කරූගේ නඩුවට විරෝධතා ගොනු කරන්න එජාපයට කල් දෙයි

කරූගේ නඩුවට විරෝධතා ගොනු කරන්න එජාපයට කල් දෙයි

(2012-06-07 11.30) පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය මහතාට එරෙහිව එජාපය විසින් විනය ක්‍රියා මාර්ගයක් ගැනීමට එරෙහිව ඒ මහතා ගොනුකර ඇති නඩුවට විරෝධතා ගොනු කිරීම සඳහා එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විත්තිකරුවන්ට ‍ලබන මස 4දා දක්වා නුගේගොඩ දිසා විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය පෙරේදා (6) කල් ලබා දුන්නාය.

2011 දෙසැම්බර් 19 දින සිරිකොත මන්දිරයේ පැවැති පක්ෂ නිලවරණ අවස්ථාවේදී සිරිකොත ඉදිරිපිට ඇතිවූ කලහකාරී තත්ත්වය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ශ්‍රීනාත් පෙරේරා මහතා ඇතුළු සිවු පුද්ගල කමිටුවක් පත් කෙරුණු අතර එම කමිටු වාර්තාව සම්බන්ධයෙන් කරූ ජයසූරිය මහතා මාධ්‍යට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය, එහි නායකත්වය, නිලධාරි මණ්ඩලය සහ විනය කමිටුව අපකීර්තියට සහ අපහසුතාවට පත් කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසට පක්ෂයේ විනය කමිටුවේ ලේකම්වරයා කරූ ජයසූරිය මහතාට ලිපියකින් දැනුම් දීමක් කර ඇත. එම ලිපිය බල රහිත කරන ලෙස ඉල්ලමින් ජයසූරිය මහතා මේ නඩුව පවරා තිබේ.

නීතීඥ සංඛ වීරක්කොඩි මහතාගේ උපදෙස් මත නීතීඥ මොහිදීන් මහතා විත්තිකරුවන් වෙනුවෙන් ද නීතීඥ පසිඳු විද්‍යානන්ද මහතා පැමිණිල්ල වෙනුවෙන්ද පෙනී සිටියේය.

කරූ ජයසූරිය මහතාට එරෙහිව විනය ක්‍රියා මාර්ගයක් ගැනීම වළකාලන අතුරු තහනම් නියෝගයක් ලබා නොදීමට හේතූ දක්වන ලෙස දන්වා මීට පෙර නඩු දින‍යේදී අධිකරණය විත්තිකරුවන් නව දෙනකුට නොතීස නිකුත‍් කර තිබිණි. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනකු වෙනුවෙන් නීතීඥවරු ඊයේ පෙරකලාසි ගොනු කළහ.සිතාසි ලබා දීමට නොහැකි වූ විත්තිකරුවන් දෙදෙනාට යළි සිතාසි නිකුත් කෙරිණි..

විනය කමිටුවේ ලේකකම්වරයා එවා ඇති එම ලිපිය පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එම ලිපිය බල රහිත කරන්නැයි ජයසූරිය මහතා ඉල්ලා සිටියි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා