ශ්‍රී ලංකා-පාකිස්තාන එක්දින තරගමාලාවේ පළමු තරගය අද පල්ලෙකැලේදී

ශ්‍රී ලංකා-පාකිස්තාන එක්දින තරගමාලාවේ පළමු තරගය අද පල්ලෙකැලේදී

ශ්‍රී ලංකාව හා සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර තරග පහකින් සමන්විත ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගමාලාවේ පළමු තරගය අද දිවා රාත්‍රියේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දෙපිල අතර පසුගියදා පැවැති විස්සයි20 ද්විත්ව තරගමාලාව තරග 1 – 1ක් ලෙසින් සමව අවසන් විය.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අද පැවැත්වෙන්නේ 128 වැනි ජාත්‍යන්තර එක්දින තරගයයි. මෙතෙක් පැවැති තරග 127න් පාකිස්තානය තරග 76ක ජය වාර්තා කර ඇති අතර ශ්‍රී ලංකාව තරග 47ක් ජයගෙන තිබේ. තරගයක් සමව අවසන් වී තිබෙන අතර තරග 3ක විසඳුමක් තිබී නැත. දෙපිළ අවසන් වතාවට මුණගැසුනේ පසුගිය මාර්තුවේ ආසියානු කුසලාන තරගාවලියේදීය. ධකා නුවර පැවැති එම තරගය කඩුලු 6කින් ජය ගැනීමට පාකිස්තානය සමත් විය.

ඊට පෙර පාකිස්තානය සත්කාරකත්වය දැරූ ශ්‍රී ලංකා කණ්ඩායමේ 2011 එක්සත් අරාබි එමීර් රාජ්‍යය සංචාරයේදී දෙපිළ අතර එක්දින තරග 5ක් පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාවට ජයගත හැකිවූයේ එක් තරගයක් පමණි. අනෙක් තරග හතර ම ජය ගත්තේ පාකිස්තානයයි.

එබැවින්, තමන්ට සුපුරුදු දේශගුණික තත්ත්වයන් යටතේ අදින් ඇරැඹෙන තරගමාලාව ජයගෙන අරාබි කතරේ අත්විඳින්නට සිදුවූ පරාජයේ නීරස මකා ගැනීම මහේල ජයවර්ධනගේ කණ්ඩායමේ ඒකායන අරමුණ වනු ඇත.

ශ්‍රී ලංකා සංචිතය: මහේල ජයවර්ධන (නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සචිත්‍ර සේනානායක, ලසිත් මාලිංග, රංගන හේරත්, උපුල් තරංග, නුවන් ප්‍රදීප්, දිල්හාර ප්‍රනාන්දු.

පාකිස්තානය: මිස්බා උල් හක් (නායක), අයිසාස් චීමා, අසාර් අලි, මොහමඩ් හෆීස්, රහත් අලි, සෆ්රාස් අහමඩ්, සොහේල් ටන්විර්, උමාර් ගුල්, අබ්දුර් රෙහ්මාන්, අසාඩ් ෂෆික්, ඉම්රාන් ෆර්හත්, මොහමඩ් සාමි, සයිඩ් අජ්මාල්, ෂහිඩ් අෆ්රිඩි, උමාර් අක්මාල්, යූනුස් ඛාන්.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා