|
ජාත්‍යන්තර අපරාධකරුවන්ට මේ රටේ වැට බැඳෙයි
විදෙස් ගමන් බලපත් තත්පර 4න් පරීක්‍ෂාවට
ජාත්‍යන්තර අපරාධකරුවන්ට
මේ රටේ වැට බැඳෙයි
ආරක්‍ෂක ලේකම් ගේ
උපදෙස් ක්‍රියාත්මකයි
දත්ත සැකසුම්
පද්ධතියක් ස්ථාපිතයි
දකුණු ආසියාවෙන්
මුලින්ම ශ්‍රී ලංකාවට
විජයානි එදිරිසිංහ
ලෝකයේ භයානක අපරාධකරුවන් අන් සතු විදෙස් ගමන් බලපත්‍ර හරහා මෙරටට යන එන
අවස්ථාවල දී ආරක්‍ෂක අංශවලට කොටු කර ගැනීමට හැකිවන පරිදි ජාත්‍යන්තර දත්ත
සැකසුම් පද්ධතියක් ඊයේ (11) මෙරට ස්ථාපිත කෙරිණි. සෑම විදෙස් ගමන්
බලපත්‍රයක්ම තත්පර 4ක් වැනි සුළු කාලයක් ඇතුළත පරීක්‍ෂා කර ගැනීමට හැකි වීම
මෙම ආරක්ෂක දත්ත පද්ධතියේ ඇති විශේෂත්වයයි.
ලෝකයේ රටවල් 187 ක මෙම දත්ත පද්ධතිය දැනට ක්‍රියාත්මක වෙයි. දකුණු ආසියාතික
රටවල් අතරින් ප්‍රථම වරට මෙවන් පද්ධතියක් පිහිටුවනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ය.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ උපදෙස් මත ආගමන විගමන දෙපාර්තමේන්තුව
සහ පොලිසිය එක්ව කරන ලද ඉල්ලීමකට අනුව ජාත්‍යන්තර පොලිසිය මෙම වටිනා ආරක්‍ෂක
පද්ධතිය මෙරටට පිරිනමා තිබේ.
කැනඩා රජය සහ ජාත්‍යන්තර විගමන සංවිධානය මේ සඳහා වූ සියලු ආධාර උපකාර දරනු
ලබයි. මෙම දත්ත සැකසුම් පද්ධතිය ස්ථාපිත කිරීම ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ
මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.
දිනකට මෙරටට යන එන අති විශාල දෙස් විදෙස් සංචාරකයන් අතරින් හොර රහසේ විවිධ
ජාවාරම් සඳහා මෙරටට එන හා මෙරටින් පැන ගන්නා විවිධ අපරාධකරුවන් අල්ලා
ගැනීමට මෙම ආරක්ෂක දත්ත සැකසුම් පද්ධතිය ශක්තිමත් ආරක්ෂක වැටක් බව ආරක්‍ෂක
ලේකම්වරයා පැවසීය.
දිනකට මෙරටට පැමිණෙන සහ මෙරටින් පිටවන පුද්ගලයන් ප්‍රමාණය දස දහසක් පමණ
වෙයි.
මේ සෑම පුද්ගලයකුටම අයත් සෑම විදෙස් ගමන් බලපත්‍රයක්ම අද (12) සිට මෙම
පද්ධතිය හරහා පරීක්‍ෂා කෙරේ.
එහිදී අන්සතු විදෙස් ගමන් බලපත්‍රයක් යම් පුද්ගලයෙක් භාවිතා කරන්නේ නම් ඒ
අවස්ථාවේම ඔහු අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය සූදානම්ව සිටියි.
ජාත්‍යන්තර පොලිසියේ මෙම පද්ධතිය තුළ අපරාධකරුවන් දහස් ගණනකගේ තොරතුරු
ඇතුළත්ව තිබේ.
නැතිවූ විදෙස් ගමන් බලපත්‍ර තිස් පන් ලක්‍ෂයක තොරතුරු ඇතුළත් කර තිබේ.
මේ වන විට මෙම පද්ධතිය හරහා කෝටි තිස් පහක පමණ ගමන් බලපත්‍ර පරීක්‍ෂාවට ලක්කර
ඇත.
ලෝකයේ තාක්ෂණයෙන් දියුණු රටවල් ඔවුන් ගේ රටවලට ගලා එන විවිධ අපරාධ වළක්වා
ගැනීමට අපරාධකරුවන් කොටුකර ගන්නා තාක්ෂණයෙන් ඉහළ නවීනතම ක්‍රමය මෙය බව
මේ සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කළ ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා මහතා කීය.
.
|