විපක්‍ෂයේ පුස් වෙඩිවලින් ජනතාව නොමඟ අරින්න බෑ

විපක්‍ෂයේ පුස් වෙඩිවලින් ජනතාව නොමඟ අරින්න බෑ

එස්. එම්. චන්ද්‍රසේන

ගොවිජන සේවා හා වන ජීවි අමාත්‍ය

වර්තමාන දේශපාලන තත්ත්වය, රජයේ ඉදිරි ගමන් මඟ, පළාත් සභා මැතිවරණය, සහල්, බඩඉරිඟු අපනයනය හා අලි - කිඹුල් - මිනිස් ගැටුම පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගොවිජන සේවා හා වන ජීවි අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා සමඟ කරන ලද සාකච්ඡාවකි මේ.

l වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

ජනතාව ඍජුවම ජනාධිපතිතුමා හා රජය සමඟ ඉන්නවා. තිස් වසරක ත්‍රස්තවාදය ජය ගත් ජනාධිපතිතුමා අනාගත පරපුර උදෙසා සංවර්ධිත රටක් ගොඩනැඟීමට ගන්නා උත්සාහය වෙනුවෙන් ජනතාව ඇප කැප වී සිටිනවා.

2005 ජනාධිපතිතුමා බාර ගත් අසාර්ථක අර්ධ රාජ්‍යය අද සාර්ථක අඛණ්ඩ රටක්. 1994 පරාජයට පත් වූ විපක්‍ෂය තබන තබන හැම මැතිවරණයක දීම අන්ත පරාජයට පත් කරන්නේ ජනතාව විසිනුයි. එ.ජා.ප ය හා ජ.වි.පෙ කෑලි කෑලිවලට කඩා දමන්නේ ඒ පක්‍ෂවල දේශපාලන බල අරගලය විසින්. ජනාධිපතිතුමා හා රජය සමඟ එ.ජා.ප හා ජ.වි.පෙ, ද්‍රවිඩ හා මුස්ලිම් පක්‍ෂ එක් වී සිටිනවා. විරුද්ධ පක්‍ෂයෙන් පාර්ලිමේන්තු ආ හතළිහක්, පනහක් අද මහින්ද රාජපක්‍ෂ රජයේ අමාත්‍යවරු. රටේ දේශපාලන තත්ත්වයේ වෙනසක් පේන තෙක් මානයක නැහැ. යුද්ධය අවසන් කළා සේම මේ රට අනාගත පරපුර උදෙසා ගොඩනඟන බව ජනතා විශ්වාසය යි.

l ආණ්ඩුවට අභියෝග කරන්න ඉන්න පුද්ගලයෝ කවුද?

කවුරුවත්ම නැහැ. අධිරාජ්‍යවාදී රාජ්‍යයන් ද ප්‍රභාකරන් ද අභියෝගයක් නොවූ ජනාධිපතිතුමාට ජනාධිපති තරගයේ දී අන්ත ලෙස පරාජයට පත් වූ පුද්ගලයෝ මොන අභියෝගයක් ද? ඒ මනුස්සයා අද අභියෝගයක් වී ඇත්තේ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ හා සෝමවංශ අමරසිංහ මහත්වරුන් ට.

l ඔබ එසේ කීවත් සරත් ෆොන්සේකා මහතා පිළිබඳ යම් යම් අය විවිධ කතා කියනවා නේද?

සරත් ෆොන්සේකා දේශපාලනඥයෙක් නොවේ. ගමේ ජනතාවට පාලමක්, බෝක්කුවක්වත් හදල දුන්න කෙනෙක් නොවෙයි. පසුගිය ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා පරාජය වන නිසා ජාම බේරා ගන්න එ.ජා.ප යෙන් සරත් ෆොන්සේකාට අපේක්‍ෂකත්වය දුන්නා. එල්ලෙන්න වැල් නැතිව හිටිය ජ.වි.පෙ සරත් ෆොන්සේකා ජනාධිපති කරලා වල්ගේ එල්ලිලා දිව්‍ය ලෝකේ යන්න කල්පනා කළා. කට හොඳ නැති ෆොන්සේකා රටට ජාතියට ද්‍රෝහි ප්‍රකාශ කැර හිර ගෙදර ගියා. ජනාධිපතිතුමා ඔහු හිර ගෙදරින් නිදහස් කළා. සරත් ෆොන්සේකා මහතාට ඇති ජන වරමක් නැහැ. රනිල් නළවන්න සජිත් – කරු කණ්ඩායම සරත් සිංහයෙක් කරන්න හදනවා. රජයට එරෙහිව සටන් පාඨ නැතිව හතර ගාතයෙන් ඇද වැටී සිටින ජ.වි.පෙ සරත් ෆොන්සේකා විරෝධතා පුවරුවකට අරගෙන පක්‍ෂයේ පණ බේරා ගන්න උත්සාහ කරනවා. සරත් ෆොන්සේකාට ඇති ජන රැල්ලක් නැහැ.

l පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයෙන් ජය ගන්න රජයට පුළුවන්ද?

සියයට සියයකින්ම පුළුවන්. මැතිවරණය දවසේ ඡන්ද පත්‍රිකාවේ “ කතිරය” ගහන්නේ ජනතාවයි. ජනතාවයි රජයට , ජනාධිපතිතුමාට, ජය ලබා දෙන්නේ. ජනාධිපතිතුමා යුද්ධය ජය ගැනීම හොඳ නැතිනම් , රට සංවර්ධන කරනවා හොඳ නැතිනම් ජනතාවට ජීවත්වෙන්න බැරි තරම් මහා පීඩනයක් තියෙනවා නම් සේවක අයිතිවාසිකම් අහිමි කරලා නම් ජනතාව මහින්ද රාජපක්‍ෂ රජය පළාත් සභා මැතිවරණයේදී පරාජය කරාවි. ජනතාව එහෙම කරනවාද? නැද්ද? කියලා තීරණය කරන්න බලයට කෙළ හළාගෙන ඇණ කොටා ගනිමින් සිටින දේශපාලනඥයන්ට බැහැ.

l රටේ ජීවන වියදම අහස උසට නැඟලා එදිනෙදා ජීවිතය ගැට ගහ ගන්න ජනතාවට ආදායමක් නැති බව පවසන විපක්‍ෂය මේ රජය පෙරළා දමන්නට ගන්නා උත්සාහය පිළිබඳ ඔබේ අදහස කෙබඳු ද?

රටේ ජිවන වියදම අහස උසට නැඟලා නම් අනිවාර්යයෙන්ම ජනතාවගේ ආර්ථික තත්ත්වයත් අහස උසට නැඟලා. මේ රටේ ජනතාවට එදිනෙදා ජීවිතය ගැට ගහගන්න බැරි වෙලා නැහැ. මේවා ජනතාව නොමඟ යවන්න විපක්‍ෂය තබන පුස් වෙඩි. අද රටේ ජාතික ආදයම ඉහළ ගිහින්. උද්ධමනය පහළ වැටිලා. විරැකියාව පහත වැටිලා. ජනතාව එදාට වඩා අද යහපත් සතුටුදායක ජීවිත ගත කරනවා. කුඹුරු කොටන හේන් කොටන කුලි වැඩ කරන, මිනිසාගේ ආදායම තුන් හතර ගුණයකින් ඉහළ ගිහින්. රජයේ සේවකයාගේ වැටුප සියයට සියයකින් ඉහළ ගිහින්. පෞද්ගලික අංශයේත් ඒ වගේමයි.

රටේ ජනතාව හොඳ ගෙවල් හදනවා යාන වාහන ගන්නවා. හොඳ ඇඳුම් පැළඳුම් අඳිනවා පළඳිනවා. දරුවන්ව උසස් අධ්‍යාපනය ලබා දෙනවා. වියදමේ තරමට ආදායම නොලැබෙනවා නම් මේවා කරන්න පුළුවන්ද? මම හද්ද පිටිසර වන්නියේ ගොවියෙක්. ගමට එන්න. ගමේ ජනතාව කනවද බොනවද කියලා දෑහින් දැක ගන්න කියලා රජයට එරෙහිව ඇඟිල්ල දිගු කරන විපක්‍ෂයට මම අභියෝග කරනවා.

විපක්‍ෂය 1994 ඉඳලම ආණ්ඩු පෙරළන්න කුරුමානම් අල්ලනවා. ඒත් .. තවම බැරි වුණා. ජනතාව කතිරය ගසන තුරු ආණ්ඩුව පෙරළන්න විපක්‍ෂයට බැහැ. ඒකනේ බටහිර රටවල් හරහා ‘ බලය’ ලබා ගන්න කුමන්ත්‍රණය කරන්නේ.

පළාත් සභා ජය ගැනීම හීනයක් වී ඇත්තේ රජයට නොවේ විපක්‍ෂයටයි.

පළාත් සභා මැතිවරණවලදි විශිෂ්ට ජයග්‍රහණයක් මහින්ද රාජපක්‍ෂ නමැති උදාර ජන නායකයාට ලබා දෙන්න මේ රටේ ජනතාව මඟ බලාගෙන ඉන්නවා. මේ මැතිවරණවලදීත් එ.ජා.පයට, ජ.වි. පෙට ‘ අබ’ සරණයි.

l සහල්, බඩඉරිඟු පිටරට යවන්න තරම් රට ස්වයංපෝෂිතද?

ඔව්. අද සියයට විස්සක වී අතිරික්තයක් රටේ තියෙනවා. බඩ ඉරිඟුවලිනුත් ස්වයංපෝෂිතයි. නැතිව රටේ මිනිස්සු බඩ ගින්නේ තියලා ජනතාව රවට්ටලා බොරු සෝබන කම් පෙන්වන්න සහල් බඩඉරිඟු රට පටවන්න රජයට උවමනාවක් නැහැ. 2005 මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ගොවියාට පොහොර සහනාධාරය දුන්නේ ධන ධාන්‍ය අස්වැන්න වැඩි කරලා. රට ස්වයංපෝෂිත කරන්නයි. අද ඒ ජයග්‍රහණය ලැබිලා. පොහොර සහනාධාරය ගොවියාට ලැබීමත් “ යුද්ධය” නිමා වීමෙන් උතුරු නැඟෙනහිර තිස් අවුරුද්දක් පුරන් වූ කුඹුරුවල රන්වන් කරල් පැසෙද්දී රට සහලින් බඩ ඉරිඟුවලින් ස්වයංපෝෂිත වුණා.

සෝයා මුං ඇට, කව්පි, බඩ ඉරිඟු උඳු තල වගේ ධාන්‍ය වගාවටත් එළවළු වගාවටත් රුපියල් තුන්සිය පනහේ පොහොර සහනාධාරය රජය ලබා දුන්නා. ඉතා කෙටි කාලයකදී මෙම ධාන්‍ය වර්ග ආනයනය කිරීමට රජය වැය කරන රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක විදේශ විනිමය රටේ ඉතිරි කැර ගෙන අපේ ධාන්‍ය අපනයනය කැර රටට විදේශ විනිමය ගෙන ඒම රජයේ අරමුණයි. එවිට රටේ ආර්ථිකයත් ජනතාවගේ ආර්ථිකයත් ඉහළ මට්ටමකට පත් වෙනවා.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා මේ රට බාර ගන්නේ කාටවත් පාවා දෙන්න නොවේ. රට ගොඩනඟා නිදහස් නිවහල් දේශයක් අනාගත පරපුරට බාර දෙන්නයි. ඒ යුතුකම හා වගකීම ඉටු කරන්නයි “සියරට දේ පිරි සැප දේ” යන්න ජනතාවට අවබෝධ කැර දීමටයි රජය කටයුතු කරමින් සිටින්නේ.

l අලි - මිනිස් - කිඹුල් ගැටුම්වල වර්තමාන තත්ත්වය කොහොමද? විසඳුම් තියෙනවද?

අලි - මිනිස් ගැටුම අවම කරන්න ජනාධිපතිතුමාගේ ත් ආර්ථික සංවර්ධන අමාත්‍ය තුමාගේ ත් උපදෙස් හා මඟ පෙන්වීම අනුව විශේෂ ව්‍යාපෘතියක් අරඹලා තියෙනවා. ඒ පළමු අදියරේදී අලි සංරක්‍ෂණ උද්‍යාන හතරක් දිවයිනේ හතර කොණ සකසනවා. හෙක්ටයාර් දොළොස් දහසක භූමියක් මේ සඳහා දැන් සූදානම් කරමින් සිටිනවා. වන අලින්ට ජීවත්වීමට භූමිය ආහාර හා ජලය හිඟ වීම මෙම ගැටුමට මුලයි.

මිනිස් ක්‍රියාකාරකම් නිසා සියයට හතළිස් හයක් වූ වන පෙත සියයට විසි එක දක්වා පහත වැටිලා. වන අලින්ට පමණක් නොව සියලු සතා සීපාවට අද ජීවත් වීම අභියෝගයක් වෙලා. මාදුරුඔය, ගල්ගමුව, හම්බන්තොට, හොරොව්පොතානේ අලි සංරක්‍ෂණ මධ්‍යස්ථාන මෙම වන සතුන් ජීවත් කිරීමේ භූමි බවට පත් කරනවා. සතුන්ට අවශ්‍ය කෑම වනාන්තරවල වවනවා.

බඩ ඉරිඟු, කෙසෙල්, වට්ටක්කා ‍ෙගාවින්ගෙන් මිල දී ගෙන වන අලින්ට දෙනවා. කැලෑ තුළ කැඩි බිඳි ඇති සියලු වැව් අමුණු ප්‍රතිසංස්කරණ කටයුතු පටන් අරගත්තා. ඒ ඒ විතරක් නෙවේ පොසොන් පිංකමට සමගාමිව ලෝකයේ පළමු අභය භූමිය වූ අක්කර පන්සිය අසු දෙකකින් යුතු මිහින්තලා වන අර‍ෙණහි යළි රුක්රෝපණ වැඩ සටහනක් ඇරඹුවා. ලොකු කුඩා සතුන්ටත් කුරුලු කොබෙයියන්ටත් කෑම බීම ලබා දීමත් ඔවුන්ගේ පැවැත්මට හිතකර පරිසරයක් සැකසීමත් අරමුණයි.

කිඹුල් මිනිස් ගැටුමට විසඳුම් ලෙස කිඹුල් සංරක්‍ෂණ මධ්‍යස්ථාන පිහිටුවමින් සිටිනවා. මිනිසුන් වූ අප සතා සර්පයාටත් නිදහසේ ජීවත්වීමට අවස්ථාව සලසා දිය යුතුයි. අනුකම්පාව මෛත්‍රීය කරුණාව නැති මිනිසුන් අද වනේ වන සතුන්ටත් අන්ත විදියට බඩ ගෝස්ත්‍රය වෙනුවෙන් මිනි මරා ගන්නවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා