ක්‍රිකට් ක්‍රීඩකයා ඝාතනය බිරියගේ කොන්ත්‍රාත්තුවක්

රජයට එල්ල කළ චෝදනා බොරු වෙයි

ක්‍රිකට් ක්‍රීඩකයා ඝාතනය බිරියගේ කොන්ත්‍රාත්තුවක්

අනියම් පෙම්වතා ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවේ

ත්‍රිකුණාමලය, අයියනාර්කෝනි වීදියේදී පසුගිය අප්‍රේල් 18 දා ගෙල කපා මරා දැමුණු ක්‍රිකට් ක්‍රීඩක ඊශ්වරදාසන් කේතීස්වරන් (28) ගේ මරණය සම්බන්ධයෙන් සැක පිට තරුණයන් දෙදෙනකු රහස් පොලිසිය ඊයේ (6) අත්අඩංගුවට ගත්තේය.

මිය ගිය අයගේ බිරිය විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත මේ ඝාතනය කළ බව සැකකරුවන් හෙළිකර ඇත. මොවුන්ට ඝාතනය සඳහා ඇය විසින් පවුම් 1750ක මුදලක් ලබාදී තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති එක් සැකකරුවෙක් ගුවන් නියමුවකු බවට හෙළිව ඇත.

මියගිය ක්‍රීඩකයාගේ බිරිය එංගලන්තයේ සිටින තැනැත්තියක වනඅතර සැකකාර ගුවන් නියමුවා එංගලන්තයට ගිය අවස්ථාවකදී ඝාතනයට ලක්වූ අයගේ බිරිය සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ බව රහස් පොලිසිය කළ ප්‍රශ්න කිරී‍මේදී සැකකරු ප්‍රකාශකර තිබේ. මේ හඳුනා ගැනීමෙන් පසු ඇය සිය සැමියා ඝාතනය කීරීමට තමාට කොන්ත්‍රාත්තුව දුන් බව හෙතෙම හෙළිකර ඇත.

සැකකරුවන් දෙදෙනා කොළඹ පදිංචි සිංහල අය වන අතර මේ අපරාධය සම්බන්ධයෙන් මොවුන් කිසිදු සාක්ෂියක් ඉතිරිනොවන පරිදි කටයුතු කර තිබුණද විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ පරීක්ෂණ පවත්වා මොවුන් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ජයන්ත කුලතිලක මහතා පවසයි. ඝාතනයට කොන්ත්‍රාත්තුව දුන්බව කියන සැකකාරිය ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය.

මේ ඝාතනය සම්බන්ධයෙන් දෙමළ ඩයස්පෝරාව ආරක්ෂක හමුදා හා පොලිසිය වෙත ‍පදනම් විරහිත චෝදනා එල්ලකර තිබිණි.

සිද්ධිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා