පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලකෑම්වල යෙදුණු 4ක් හෙම්මාතගම දී අල්ලයි

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින්
කොල්ලකෑම්වල යෙදුණු 4ක් හෙම්මාතගම දී අල්ලයි

* කෑගල්ලේ කරඬුපහ අවන්හලක් කොල්ල කන්න හදලා
* සැකකරුවන් අධිකරණය හමුවට

(2012-06-07 01.02) කොළඹ පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් බව හඟවමින් හෝටල් අවන්හල් ලැගුම් හල්වලට කඩා වැදී ඒවායේ කළමනාකරුවන් සේවකයින් හා තාවකාලික නවාතැන්කරුවන් බියගන්වා පැය කීපයකින් ඔවුන් සතු මුදල් හා පැළද ඇති රන් අභරණ කොල්ල කන සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගැනීමට හෙම්මාතගම පොලිසිය සමත් විය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල දීර්ඝ කාලයක් මෙසේ සැරිසැරූ මේ කණ්ඩායම කෑගල්ල ප්‍රදේශයට මෙවර පැමිණ ඇත්තේ තුන්වැනි වතාවට යි.

කෑගල්ල කරඬුපහ ප්‍රදේශයේ ලැගුම්හලක් සහිත අවන්හලකට වෑන් රථයකින් පැමිණ මේ පිරිස තමන්ගේ ව්‍යාජ හැදුනුම්පත් පෙන්වමින් විමර්ශනය සඳහා ඇතුළු වීමට උත්සාහ දරා තිබුණේ පසුගිය 28 දා පෙරවරුවේ දීය.

හැඳුනුම්පත් ඇතත් අධිකරණයේ සෝදිසි වරෙන්තුවක් නොමැතිව මෙම අවන්හලට ඇතුළු වීමට අවසර දිය නොහැකි බව කළමනාකාරිත්වය විසින් පැවසීම නිසා නිසි බලපත්‍ර රැගෙන නැවත පැමිණෙන බවට පාරම්බාමින් ඉන් පිටවීමට ඔවුන්ට සිදු විය.

ඉන් පසු මාවනැල්ල කඩුගන්නාව ප්‍රදේශවල ද සැරි සැරූ මේ පිරිසගේ සැක කටයුතු හැසිරීම් පිළිබඳව මහජනතාව විසින් පොලිසියේ හදිසි ඇමතුම් අංකය වූ 119 ට සහ මාවනැල්ල, අරනායක සහ හෙම්මාතගම පොලිසි දැනුවත් කිරීම ද සිදුවිය.

අලුත්නුවර දේවාල මාර්ගයේ හෙම්මාතගම නගරය දෙසට යද්දි හෙම්මාතගම පොලිස් නිලධාරීන් විසින් වෑන් රථය නැවැත්වීමට අණ කරණු ලැබීමෙන් කළබල වී මහ මග ගමන් ගත් තවත් තිදෙනෙක් (කුඩා ළමුන් දෙදෙනෙක් සහ වයස 61 ක පමණ වැඩිහිටියෙක් ද) අනතුරට පත්කරමින් වාහනය හෙම්මාතගම ගම්පොල මාර්ගයේ ගමන් කර තිබුණි.

හෙම්මාතගම පොලිසියේ නිලධාරීන් එම වෑන් රථය පසු පස ලුහුබදිද්දී ඉදිරියෙන් ආ බස් රථයක් පටු මාර්ගයේ ගමනාගමනය අවහිර වූ මොහොතේ සැකකරුවන් එයින් බැස පලා යාමට පටන්ගෙන ඇත. අවසානයේ ප්‍රදේ්ශවාසීන්ගේ ද දායකත්වය ඇතිව පැන යන සැකකරුවන් අත්අඩංගුවට පත් විය.

රාජ්‍ය ආරක්‍ෂක නිලධාරියකු ලෙසත් වරෙක පොලිස් පරීක්‍ෂකවරයෙක් ලෙසත් උප පොලිස් පරීක්ෂක වරයකු ලෙසත් හැසිරුණු පුද්ගලයා කලක් පොලිසියේ උප පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස සේවය කර පසුව සේවයෙන් ඉවත් කරන ලද ගලෙන්බිදුණු වැව ප්‍රදේ්ශයේ පදිංචිකරුවෙකි.

අනෙක් පුද්ගලයින් අතර නාවික හමුදාව හැරගිය ගාල්ල, බටදූව පදිංචිකරුවෙක්ද, පිළියන්දල බෝකුන්දර පදිංචි සංචාරක ගමන් මග පෙන්වන්නෙක් ද, මීගමුව, දිවුලපිටිය ප්‍රදේ්ශයේ පදිංචි ප්‍රසිද්්ධ මලල ක්‍රීඩකයෙක් ද වූහ. වාහන කුලියට සපයන ආයතනයකින් මේ සඳහා වෑන් රථයක් ලබාගෙන තිබූ අතර මීට පෙර වතාවේ දී මෝටර් රථයක් ලබාගන පැමිණි බවද පැවසේ’

මේ වනවිට කෑගල්ල ප්‍රදේශයේ මෙම පුද්ගලයින්ට විරුද්ධව පැමිණිලි 4ක් ලැබී තිබෙන අතර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලින් ලැබුණු පැමිණිලි රාශියක් සඳහා මොවුන් අවශ්‍යව සිටි සැකකරුවන් බවද පැවසේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් පසුගිය (29) දා මාවනැල්ල මහේස්ත්‍රාත් ඉදිරියට පැමිණ වූ අතර ඉදිරි දිනක හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා මොවුන් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට ද නියම කර තිබුණි.

මම හදිසි වැටලීම කෑගල්ල කොට්ඨාස පොලිස් අධිකාරී පි‍්‍රයලාල් දසනායක මහතාගේ පෞද්ගලික අධීක්‍ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් කලුපහන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙම්මාතගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ධම්මික කන්දේවත්ත, පො. ප. කුමාරසිංහ, උ.පො.ප රණසිංහ, උ. පො. ප. දසනායක, පො. සැ. 56265 සෙනෙවිරත්න, පො. සැ. 24274 පාලිත, පො. කො. 27172 බණ්ඩාර, පො. සැ. 45513 බන්දුල, පො. කො. 32345 සේනාරත්න, පො. කො. 34249 බණ්ඩාර යන නිලධාරීන් විසින් සිදුකර තිබුණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා