රතු කොඩි ඇත; රැකියා නැත !

රතු කොඩි ඇත; රැකියා නැත !

පාධිධාරී ස්ථාපන සේවය නම් ආයතනයක් කලකට පෙර සක්‍රීය ලෙස පැවැතිණි. එහි පරමාර්ථය වුයේ උපාධිධාරීන් රටේ සංවර්ධනයට අදාළ වෘත්තීය ක්ෂේත්‍රයන් කෙරෙහි විධිමත් අයුරින් යොමු කිරීම ය. අරමුණ විශිෂ්ට වුව ක්‍රියාත්මක වීමේ දී එය සර්ව - සම්පුර්ණ වූයේ නැත. 1980 ගණන්වල උපාධි ලබා එම ආයතනයට ගිය සමහරු තම සහතික ඉරා දමා ගෙදර ගොස් පුරුදු ලෙස කුඹුරු කොටන්නට පටන් ගත් හ. නැතහොත් පෞද්ගලික අංශයේ විවිධ ජාවාරම්වලට එක්වුහ. මේ සිදුවීම්වලින් පැහැදිලි වන ප්‍රධාන කරුණ වන්නේ ස්ථාපන සේවය ද උපාධිධාරීන්ගේ විශ්වාසයට ලක් නො වු බව ය.

උපාධිධාරීනට රැකියා ලබාදීම සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණයකදී වූ අපූරු සිද්ධියක් අප සිහියට නැගේ. මේ සිද්ධිය හෙළිකර තිබුණේ සැලැසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ආචාර්ය වික්‍රම වීරසූරිය මහතා ය. එම සිදුවීමට අනුව භූගෝල විද්‍යා විෂයය විශේෂ ශාස්ත්‍රවේදී අංශයෙන් හදාරා; පන්ති සාමාර්ථයක් ද ලද උපාධිධාරියකුගේ පරීක්ෂක මණ්ඩලය විමසා ඇත්තේ ලෝකයේ දිග ම ගඟ කුමක් ද? යන්න ය. උපාධිධරයා තරමක් කෝපයෙන් වැරැදි උත්තරයක් ලබා දී තිබේ. මේ උත්තරය නිසා මුළු පරීක්ෂක මණ්ඩලය ම හඬ නඟා සිනාසී ඇත. එහෙත් උපාධිධරයා නිහඬ ය. පරීක්ෂක මණ්ඩලය වෙතින් නැඟුණු ඝෝෂාව අවසන් වු පසු ඔහු අසා ඇත්තේ “නිවැරැදි පිළිතුර ලබා දුන්නේ නම්; රැකියාව ලැබෙන්නේ ද” යන්නය.

ආණ්ඩුවේ බලපෑම මත එදා සිදුවූ සම්මුඛ පරීක්ෂණ, පුහුණු වැඩමුළු, සම්මන්ත්‍රණ, පාඨමාලා හා වෙනත් වැඩසටහන් උපාධිධාරීන්ගේ විශ්වාසය දිනා ගත්තේ නැත. උපාධිධාරීන්ගේ රැකියා පෝලිම්, පාඨමාලා පිළිබඳ ගැටලු යනාදිය ද ඒ මඟින් විසඳා ගත නො හැකි ය. අපගේ මුළු අධ්‍යාපන ක්‍රමය ම කාලයේ තාලයට වෙනස් විය යුතු ව තිබේ. මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරම්භ වන්නේ ඉංග්‍රීසි ජාතිකයාගේ දරුවනට උසස් අධ්‍යාපනය ලබාදීම සඳහා ය. මුල්ම විශ්වවිද්‍යාල ආයතනය 1920 දී ඇති කළ කොලේජ් හවුසිය යන්න ය.

ජාතික මට්ටමේ ලා සැලැකිය හැකි පුළුල් විශ්වවිද්‍යාලයක් පළමුවරට ඇති වන්නේ පේරාදෙණියේ ය. ඉනික්බිති රටපුරා අධ්‍යාපනය ව්‍යාප්ත වී උසස් අධ්‍යාපන ආයතන රැසක් බිහි වේ. එහෙත් අද වනවිට ද අප එහි නියම ප්‍රයෝජන ගන්නේ නැත. රටට අවශ්‍ය ශාස්ත්‍රඥයන් මේ ආයතනවලින් බිහිවන්නේ නැත. ඇතැම් ශාස්ත්‍රඥයෝ උපාධි ලබා පිටරට සේවයට ඉගිල යති. එය බුද්ධි ගලනය ලෙස හැඳින් වේ. එක් අතකින් රැකියා පෝලිමක් ද තව අතකින් බුද්ධි ගලනයක් ද දකින්නට ලැබේ. මේ වනාහී අපගේ අධ්‍යාපනයේ දකින්නට ලැබෙන බරපතළ ඛේදවාචකයකි.

චීනය යනු ලෝකයේ වැඩි ම විශ්වවිද්‍යාල ගණනක් ඇති රාජ්‍යයෙකි. එහි උසස් අධ්‍යාපනය සැලැසුම් වී ඇත්තේ රටේ සංවර්ධන අවශ්‍යතාවලට අනුව ය. ඉංජිනේරු විද්‍යාව හදාරණ විද්‍යාර්ථියා අන්තිම වසරේ ප්‍රජා වැඩවලට යොමුවිය යුතු ය. ක්ෂේත්‍ර වැඩ ඉටුකළ යුතු ය. එසේ නො වුණහොත් ඔහුට හෝ ඇයට හෝ උපාධිය ලැබෙන්නේ නැත. විදුලිය පිළිබඳ විෂය හදාළ ඉංජිනේරුවා නිවෙස්වලට ගොස් ඔවුන්ගේ ගැටලු ගැන ඉතා සුහද ව විමසා බලයි. ඉංජිනේරුවාගේ වෘත්තියට අත්‍යවශ්‍ය අත්දැකීමක් ලෙස එය සලකනු ලැබේ.

ශ්‍රී ලංකාවේ තත්ත්වය ඊට වෙනස් ය. මෙරට ඉංජිනේරුවා, වෛද්‍යවරයා, ගණකාධිකාරිවරයා සමාජය සමඟ උරෙනුර ගැටී කටයුතු කරන්නකු නො ව පොදු සමාජයට ඉහළින් වැජඹෙන්නකු ලෙස සලකනු ලැබේ. එය සාවද්‍ය මතයකි. රැකියා පිළිබඳ ගැටලු ඇතිවීමටත්, උසස් අධ්‍යාපනය ප්‍රශ්න කිරීමට ලක්වීමටත් මෙය හේතු සාධකයක් වේ. අපගේ පාඨමාලාවල වැරැද්දක් තිබේ. ඒවා උගන්වන ක්‍රමය පිළිබඳ වැරැද්දක් තිබේ. විශ්වවිද්‍යාල සම්ප්‍රදායේ හා සිසුන්ගේ සිතුම් – පැතුම්වල ද වැරැද්දක් තිබේ. රටත් – අධ්‍යාපනයත් යහපත් තැනකට ගෙනයෑමට නම්; මේ සියල්ල වෙනස් කළ යුතු ව තිබේ.

මේ වනවිට විශ්වවිද්‍යාල අභ්‍යන්තරයෙහි බරපතළ ගැටුමක් පවතී. ශිෂ්‍යයන් අතර දේශපාලන ගැටුම් ය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වහා අහෝසි කරන්නැ’යි ස්වාධීන ශිෂ්‍ය සංගමය කියයි. ඔව්හු ඒ වෙනුවෙන් විරෝධතා ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක කරති. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ක්‍රියාත්මක වන්නේ ජනතා විමුක්ති පෙරමුණෙහි බළල් අණ්ඩක් ලෙස ය. මේ සංවිධානය සිසුන්ගේ ස්වාධීන අදහස්වලට පහර දෙයි. අධ්‍යාපනයට බාධා කරයි. වෙනත් සෞන්දර්යාත්මක හැකියාවන් පසුපසට දමයි. මේ අය කැටුව යා හැකි දියුණු ගමනක් නැත.

උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතාට මේ සියල්ල වෙනස් කොට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලෝක මට්ටමට ගෙන යෑමේ වුවමනාවක් පවතී. ඔහුගේ වැඩසටහන ඇතැම් වරප්‍රසාද හා ජයග්‍රහණ ලබාගෙන තිබේ. එහෙත් තව ම ඉටු නො වු බලාපොරොත්තු ඇත. විශ්වවිද්‍යාලයෙන් පිට වන විට රැකියාවක් ලබාදීම එක් අපේක්ෂාවකි. සියලු සිසුනට විදේශීය භාෂා පුහුණුවක් හා පරිගණක පුහුණුවක් ලබාදීම තවත් අපේක්ෂාවකි’ මේ අපේක්ෂා දෙක ඉටු වුවහොත් උපාධිධාරියාගේ ජීවන ගමන සාර්ථක වනු ඇත. ශිෂ්‍ය පරපුර ඒකරාශී විය යුත්තේ එබදු ඉලක්ක කරා ගමන් කිරීමට මිස රතු කොඩි එසැවීමට නො වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා