අමෙරිකාවට අවශ්‍යව ඇත්තේ කෙසේ හෝ ශ්‍රී ලංකාව යටත්කර ගැනීමටයි

අමෙරිකාවට අවශ්‍යව ඇත්තේ කෙසේ හෝ ශ්‍රී ලංකාව යටත්කර ගැනීමටයි

- ඇමති විමල් වීරවංශ

උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමේ යෝජනාව සැළසුම් සහගතව ඉදිරිපත් කෙරෙන්නේ කාගේ උවමනාවටදැයි දැඩි අවධානයෙන් යුතුව සොයා බැලිය යුතු බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමති විමල් වීරවංශ මහතා පවසයි.

උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමේ යෝජනාව අමෙරිකා ‍එක්සත් ජනපදය විසින් සිදුකළ බවත් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යමහ කොමසාරිස්වරයාද පසුගියදා ඒ අදහසම ප්‍රකාශ කළ බවත් දෙමළ ජාතික සන්ධානයද මේ යෝජනාව කාලයක සිට ඉල්ලා සිටින බවත් ඇමැතිවරයා කීය. හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාද උතුරේ හමුදා කඳවුරු සීමා කරන ලෙස ප්‍රකාශ කර ඇති බවද කීය. කොටි සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ ඉල්ලීම මේ වනවිට විවිධ පාර්ශ්ව විසින් සිදුකරන බවත් මේ භයානක තත්ත්වය මුළු රට විසින්ම තේරුම්ගත යුතු බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව තුළ කොටි සංවිධානය යළි නැඟීසිටීම සඳහා ප්‍රබල බාධකයක් වී ඇත්තේ හමුදා කඳවුරු නිසා. ඒවා කෙසේ හෝ උතුරු නැ‍ෙඟෙනහිරින් ඉවත්කර ගැනීම කොටි සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ ප්‍රධාන අරමුණ වී තිබෙන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පුත්තලම, නාත්තන්ඩිය, මාරවිල “තිසරපුර ප්‍රෝටස් තිසේරා ජනසෙවණ ගම්මානය ජනතා අයිතියට පත්කිරීම වෙනුවන් පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.

මේ“ තිසරපුර” ප්‍රෝටස් තිසේරා ජනසෙවණ ගම්මානයේ ඉදිකර තිබෙන නිවාස සංඛ්‍යාව 29 කි. පර්චස් 7 බැගින් මේ පවුල්වලට ඉඩම් ලබා දී තිබෙන්නේ නාත්තණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගිනි. මෙම නිවාස ගම්මානය ඉදිකරගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් වැයකරන ලද මුදල රුපියල් ලක්ෂ 50 කි. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මඟින්ද නිවාස ඉදිකරගැනීම සඳහා එක් පවුලකට රුපියල් ලක්ෂය බැගින් නිවාස අධාර ලබාදී තිබේ. නිවාස ඉදිකරගැනීම සඳහා සැලැසුම් සකස් කිරීම, තාක්ෂණික උපදෙස් ලබාදීම ඇතුළු සියලු සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලද්දේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගිනි.

ඇමැතිවරයා මෙසේ ද කීය.

ශ්‍රී ලංකාවේ පිහිටීම හා එහි තිබෙන ස්වාභාවික සම්පත් අනුව ඇමරිකා එක්සත් ජනපදයට ශ්‍රී ලංකාව වඩාත් වැදගත් වී තිබෙනවා. එම නිසා ඇමරිකාවට අවශ්‍යව ඇත්තේ බෙදුම්වාදි බලවේග සමඟ එකතුවී කෙසේ හෝ බලපෑම් කර ශ්‍රී ලංකාව යටත්කර ගැනීමටයි. පසුගිය කාලය තුල ලංකාවට එරෙහිව පැමිණි බලවේග වලින් මේ තත්ත්වය ඉතා හොදින් පැහැදිලි වෙනවා. ඔවුන්ට උතුරේ හමුදා කඳවුරු කෙසේ හෝ ඉවත්කර ගැනීමට උවමණා වී ඇත්තේ කොටි සංවිධානයේ බීජ නැවත උතුරේ රෝපණය කරමින් ශ්‍රී ලංකාව අස්ථාවර තත්ත්වයට පත්කිරීමටයි. කෙසේ නමුත් උතුරේ හමුදා කදවුරු කිසිම හේතුවක් නිසා ඉවත් නොකරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබෙනවා. නමුත් බෙදුම්වාදී බලවේගවල විවිධ ස්වරුපයන් දිගින් දිගටම ක්‍රියාත්මක වන බව අප අමතක නොකළ යුතුයි. ත්‍රස්තවාදය පරාජය කිරීමට පෙර සිටම මෙම බලවේග ක්‍රියාත්මක වුණා. මේ කිසිදු බලවේගයකට රටේ රාජ්‍ය නායකයා හා රජය යටත් නොවීම ගැන මුළු රටක් හැටියට අපට සතුටු විය යුතුය.

උතුරේ යළි පදිංචි කිරිමේ කටයුතු ඉතා හොදින් සිදු කෙරෙනවා. බිම් බෝම්බ ඉවත්කරන ප්‍රදේශවල යටිතල පහසුකම් හොඳින් සකස්කර නැවත පදිංචි කිරීමේ කටයුතු සිදු කෙරෙනවා. ජනසෙවණ නිවාස ව්‍යාපෘති කිහිපයක්ම උතුරේ සිදුකෙරෙනවා.

මේ වන විටත් නිවාස ගම්මාන කිහිපයක්ම ජනතා අයිතියට පත්කර අවසන්. තර්ජිත ගම්මාන වශයෙන් හඳුන්වපු ප්‍රදේශ වලත් යළි පදිංචි කිරීමේ කටයුතු හොඳින් සිදු කෙරෙනවා. කැබිතිගොල්ලෑවේ පවුල් 250ක් පදිංචි කිරීමේ කටයුතු සිදුකෙරෙනවා. වැලිඹය ප්‍රදේශයෙත් යළි පදිංචි කිරීමේ කටයුතු සිදුකෙරෙනවා. ඒ අතරතුර සුනාමියෙන් විනාශයට පත්වු නිවාසත් රජය මැදිහත් වීමෙන් ඉඳිකළා. එසේම මුහුදු ඛාදනය නිසා අවතැන්වු ජනතාව යළි පදිංචි කිරීම සඳහා ඒ පිළිබඳ සොයාබලා විශාල සේවාවක් කළ අපදා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සේවයද මෙහිදි ඉතා ඕනෑකමින් අගය කළ යුතුයි.

රාජ්‍ය සම්පත් කළමනාකරණ හා ව්‍යවසාය සංවර්ධන ඇමති දයාශ්‍රීත තිසේරා මහතාද මෙහිදී අදහස් ප්‍රකාශ කළේ මේ ප්රැදේශයේ මුහුදු ඛාදනයෙන් විනාශ වු නිවාස සියල්ලම යළි ඉඳිකර දීමට හැකිවු බවයි.

ඉදිරියේදී මුහුදු ඛාදනයෙන් මෙම නිවාස විනාශ නොවීමට අවශ්යණ පියවර ගෙන ඇති බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. එපමණක් නොවෙයි මේ මුහුදු ඛාදනයෙන් අවතැන් වු ජනතාව වෙනුවෙන ඉතා විශාල වැඩකොටසක් සිදුකළ අපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා ලබාදුන් සහයෝගයද අපි‍ මෙහිදි ගෞරවයෙන් යුතුව සිහිපත් කළයුතු යැයිද පැවසීය.

2009 වසරේදී ඇති වූ මුහුදු ඛාදනයෙන් නාත්තණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුදුකටුව වෙරළාසන්නයේ ඉදිකර තිබූ නිවාස රැසක් විනාශයට ලක්විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා