මා චිත්‍රපට කරන්නේ සම්මාන උ‍ලෙළ හෝ විචාරකයන්ට නොවේ

මා චිත්‍රපට කරන්නේ සම්මාන උ‍ලෙළ හෝ විචාරකයන්ට නොවේ

උදාර පල්ලියගුරුගේ

“සුපර් සික්ස්” මෑත කාලයේ සිංහල සිනමාවට එක් වූ තරමක් වෙනස් ආකෘතියක් ගත් චිත්‍රපටයකි. මෙතෙක් අප දුටු සාම්ප්‍රදායයික චිත්‍රපට කලාවෙන් ඔබ්බට ගොස් නිර්මාණය කෙරුණු “සුපර් සික්ස්” පිළිබඳ එහි අධ්‍යක්ෂ උදාර පල්ලියගුරුගේ සමඟ කළ සංවාදයකි මේ.

* “සුපර් සික්ස්” බැලූ බැල්මට සරල තේමාවක් ගත් චිත්‍රපටියක් ලෙස කෙනෙකුට දැනෙන්න පුළුවන්. එය කොතරම් සාර්ථක නිගමනයක්ද?

මෙය තරුණ තරුණියන් පිරිසක් ඇසුරින් නිර්මාණය කෙරුණත් මෙහි ගැඹුරු ජීවන අර්ථයක් තිබෙනවා. වගකීමක් නොදරන, අයාලේ යන තරුණ පිරිසක් සාර්ථකත්වයට පැමිණෙන ආකාරය තමයි මේ චිත්‍රපටිය තුළින් කතා කරන්නේ. ඒ වගේම මෙහි පෑන්ටසි ස්වරූපයක් තිබෙනවා. ඒ පෑන්ටසි ස්වරූපය නිසාත් යම් කෙනෙකුට මෙය සරල නිර්මාණයක් කියලා හිතෙන්න පුළුවන්. නමුත් මට අවශ්‍ය වුණේ යම් අරුතක් ජනතාවට දැනෙන පරිදි ඔවුන් අතරට ගෙන යාමටයි. තවදුරටත් කියනවා නම් “සුපර් සික්ස්” කියන්නේ සාම්ප්‍රදායිකත්වය ඉක්මවා ගිය චිත්‍රපටියක්.

* “සුපර් සික්ස්” යනු වැඩිම වියදමක් දරා නිෂ්පාදනය කළ චිත්‍රපටිය බව ප්‍රචාරණ කටයුතුවලදී පවා යොදාගෙන තිබුණා. ඒ පිළිබඳ පැහැදිලි කළොත්?

“සුපර් සික්ස්” වැඩිම වියදමක් දරා නිෂ්පාදනය කළ චිත්‍රපටිය බව ජනතාවට කටපුරා කියන්න අපිට හැකියාව තිබුණා. මෙය වාණිජ චිත්‍රපට අතර විප්ලවීය වෙසනක් සිදු කළ චිත්‍රපටියක්. අපේ රටේ නිර්මාණය කෙරෙන ඇතැම් ගුණාත්මක වෙළෙඳ දැන්වීම්වලට තත්ත්පර 30 ක් වැනි සුළු කාලයකට කෝටි 1 1/2 ක් 2 ක් වියදම් කරනවා.

ඒ වගේම විශාල කාලයක් ඒ වෙනුවෙන් ගන්නවා. ගුණාත්මක තත්ත්වයෙන් ප්‍රේක්ෂකයන්ට දැනෙන ආකාරයේ නිර්මාණයක් කරද්දී විශාල මුදලක් වැය වෙනවා. ඒ වගේ අපිත් “සුපර් සික්ස්” චිත්‍රපටියට කෝටි 10 ක මුදලක් වැය කළා. අපි ඒ මුදලට සාපේක්‍ෂව හොඳ නිර්මාණයක් සිදු කළා කියලා මම හිතනවා.

* විශාල මුදලක් වැය කළ පමණින් නිර්මාණයක් සාර්ථක කරගත හැකි යැයි ඔබ හිතනවාද?

එය එක් කාරණයක් පමණයි. තව ගොඩාක් දේවල් ඊට එක් විය යුතුයි. නමුත් අවශ්‍ය තරම් මුදල් නොමැති වීම නිර්මාණයකට බාධාවක්. ඉස්සර චිත්‍රපටියක් කරද්දී නළුවාට කියනවා ඔහු ළඟ තිබෙන හොඳම ඇඳුම් ටික අරන් එන්න කියලා. නමුත් මම මගේ චිත්‍රපටියේ නළු නිළියන්ට පාරේ ඉන්න මිනිස්සු වගේ අන්දන්න කැමැති වුණේ නැහැ. ඒ නිසා තමයි අපේ චිත්‍රපටියට ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් එක්කර ගත්තේ.

ඒ වගේම අපේ නිර්මාණයට අවශ්‍ය පරිදි පසුතලයන් අපි නිර්මාණය කළා. මැලේසියාව, ඉන්දියාව සහ අන්දමන් දූපත්වල පවා අපි රූගත කිරීම් සිදු කළා. අපි මැලේසියාවේ රූගත කිරීම් සිදු කළේ එහි මහ කොමසාරිස් කාර්යාලයෙන් විශේෂ අවසරයක් ලබාගෙනයි. එය අපේ රූගත කිරීම්වලට විශාල පහසුවක් වුණා. ඒ වගේම ගුණාත්මක ගණයේ කැමරා සහ දළ සේයාපට තමයි “සුපර් සික්ස්” චිත්‍රපටිය සඳහා යොදා ගත්තේ. ඒ නවීන තාක්ෂණික උපකරණත් නිසා අපේ නිර්මාණය සාර්ථකව කරගන්න හැකි වුණා.

* වාණිජ චිත්‍රපටියක් ලෙස මෙය ලාංකේය සිනමා කර්මාන්තයට කෙබඳු බලපෑමක් සිදු කරයි ද?

ආර්. සදේශ් කුමාර් සහ ශ්‍රීමතී කුමාර් යන යුවළ තමයි මෙහි නිෂ්පාදනය දායකත්වය දැරුවේ. මෙය සිංහල සිනමා කර්මාන්තයේ සිංහල, දෙමළ, සමගිය පිළිබිඹු කරන සුවිශේෂි සන්ධිස්ථානයක්. “සුපර් සික්ස්” චිත්‍රපටිය මේ වන විටත් ආදායම් වාර්තා බිඳ දමා තිබෙනවා.

වාණිජ චිත්‍රපටවල කලාත්මක චිත්‍රපටවලට වඩා ගුණාත්මක බවේ වෙනසක් තිබුණද වාණිජ චිත්‍රපට හරහා සිනමා කර්මාන්තයට විශාල මූල්‍යමය ආදායමක් ලැබෙනවා. ඒවාගේම ඉස්සර චිත්‍රපටවලට කාර්මික ශිල්පීන් යොදා ගත්තේ හරිම අඩුවෙන්. නමුත් අද ඊට වඩා වෙනස්. එදාට වඩා අද කාර්මික ශිල්පීන් හතර ගුණයක් යොදා ගන්නවා. ඒ මගින් විශාල ශිල්පීන් ප්‍රමාණයකට රැකියා අවස්ථා ලැබී තිබෙනවා. එය හොඳ ප්‍රවණතාවක්.

* මේ චිත්‍රපටියට බොලිවුඩ් ආකෘතියක් ගෙන ඒමට ඔබ උත්සාහ කළා ද?

සිනමා කර්මාන්තය ඉදිරියට ගෙනයන්න නම් ඒකාකාරී, යල්පැන ගිය කතාන්දර රාමුවෙන් බැහැර වෙන්න ඕනෑ. ඒවගේම මේ ක්‍ෂේත්‍රය දෙස විවෘත මනසකින් බලන්න අවශ්‍යයි. එදා 80 - 90 දශකවලදී හින්දි චිත්‍රපට පෙන්වීමට පටන් ගැනීමත් සමඟම සිංහල චිත්‍රපට තුළින් ජනතාව ඈත් වුණා. එදා සිට හින්දි සිනමාවට ලාංකේය ජනතාව තුළ විශාල ආකර්ෂණයක් ඇති වී තිබෙනවා.

නමුත් මම බොලිවුඩ් ආකෘතියක් ගෙන එන්න උත්සාහ කළේ නැහැ. මගේ අරමුණ වුණේ ඒ චිත්‍රපටවල ගුණාත්මක භාවයට සමාන අන්දමින් මගේ නිර්මාණය සිදු කරන්නයි. මම හිතනවා මම සාර්ථක වුණා කියලා. අපිට “සුපර් සික්ස්” චිත්‍රපටිය ඉන්දියාවේ දවස් 6 ක් පිටපත් 4 පෙන්වන්න පුළුවන් වුණා. බොලිවුඩ් සිනමා නිර්මාණ හා සමාන මට්ටමේ තලයක තිබුණු නිසා තමයි ඒ අවස්ථාව අපිට ලැබුණේ.

* කලාත්මක සිනමා නිර්මාණ අතර මෙවැනි චිත්‍රපටියක් ගෙන ඒම ඔබට අභියෝගයක් වුණේ නැද්ද?

කිසිම අභියෝගයක් වුණේ නැහැ. “සුපර් සික්ස්” මොනතරම් ප්‍රේක්ෂකයන් අතරට ගිහින් තිබෙනවාද කියන එක ආදායම් වාර්තා තුළින් පෙනෙනවා. ඒවගේම මේ චිත්‍රපටියේ ගීත සියල්ලම පාහේ ගොඩාක් ජනප්‍රියයි. ඇතැම් ගීත රිගින්ස් ටෝන්ස්වලට පවා යොදාගෙන තිබෙනවා.

අපේ නිර්මාණකරුවන් චිත්‍රපටි කරන්නේ තිබෙන වෙළෙඳපොළට. ඉන් එහාට යන්න ඔවුන් උත්සාහ කරනවා අඩුයි. ඒ වගේම ඇතැම් අයට සිංහලකම, බුද්ධාගම, යුද්ධය වැනි මාතෘකා නැතුව චිත්‍රපටි කරන්න බැහැ. නමුත් මම ඒ සාම්ප්‍රදායික බවින් ඔබ්බට ගියා. මම චිත්‍රපට කරන්නේ සම්මාන උළෙලවලටත් විචාරකයන්ටවත් නොවෙයි. ප්‍රේක්ෂකයන්ටයි. ඔවුන් මගේ නිර්මාණය නරඹනවා නම් මට අවශ්‍ය එපමණයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා