ඉතිහාසෙයි ආගමයි කැපුවහම කරුණාව ඉතිරි වෙයිද?

ඉතිහාසෙයි ආගමයි කැපුවහම කරුණාව ඉතිරි වෙයිද?

මහාචාර්ය වාව්වේ ධම්මරක්ඛිත හිමි

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ

බෞද්ධ අධ්‍යයන අංශයේ පීඨාධිපති

ශ්‍රී ලංකාවේ අපරාධ සිදුවීම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. මේ අපරාධ රැල්ලට හේතුවත් එය අවම කර ගැනීම සඳහා අප ගත යුතු පියවර පිළිබඳවත් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ පීඨාධිපති මහාචාර්ය වාව්වේ ධම්මරක්ඛිත හිමියන් සමඟ දිනමිණ කළ සාකච්ඡාවකි.

l සමාජයේ අපරාධ ඇතිවීමට බලපාන හේතු මොනවාද?

සමාජයක සිදුවන මොනයම් ආකාරයක හෝ අපරාධයක් අනුමත කරන්න බැහැ. අපරාධ සිදුවන්නේ ඇයි කියා විමසා බැලිය යුතුයි. මෙහිදී අංශ කිහිපයක් මා දකිනවා. එනම් මිනිසුන් අතර තියෙන දැඩි තරගකාරිත්වය. ධනවත්වීමට මිනිසුන් තුළ ඇති බලවත් පෙලඹවීම සහ බිහිසුණු ත්‍රාසජනක මංකොල්ලකෑම්, මිනිස් ඝාතන, ස්ත්‍රි දූෂණ ඇතුළත් චිත්‍රපට හෝ ටෙලි නාට්‍ය බිහිකිරීම. මේවා නරඹන තරුණ පිරිස් ඔවුන්ගේ මානසිකත්වය වෙනස් මගකට යොමු කිරීමට උත්සාහ ගන්නවා. මෙවැනි බාල දර්ශන නැරඹීම නිසා නිසර්ගයෙන්ම ඔවුන්ගේ බිය පහව යනවා.

සමහර වාණිජ චිත්‍රපටවල ඇතැම් පුද්ගල චරිත වීර චරිත බවට පත් කර තිබෙනවා. ඒ අය සාධාරණය වෙනුවෙන් ක්‍රියා කරන බව හඟවා නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය වැනි ආයතනවලට ගොස් අභියෝග කරන තත්ත්වයකට සමහර නළුවන් ක්‍රියා කරන ආකාරය අපි දැක තිබෙනවා.

මේ තත්ත්වය තුළ පොලිසිය වැනි නීතිමය ආයතනවලට ඇති ගෞරවය පිළිබඳ මිනිසුන්ට ගැටලුවක් පැන නගිනවා.

l ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කළහොත්?

කහවත්තේ මවක් සහ දියණියක් සාහසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියේ දී පොලිසිය නීතිය හරිහැටි ක්‍රියා කරන්නේ නැහැ කියලා මහජනතාව නීතිය අතට ගැනීමට පෙළඹුණා.

දෙමටගොඩ ප්‍රදේශයේ කුඩු ජාවාරමට හා විවිධ අපරාධවලට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේ දී ජනතාව වීථි බැස ඒ නිලධාරින්ට නීතිය ක්‍රියාත්මක කිරීමට අවහිර ඇති කිරීමට පටන් ගත්තා.

ජනතාව තුළ මේ ආකාරයේ මානසික තත්ත්වයක් ඇතිවීමට බලපෑ හේතු?

වාණිජ චිත්‍රපට මගින් නිරන්තරයෙන්ම මෙවැනි අපරාධ හා සම්බන්ධ දර්ශන පෙන්වීම නිසා නීතිය නිසිලෙස ක්‍රියාත්මක වෙනවා දැයි හැඟීම ජනතාව තුළ ඇති කරන්නට ඇතැම් මාධ්‍ය ආයතන පෙලඹවීමක් සිදුකරනවා. ඒ වගේම සමහර දේශපාලන පක්ෂ රාජ්‍ය නොවන සංවිධාන තමන්ගේ පටු අරමුණු ඉටුකර ගැනීමේ චේතනාවෙන් මේවාට සහයෝගය ලබා දෙනවා.

l සමාජයේ දිගින් දිගටම සිදුවන අපරාධ අපේ ළමා පරපුරටත් බලපානවා නේද?

අපේ ඇතැම් තරුණ මව්වරු තමන්ගේ ස්වාමි පුරුෂයාට හෝ ඥාතියෙකුට හෝ තම දරුවා බාර දී විදේශගත වීමෙන් ඒ දරුවාට නිසි රැකවරණය නැති වී යනවා. එහිදී වෙනත් පුද්ගලයන් ඒ දරුවන් කාමුක අපරාධවලට යොමුකර ගන්නවා.

l මේ සියලුම අපරාධවලට දේශපාලනය බලපාන බව ඔබවහන්සේ සිතනවාද?

සමාජයේ සිටින අපරාධකරුවන්ට ඇතැම් අවස්ථාවලදී දේශපාලන රැකවරණය ලැබෙන නිසා ඔවුන් නිර්භයව අපරාධ කරන්නට පෙලඹෙනවා.

l පාසල් අධ්‍යාපනය තුළ අපරාධ නිවාරණයට අවශ්‍ය පසුබිම සකස් වී තිබෙනවාද?

දශක තුනකට ආසන්න කාලයක සිට අප රටේ පාසල් අධ්‍යාපන තුළින් සංවේදී පුද්ගලයෙක් නිර්මාණය කිරීමටත්, මානව දයාවෙන් යුක්ත පුද්ගලයෙක් නිර්මාණය කිරීමටත් අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් වෙලා නැහැ. ඒක බොහෝ දුරට බලපානවා. මිනිසුන්ගේ සිත් සතන් තුළ ආදරය කරුණාව වැනි සිතිවිලි ජනිත කරන්න පුළුවන් අධ්‍යාපනයක් මේ රටේ නැහැ. බොහෝ අවස්ථාවලදී මෙරට ආගම විෂය පාසල් විෂය මාලාව තුළ කප්පාදුවට ලක් වී ඇති බවක් පෙන්නුම් කරනවා. ඉතිහාසය කියන විෂයයත් එහෙමයි. ඉතිහාසය වැනි විෂයයක් හැදෑරීම මගින් පුද්ගලයා තුළ නිරායාසයෙන්ම දේශාභිමානයක් දේශානුරාගයක් ඇති වෙනවා. ඒ තුළ ඔහුට හෝ ඇයට තමන්ගේ් රට ගැන යම් අභිමානයකින් කටයුතු කිරීමට හැකි යාව ලැබෙනවා. සාහිත්‍ය වැනි විෂයයකින් පුද්ගලයා තුළ සෞන්දර්ය, රසවින්දනය ඇති කිරීමෙන් සංවේදී පුද්ගලයෙක් නිර්මාණය වෙනවා.

ආගම වැනි විෂයයක් හැදෑරීම මගින් පුද්ගලයා තුළ කරුණාව, මෛත්‍රිය, සමගිය, අවිහිංසාව, සමානාත්මතාව, ආගමික සහජීවනය වැනි ආකල්ප ඇති කරනවා. ඉතින් මේ විෂයයන් පාසල් අධ්‍යාපනයේ කප්පාදුවට ලක්වීම නිසා පාසලකින් එළියට යන ශිෂ්‍යයා කෘත්‍රිම පුද්ගලයකු හැටියටයි කටයුතු කරන්නේ.

l නිමා වු තිස් වසරක යුද්ධය උතුරේ සහ දකුණේ අපරාධ රැල්ල ස්ථාපිත කිරීමට බලපානවාද?

මෙරට තිස් වසරක යුද්ධයකට මැදි වූ රටක්. දැන් මේ යුද්ධය නිමයි. මේ යුද්ධයට දෙපාර්ශ්වයක් මුහුණ දුන්නා. මේ දෙපාර්ශ්වය තුළ ඇති වී තිබෙන්නේ වෛරය සහ ප්‍රචණ්ඩත්වයයි. තවමත් උතුරේ ත්‍රස්තවාදීන් නිදැල්ලේ සිටිනවා. ඔවුන් පුනරුත්ථාපනය වී නැහැ. ඒ අය තුළ තවමත් මේ සාහසිකත්වය තියෙනවා. ඒ වගේම ඒ අයට මේ සමාජයට විවෘතව ඇවිල්ලා වැඩ කරන්නත් හැකියාවක් නැහැ. ඒ අයට අධ්‍යාපනයක්, වෘත්තීය දැනුමක් නැහැ. ඒ නිසා ඒ අය තමාට ජීවත්වීමට නොහැකි වූ විට අපරාධවලට පෙලඹීමට ඉඩකඩ තිබෙනවා.

දකුණෙත් තිස් අවුරුදු කාල පරාසය තුළ හමුදා සේවයෙන් පැන ගොස් නිදැල්ලේ සිටින්නන්, සැඟවී සිටින්නන් ඉන්නවා. මේ අයට සිවිල් සමාජයට ඒමට පුළුවන්කමක් නැහැ. ඒ අය ඇතැම්විට අපරාධවලට පෙලඹෙනවා. මේ අයට සමාජයේ ඇතැම් ප්‍රභූවරුන්ගේ බලවතුන්ගෙන් රැකවරණය ලැබෙනවා.

l පවතින නීති අපරාධ පාලනයට ප්‍රමාණවත්ද ?

අපරාධයට නියම දඬුවම්වල තියෙන ලිහිල්භාවයත් අපරාධ පාලනයට බාධාවක් වී තිබෙනවා. බිහිසුණු අපරාධයක් කරන පුද්ගලයකුට සමහර විට ලැබෙන දඬුවම ඉතාමත් සුළු දඬුවමක්. ඒක වසර පහක සිර දඬුවමක්. එසේ නැතිනම් ලැබෙන බරපතළම දණ්ඩනය ජීවිතාන්තය දක්වා සිරගතවීමයි. මේ නිසා පුද්ගලයන් අපරාධ කරන්න තියෙන බිය පහවෙලා යනවා.

අපරාධ පාලනය කරන්න නම්, පළමුව ක්ෂණික පියවරක් හැටියට තිස් වසරක යුද්ධයකට මැදිවුණු සියලු පාර්ශ්වයන්ට සැලසුම් සහගත වැඩසටහනක් යටතේ යුද මානසිකත්වය ඔවුන්ගෙන් ඉවත් කළ යුතුයි. එයට දිගු කාලීන සහ කෙටිකාලීන වැඩපිළිවෙළක් අවශ්‍යයයි.

l දිගින් දිගටම සිදුවන අපරාධ පාලනය කළ හැකි ද?

ලෝකයෙන් අපරාධ තුරන් කරනවා කියන කාරණය කවදාවත් සිදුකළ නොහැකි දෙයක්. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ පවා විවිධ අපරාධ සිදුවෙලා තියෙනවා. මිනීමැරුම්, විවිධ ස්ත්‍රී දූෂණ වැනි අපරාධ. ඒ නිසා ලෝකයෙන් අපරාධ තුරන් කරනවා කියන කාරණය අර්ථ විරහිතයි.

ඒ කෙසේ වෙතත් සමාජයට අපරාධ අවම කරගත හැකියි. ඒ සඳහා රජයට පමණක් වගකීම පැවරිය නොහැකියි. රටේ ඇති ආගමික ආයතන, වෙනත් ස්වේච්ඡා සංවිධාන, අධ්‍යාපන ආයතන, සංවේදී පිරිසක් වන කලාකරුවන් වැනි අය සංවිධානගත වෙලා නිසි වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.

විශේෂයෙන් කලාකරුවන්ට පුළුවන්කම තියෙනවා මනුෂ්‍යත්වය අගයන, සහෝදරත්වයේ වටිනාකම, සහජීවනයේ ඇති උසස් බව, දේශහිතෛෂීභාවයේ ඇති ශ්‍රේෂ්ඨත්වය විදහා දක්වන නිර්මාණ බිහිකිරීමට. ඒ මගින් පුද්ගලයා තුළ සංවේදීතාව ඇති කරන්නට. මම හිතන්නේ ‍ෙම් සියලු ආයතන මේ වගකීම ඉෂ්ට කරනවා නම්, අපරාධ පාලනය කළ හැකි වෙයි කියා. පොලිසිය වැනි ආයතනවලට මේවා මර්දනය කිරීමට බලපෑම් කිරීමෙන් හෝ තව තවත් නීති දැඩි කිරීමෙන් මෙය පාලනය කළ නොහැකියි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා