අංකොත්තාවල - උඩවත්ත නන්ද වැවෙන් කුඹුරුවලට ජලය ගන්න ක්‍රමයක් නෑ

අංකොත්තාවල - උඩවත්ත නන්ද වැවෙන් කුඹුරුවලට ජලය ගන්න ක්‍රමයක් නෑ

පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා සහ අවශ්‍ය ස්ථානවලට ජලය ලබාදීම සඳහා රුපියල් ලක්ෂ ගණනක මුදල් කන්දරාවක් වැය කරමින් ඉදිකරවන ලද “අංකොත්තාවල-උඩවත්ත “නන්දවැව“ වසර ගණනාවක් තිස්සේ අතහැර දමා ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

හිටපු මන්ත්‍රී නන්ද ගුණසිංහ මහතාගේ සංකල්පයක් අනුව ගාල්ල දිස්ත්‍රික් ඉංජිනේරු කාර්යාලය මගින් ඉදිකරවන ලද “නන්දවැව“ දකුණු පළාත් ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති හේමාල් ගුණසේකර මහතා අතින් 2007 මාර්තු 3 වන දින විවෘත වූ වගයි යනුවෙන් සිහිවටන පලකයේ සඳහන් වේ. ඒ අනුව මේ වැවෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන දැනට වසර පහක් පමණ ගත වී තිබේ.

වැව් බැම්මෙන් පිටතට ජලය මුදා හරින ඇළ මාර්ගයක් ඉදිකර නැත.

නන්ද වැව

වැව කඳු මුදුණක ඉදිකර ඇති බැවින් කඳුපාමුල ඇති යග්ගහ, මීගොඩ මාතවිල ආදී ප්‍රදේශයන්හි කුඹුරුවලට ජල අවශ්‍යතාවක් වුවහොත් එය පහසුවෙන් කළ හැකි බවත්, එහෙත් වැව් බැම්මේ සොරොව්වේ සිට පහළට ජලය ගෙන යා හැකි වනසේ ඇළ මාර්ග ඉදිකර නැති බව ගම්වැසියෝ කියති.

වැව් විවෘත කිරීමෙන් පසුවද ඒවා සකස් කර නැති බැවින් වැවේ මහ දිය කඳක් රඳවාගෙන තිබීම හැර වෙනත් කිසිවක් සිදුකළ නොහැකිය. අවම වශයෙන් දියනෑමට ස්ථානයක්වත් සකස් කර නැති බවද ප්‍රදේශවාසීහු කියති.

වැවට ඉහළ පෙදෙසේ පිහිටි ගම්මානයට ජලය සැපයීමට වැව පහළින් පොම්පාගාරයක් ඇති කිරීම වෙනුවට මේ වැවෙන් වතුර ලබාදීමට හැකි බව ප්‍රදේශවාසීහු පවසති. අක්මීමන ප්‍රාදේශීය මහ ලේකම් දමයන්ති පරණගම මහත්මියගෙන් මේ වැව අතහැර දමා තිබීම පිළිබඳව කරන ලද විමසීමේදී මෙය මේ කාර්යාලය මගින් සිදුකරන ලද්දක් නොවන බැවින් වැඩි විස්තරයක් කීමට නොහැකි බව කීවාය.

විශ්‍රාමලත් ග්‍රාම සංවර්ධන නිලධාරි සිරිල් දයාවංශ මහතා මෙසේ කීවේය.

කඳුමුදුනක සිට ගලා බසිනා ජල ධාරා ඒකරාශි කරමින් වැවක් ඉදිකිරීම වරදක් නැහැ. නමුත් ලක්ෂ ගණන් මුදල් වැයකර ඉදිකළ වැවෙන් ගමට පළාතට සේවාවක් ලබාගත යුතුයි. මෙය වසර ගානක් තිස්සේ අතහැර දමා තිබීම අපරාධයක්. කිසිම වැඩකට ‍ෙනාගෙන ජලය එක්රැස් කර ගෙන තිබීමෙන් පලක් නැහැ. ගම සංවර්ධනයට මෙවැනි ව්‍යාපෘති අවශ්‍යයි.

විශ්‍රාමික සිවිල් ගුවන්සේවා නිලධාරි ගීගනගේ සුසිල් මහතා - මේ වැව ඉදිකිරීමට වැය කළ මුදලින් නිසි ප්‍රයෝජන ලබාගත යුතුයි. ඉස්සර උඩවත්ත ප්‍රදේශයේ දියනෑමට ප්‍රසිද්ධ පීල්ලක් තිබුණා මේ වැවෙන් දිය මුදාහැර ප්‍රසිද්ධ නාන තොටුපළක් හෝ හදනවා නම් හරි අවශ්‍ය තැන්වලට ජලය ලබාදීමට හරි ක්‍රියා කරනවා නම් ඉතා හොඳයි. සොරොව්වෙන් එහාට වතුර ගෙන යා හැකි ඇළ මාර්ගවත් ඉදිකළ යුතුය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා