ඇත. බටහිර ධනපති රටවලට අවශ්‍ය වී ඇත්තේ ද ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන නැවැත්වීම ය.

ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ඇති වූ වෛරයක් බටහිර රටවලට තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රගතිශීලී බලවේග ඒකරාශි විය යුතු කාලය පැමිණ තිබේ. ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ප්‍රගතිශීලී බලවේග එක් ව ක්‍රියා කළහ. වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ද ප්‍රගතිශීලී බලවේග එක් ව ක්‍රියා කළහ. එම බලවේග අක්‍රීය ව ප්‍රතිගාමී බලවේග ඉදිරියට එන සෙයක්දැන් දකින්නට තිබේ. එම තත්ත්වය රටේ අනාගතයට අයහපත් ය. විදේශීය ප්‍රතිගාමී බලවේග ශ්‍රී ලංකාවේ දේශපාලනයට අත පෙවීම තවත් අතකින් අයහපත් ය. බස් මුදලාලිලාට හෝ ව්‍යාපාරිකයන්ට හෝ අවශ්‍ය පරිදි රටක් පාලනය කළ නො හැකි ය. එක්තරා කාලයක් තුළ එබඳු පාලන රටාවක් ශ්‍රී ලංකාවේ තිබිණි. වරෙක කොටි ත්‍රස්තවාදීහු රට පාලනය කළහ. තව වරෙක ව්‍යාපාරිකයෝ රට පාලනය කළහ. තවත් වරෙක එළවළු වෙළෙන්දෝ රට පාලනය කිරීමට වෑයම් කළහ.

මේවාට ඉඩ දී කරබාගෙන සිටින්නට ආණ්ඩුවකට පුළුවන්කමක් නැත. ඉතා ආයාසයෙන් හා කැපවීමකින් දිනාගත් නිදහස හා සාමය විනාශ වන තැනකට රට ගමන් කරමින් තිබේ. මෙය වහා වෙනස් කළ යුතුය. වෙනස් කළ හැකි ය. එය කළ යුත්තේ ආණ්ඩුව යි. ඊට සහාය ලබා දිය යුත්තේ ප්‍රගතිශීලී බලවේගයි. තෙල් මිල ඉහළ ගිය පළමු අවස්ථාව මෙය නො වේ. මීට වඩා දුෂ්කර අවස්ථාවලට ද රට මුහුණ දී තිබේ. එම අවස්ථාවලට සාර්ථකව මුහුණදීමට ජනතාවගේ සහාය ද ලැබිණි. 2008 දී ලෝකය පුරා තෙල් අර්බුදයක් පැවැතිණි. අප ඊට මුහුණ දුන්නේ ජනතාවගේ දැනුවත්භාවයත් මුල්කරගෙන ය. අනාගතයේ ලෝක තත්ත්වයන් මත මීට වඩා දුෂ්කර අවස්ථාවන් මතු විය හැකි ය. ඒවාට මුහුණ දිය හැක්කේ ශක්තිමත් ආණ්ඩුවක් හා ශක්තිමත් ආර්ථිකයක් සමග ය. එය වටහාගෙන බුද්ධිමත් ලෙස හැසිරීම කාගේත් යුතුකම ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා