අධිරාජ්‍යයක් නැති දියමන්ති රැජන!

අධිරාජ්‍යයක් නැති දියමන්ති රැජන!

මහා බ්‍රිතාන්‍යය යනු ලෝකයේ බලවත් සම්ප්‍රදායකට හා අභිමානවත් දේශපාලන ක්‍රමයකට උරුමකම් කියන සරුසාර රාජ්‍යයෙකි. එය පැවැත එන්නේ 15 වන සියවසටත් පෙර සිට ය. ලෝකයේ නාවික බලය, වාණිජ බලය හා දේශපාලන බලය බ්‍රිතාන්‍ය ජාතිකයන් සතුව පැවැතිණි. අද තත්ත්වය තරමක් වෙනස් වුව හිරු නො බසින අධිරාජ්‍යයේ මතක සටහන් තව ම අප අතර පවතී. ආසියාව හා අප්‍රිකාව තුළ ද ඕස්ට්‍රේලියාව තුළ ද පැවැති බ්‍රිතාන්‍ය බලපෑම පොදු රාජ්‍ය මණ්ඩලයෙන් හොඳ හැටි පැහැදිලි වනු ඇත.

හිරු නො බසින අධිරාජ්‍යයේ සියලු යටත් රටවල් පූර්ණ නිදහස ලබාගෙන ස්වෛරී රාජ්‍යයන් ලෙස ස්වකීය ගමන ආරම්භ කර තිබේ. එහෙත් මහා බ්‍රිතාන්‍ය සම්ප්‍රදායයෙන් උකහාගත් විශිෂ්ට ලක්ෂණ මේ රටවල ශේෂ ව පවතී. අධ්‍යාපනය, පරිපාලනය, සාහිත්‍ය - කලා ආදී ක්ෂේත්‍රවල දී බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය කැපී පෙනෙයි. ශ්‍රී ලංකාව බෞද්ධ සංස්කෘතිය පදනම් කරගත් සම්ප්‍රදායක් අනුගමනය කරන්නේ වුව මහා බ්‍රිතාන්‍යයෙන් උකහා ගත් යහපත් ලක්ෂණ අපි තව ම ආරක්ෂා කරමින් සිටින්නෙමු. එහි වරදක් නැත. හානියක් ද නැත.

මහා බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජනගේ හැට වන රාජකීය සමුළුව හෙවත් කිරීට ප්‍රාප්තියේ හැට වන දියමන්ති ජුබිලිය අපට වැදගත් වන්නේ එම අනුසාරයෙන් ය. වික්ටෝරියා මහ රැජනගෙන් පසු දීර්ඝ කාලයක් කිරුළ දැරූ තැනැත්තා දෙවන එළිසබෙත් රැජන වේ. නූතන රැජන තව නොබෝ දිනකින් වික්ටෝරියා රැජනගේ වාර්තාව බිඳ හෙළනු ඇත. මහා බ්‍රිතාන්‍යයේ දේශපාලන සම්ප්‍රදාය ට අනුව ඒ රටෙහි රාජ්‍ය නායකත්වය හිමි වන්නේ කිරුළ දරන තැනැත්තාට ය. එබඳු නායකත්වයක් හැට වසරක් තිස්සේ දරා සිටීම අතිශය සංකීර්ණ හා දුෂ්කර අභියෝගයකි. එම අභියෝගය සාර්ථක ලෙස ජයගත් එඩිතර කාන්තාවක ලෙස දෙවන එළිසබෙත් රැජන හැඳින්විය හැකි ය.

එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මාරී කුමරිය උපත ලබන්නේ 1926 අප්‍රේල් 21 වන දා ය. හය වන ජෝර්ජ් රජතුමා ඇයගේ පියාණන් ය. සිය පියා ගේ රෝගී තත්ත්වය මත රජුගේ නිල විදේශ සංචාර ආදියට සහභාගී වූයේ ද තරුණ එළිසබෙත් කුමරිය ය. කුමරිය අප්‍රිකාවේ සංචාරයක නිරතව සිට ශ්‍රී ලංකාවට ද සැපත් වීමට නියමිත ව තිබිණි. ඒ 1952 පෙබරවාරි මාසයේ ය. හදිසියේ ම ජෝර්ජ් රජතුමා ස්වර්ගස්ථ විය. එළිසබෙත් කුමරිය කෙන්යාවේ සිට ශ්‍රී ලංකා ගමන නවතා නැවත එංගලන්තය බලා ගියා ය. 1952 පෙබරවාරි 06 දා සිට මහා බ්‍රිතාන්‍යයේ කිරීට ය භාර ගන්නට ඇයට සිදු විය.

රාජකීය කිරුළ දැරීම අතිශය භාරධූර කාර්යයෙකි. එළිසබෙත් රැජන එංගලන්තයේ අගමැතිවරුන් දොළොස් දෙනකුට මෙතෙක් නායකත්වය සපයා තිබේ. අතිශය වැදගත් පාර්ලිමේන්තු පනත් 3500 කට අනුමැතිය ලබා දී තිබේ. රාජ්‍ය පාලනයට ඇති සම්ප්‍රදායානුකූල අයිතිය හැරෙන්නට මහා බ්‍රිතාන්‍යයේත් ඉන් පිටතත් පුණ්‍යායතන පවත්වාගෙන යෑම, රැජන ගේ කාර්ය භාරයට අයත් ය. මෙබඳු පුණ්‍යායතන 600 ක ඍජු නායකත්වය එළිසබෙත් රැජන විසින් දරනු ලැබේ. එම ආයතන ලෝකය පුරා දිළිඳු ජනතාවට උපකාර හා සත්කාර කරයි. එළිසබෙත් රැජන වඩාත් ප්‍රකට ව ඇත්තේ චාම් – නිහතමානී කරුණාබර නායිකාවක ලෙස ය. ඇය ගේ සුන්දර සිනහව පවා ඊට සාක්ෂ්‍ය දරනු ඇත.

මහා බ්‍රිතාන්‍යයේ වර්තමාන රැජන දෙවරක් ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබේ. පළමු සංචාරය සිදු වූයේ 1954 අප්‍රේල් මාසයේ ය. එම සංචාරයේ දී මහනුවරට ගිය එළිසබෙත් රැජන දළදා වහන්සේ වන්දනා මාන කොට පොදු රාජ්‍ය මණ්ඩලය ගැනත් ශ්‍රී ලංකාව ගැනත් කතා කර තිබේ. රැජන ගේ දෙවන ශ්‍රී ලංකා සංචාරය සිදු වන්නේ 1981 ඔක්තෝබර් මාසයේ ය. ශ්‍රී ලංකාවට සර්ව ජන ඡන්ද බලය ලැබී පනස් වසරක් ගත වීමේ සැමරුම් උත්සව වලට සහභාගී වීම රැජන ගේ දෙවන ශ්‍රී ලංකා ගමනේ අරමුණ විය. පස් දින සංචාරය නිමා කළ එළිසබෙත් රැජන කියා සිටියේ එංගලන්තය හා ශශ්‍රී ලංකාව යා කරන ප්‍රධාන තේමාව සර්ව ජන ඡන්ද බලය බව ය.

ශ්‍රී ලංකාව මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් ලෙස පැවැතීමෙන් අපට අහිමි වූ දෑ බොහෝ ය. එහෙත් ඒ මගින් අප ලබා ගත් යහපත් ගුණාංග ද තිබේ. සර්ව ජන ඡන්ද බලය ඉන් ප්‍රධාන ය. ශ්‍රී ලංකාවට සුදුසු ජනතාවාදී පාලන ක්‍රමයක් සකස් කිරීම සඳහා බ්‍රිතාන්‍ය පාලකයෝ මහත් වෙහෙසක් දැරූහ. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යුගය ආරම්භ වන්නේ 1796 සිට ය. 1815 දී උඩරට ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ සමස්ත පාලනය බ්‍රිතාන්‍යයන් අතට පත් වේ. මේ අතර 1833 දී ඇති කරන ලද කෝල්බෲක් ප්‍රතිසංස්කරණ රටෙහි ආර්ථික, ආණ්ඩු ක්‍රම හා අධ්‍යාපන යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අතිශය වැදගත් වේ.

බ්‍රිතාන්‍ය පාලනය විසින් සාම්ප්‍රදායික රාජකාරි ක්‍රමය අහෝසි කරන ලදී. වතු වගාව ව්‍යාප්ත කරන ලදී. ඒ සමඟ ම දියුණු මාර්ග පද්ධතියක් ඇති කිරීමට ඉංග්‍රීසිහු වග බලා ගත් හ. මේ වෙනස්කම් නිසා ආර්ථිකයේ දියුණුවක් මතු විය. ඒ සමඟ ම ශ්‍රී ලාංකිකයා සඳහා ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම ද ආරම්භ කැරිණි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය අන්තර්ජාතික මට්ටමට ඔසොවා තැබීමේ ගෞරවය හිමි විය යුත්තේ ඉංග්‍රීසි ජාතිකයාට ය. ශ්‍රී ලංකාවට දුම්රිය ධාවනය හඳුන්වා දුන්නේ ද ඉංග්‍රීසි ජාතිකයා ය. එවකට ශ්‍රී ලංකාවේ පැවැති ප්‍රධාන වෙළෙඳ නගර යා කොට දුම්රිය මාර්ග ඉදි කරන්නට ඉංග්‍රීසි ආණ්ඩුව පියවර ගත්තේ ය.

යටත් විජිතවාදයේ සුන්බුන් අතරින් නැඟී සිටි ශ්‍රී ලංකාව අද නිදහස් - ස්වාධීන - ස්වෛරී ජන රජයෙකි. බ්‍රිතාන්‍යයේ කිසිදු බලපෑමකින් තොරව අපගේ දේශපාලන හා ආර්ථික කටයුතු සිදු වේ. මහ රැජන අප ගේ සිහියට නැඟෙනුයේ යටත් වැසි සංකල්පයකින් නො ව සුහද හිත – මිතුරු සංකල්පයක් ඔස්සේ ය. එය මහා බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජනට ද දැනෙන – හැඟෙන මිතුරු හැඟීමකි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට රාජකීයයන් වෙතින් ඇරියුමක් ලැබෙන්නේ ද ඒ පසුබිම මත ය.

දෙවන එළිසබෙත් මහ රැජනට සමස්ත ශ්‍රී ලංකාවේ ම උණුසුම් සුබ පැතුම් හිමි වනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා