තිරසාර සාමයකට බ්‍රිතාන්‍යයේ පූර්ණ සහාය

තිරසාර සාමයකට බ්‍රිතාන්‍යයේ පූර්ණ සහාය

රටේ සංහිඳියාවක් සහ තිරසාර සාමයක් ඇතිකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා සෑම උත්සාහයක් වෙනුවෙන්ම පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව බ්‍රිතාන්‍යය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර තිබෙන ද්වීපාර්ශ්වීය සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියටත් මිතුරකු වශයෙන් කටයුතු කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැන්කින් මහතා සඳහන් කරයි.

මහ කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේ බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ පාලන කාලය සඳහා වසර 60 ක් සම්පුර්ණ වීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාල වෙස්මිනිස්ටර් මන්දිරයේ පැවැති විශේෂ උත්සවයක් අමතමිනි.

එක්සත් රාජධානියේ සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ නායිකාව වශයෙන් රැජිනගෙන් ඉටුවූ සේවය අගය කෙරුනු අතර විශාල ජනතාවකගේ ජීවිත කෙරෙහි ඇයගෙන් සිදුවූ සේවාව මෙන්ම ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර පවත්නා සම්බන්ධතාවද මෙහිදී ඇඟයිමට ලක්විය.

ඊට අමතරව බ්‍රිතාන්‍ය දෙවැනි එළිසබෙත් මහරැජිනගේ ශ්‍රී ලංකා සංචාරයේ මතකයන් අවධි කෙරෙන ඡායාරූප පෙළක්ද මෙහිදී ඉදිරිපති කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අඳහස් දක්වමින් ජෝන් රැන්කින් මහතා සඳහන් කළේ පසුගිය වසර 60 ක කාලයේදී ලෝකයේ බොහෝ වෙනස්කම් දක්නට ලැබුණු බවත් බ්‍රිතාන්‍යය මෙන්ම ශ්‍රී ලංකාවද ලෝකයේ අනෙකුත් රටවල්ද එවැනි වෙනස්වීම්වලට සාර්ථක ලෙස අනුගත වෙමින් සිටින බවත්ය.

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර සම්බන්ධතාව තවදුරටත් සාර්ථක ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය බව පෙන්වාදුන් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා දෙරට අතර සම්බන්ධතා සඳහා පොදු අතීතයක් පවතින බවත් එහෙත් නූතන හා ජවසම්පන්න වර්තමානයක් සහ අනාගතයක් තිබෙන බවත්ය.

මෙම සබඳතා අන්‍යෝන්‍ය ගරුත්වය, පොදු රාජ්‍ය මණ්ඩලීය වටිනාකම් සහ සංස්කෘතික සබඳතා ආදිය මත රැදී තිබෙන බවද හෙතෙම කීවේය. මැති ඇමැතිවරු, විදේශීය තානාපතිවරු සහ මහකොමසාරිස්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා