බුදුන් දැක නිවන් දකින්නට පෙර

බුදුන් දැක නිවන් දකින්නට පෙර

ශ්‍රී ලංකාවේ දේශපාලකයා බටහිර විද්‍යාවන් ද තවත් විජ්ජාවන් ද දැනගෙන සිටින්නට පුළුවන. එලෙස ම බටහිර සම්භාව්‍ය සංස්කෘතිය ද වෙනත් කලාවන් ද හදාරා තිබෙන්නට පුළුවන. එහෙත් අපේ දේශපාලකයන්ගෙන් බහුතරයකට මේ පුංචි කොදෙව්වේ යථාර්ථය වටහා ගත නො හැකිය. ඔවුන් ගේ විවේචන, විචාර, නිර්වචන හා පඬිවදන්වලින් ඒ බව මොනවට පැහැදිලි වේ. දේශපාලකයන් ගේ තත්ත්වය කුමක් වුව බෞද්ධ දර්ශනයේ යථාර්ථයන් අනුව ලොව දකින භික්ෂූන් වහන්සේ අපේ මවුබිමෙහි සැබෑ තත්ත්වය දකිති. අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන්ගේ ප්‍රකාශයකින් ඒ බව තවදුරටත් තහවුරු වේ.

ශ්‍රී ලංකාව පුරා සංචාරය කරන තමන් වහන්සේ රටේ තත්ත්වය හොඳින් වටහාගෙන ඇති බවද රට සියයට හැටකින් සංවර්ධනය වී ඇති බව ද ඉතිරි සියයට හතළිහ වෙත තව අවුරුදු තුන හතරකින් ළඟා විය හැකි බවද අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත හිමිපාණෝ පෙන්වා දෙති.

ඒ සඳහා රටේ ජනතාවගේ සහයෝගය අවශ්‍ය බවද උන්වහන්සේ පෙන්වා දෙති. එය දේශපාලන කයිවාරුවක් නොව ශ්‍රී ලංකාව පිළිබඳ සත්‍යයයි. මේ සත්‍යය දැක දේශපාලකයන්ගේ දෑස් විවර විය යුතුයි.

දුටුගැමුණු මහ රජු යුද්ධය දිනවා; තුන් හෙළය එක් සේසත් කොට ඉක්බිති භික්ෂු - සංඝයා වෙතින් මෙබඳු ප්‍රශ්නයක් නැඟී ය..”ස්වාමීනී විශාල සෙනඟක් මැරූ මට කෙසේ නම් අස්වැසිල්ලක් ලැබේ ද? මහරජාණෙනි, ඒ කර්මයෙන් ඔබට ස්වර්ග මාර්ග අන්තරායක් නැත්තේ ය. මරන ලද මිනිසුන් එකෙකු හා අඩක් පමණකි. හෙවත් තිසරණ පන්සිල්හි පිහිටි එකෙකු හා තිසරණ පමණක් ගත් එකෙක් පමණකි. ඔබ බුද්ධ ශාසනයද බබළවන්නෙහි ය.” යනුවෙන් ඉතා බුද්ධිමත් පිළිතුරක් භික්ෂූන් වහන්සේ ලබා දුන් සේක. දුටුගැමුණු මහරජු රටත් - ශාසනයත් බබළවමින් බොහෝ කලක් රාජ්‍යත්වය දැරූහ.

සීතාවක ටිකිරි බණ්ඩාර රාජසිංහ 1580 දී සිය පියා මරා රජකම ලබා ගත්තේ ය. පළමුව ශාසන ළැදිව කටයුතු කළ රාජසිංහ රජු භික්ෂු - සංඝයා අමතා මෙසේ විමැසූ හ. “ස්වාමීනී පියා මැරූ පාපය නැති කර ගත හැකි ද? එසේ නම්; ඒ මාර්ගය කුමක් ද; පියා මැරූ පාපය කිසිසේත් ම නැති කර ගත නො හැකි බව භික්ෂූන්ගේ පිළිතුර විය. එය අවස්ථෝචිත නැණවත් පිළිතුරක් නො වී ය. රජු දණ්ඩෙන් පහර ලත් නාගයකු සේ කිපුණේ්ය. දුටු - දුටු තැන භික්ෂූන් මරා දැමීමටත්, වෙහෙර දාගැබ් – විනාශ කරන්නටත් පටන් ගත්හ.

බුද්ධ ශාසනය, රාජ්‍ය පාලනය හා රටේ සමෘද්ධිය අතර නො බිඳිය හැකි සම්බන්ධයක් පවතී. එය ආරම්භ වන්නේ් බු. ව. 236 සිට ය. දෙවනපෑතිස් රජ සමයේ මිහිඳු මහා රහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර හා භණ්ඩුක උපාසක යන පිරිස මිහින්තලා පර්වතයට පැමිණියහ. ඒ අපගේ රාජ්‍යයේත්- ජාතියේත් ගමන් මඟෙහි සන්ධිස්ථානයයි. භික්ෂූන් බුද්ධිමත් වූ කල රටත් – රාජ්‍යයත් සමෘද්ධිමත් ව පවත්නේ්ය. භික්ෂූන් බුද්ධිමත් නො වූ කල රටත් – රාජ්‍යයත් පිරිහීමට වැටෙන්නේ් ය. එය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවතින පරම සත්‍යයක් සේ ගත හැකි ය.

අප ඉහත පූර්විකාව සටහන් කර තැබුවේ මෙරට ශාසනයේ තවත් වැදගත් අවස්ථාවක් සිහිපත් කරන්නට ය. එනම්; සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ සත් සියවස් සැමරුම් පූජෝත්සවය ඊයේ දිනට යෙදී තිබීම ය. එම සැමරුම් පූජෝත්සවය ශ්‍රී ලංකාවේ ජනාධිපති ත්‍රීසිංහලාධිශ්වර මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහි දී ජනාධිපතිවරයා කියා සිටියේ භික්ෂූන් වහන්සේ රටට නායකත්වය හා සාමය ලබා දෙන බව ය. කිසිදු ආගමකට පහර නොගසන බව ය. අස්ගිරි විහාර පාර්ශ්වයට අයත් ඉඩම්වල හින්දු, කතෝලික හා ඉස්ලාම් දේවස්ථාන පිහිටුවා ඇති බවත්, ඊට කිසිදු විරෝධයක් නැති බවත් මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

නියම බෞද්ධයා අන්තගාමී වන්නේ නැත. ඒකාධිපති වන්නේ නැත. ඔහු අන් මත ඉවසන්නේ ය. සාමයෙන්, කරුණාවෙන්, ඉවසීමෙන් හා සහජීවනයෙන් කල් යවන්නේ ය. බෞද්ධයා ළඟ පළමුව ඇත්තේ ශ්‍රද්ධාව හා කරුණාවයි. දෙවනුව ඇත්තේ ප්‍රඥාවයි. ලෝකයත් එහි යථාර්ථයත් වටහා ගත හැකි දියුණු දර්ශනයක් බුදුන් වහන්සේ විසින් අපට හඳුන්වා දුන් සේක. ඒ මාර්ගය සත්‍යයේ මාර්ගය යි. ඒ මාර්ගය ප්‍රඥාවේ මාර්ගය යි. බටහිර සියලු දර්ශන බෞද්ධ දර්ශනය ඉදිරියේ පරාජයට පත් වේ. එබඳු දර්ශනයක් ශ්‍රී ලංකාව තුළ පවත්වා ගැනීම සඳහා අස්ගිරි – මල්වතු උභය විහාර පාර්ශ්වවලින් ලැබී ඇති දායකත්වය මිල කළ නො හැකි ය.

සොළී ආක්‍රමණ නිසා ද, බටහිර ආක්‍රමණ නිසා ද, ශාසනය හා රාජ්‍යත්වයේ අස්ථාවරභාවය නිසා ද රටට හා ජාතියට අභියෝග එල්ල විය. එය වරක් - දෙවරක් නො ව බොහෝ වාර ගණනක් තිස්සේ සිදු විය. මෙහි දී ශාසනය ආරක්ෂා කර ගත යුතු විය. බෞද්ධයා ගේ මුදුන් මල්කඩ වූ දළදා වහන්සේ ආරක්ෂා කර ගත යුතු විය. මේ අභියෝග ජයගත්තෝ රජවරු හා භික්ෂු සංඝයාය. දළදා හිමියන් තැනින් – තැනට සඟවා ගෙන යමින් ආරක්ෂා කිරීමට පියවර ගත්තෝ භික්ෂූහු ය. දළදා වහන්සේ නොවූ කළ රජෙක් හෝ රාජ්‍යත්වයක් හෝ නැත්තා හ. රජකු නැති කළ ජාතියක් ද රටක් ද නැත්තාහ.

මහනුවර යුගයේ මුල් කාලය වන විට ද ශාසනය බෙහෙවින් පිරිහී තිබිණි. භික්ෂු උපසම්පදාව සඳහා අවශ්‍ය සාධක පවා නොතිබිණි. ඒ අනුව සිල්වත් හාමුදුරුවන් වෙනුවට ගණින්වහන්සේ බිහි වී සිටියහ. ඔව්හු අඹු - දරුවන් රක්ෂා කරමින් කාමභෝගී ජීවිත ගත කළ හ. පන්සල විහාර වලව්ව බවට පත් විය. මිනිස්සු පිණ්ඩපාතය නො දත්හ. දාන-මාන පින්කම් නො දත්හ. ගණින්වහන්සේ යන්ත්‍ර-මන්ත්‍ර හූනියම් හා නැකැත් බැලීම් කළහ. ශාසනයට සිදුවෙමින් පැවැති මේ විනාශය දුටු නුවර යුගයේ සිල්වත් භික්ෂූහු රජු සමඟ එක් ව උපසම්පදා කර්මයට අවශ්‍ය සිල්වත් භික්ෂූන් සියමෙන් වැඩම කර ගත්තා හ. එසේ නොාවන්නට බුදු සසුනක් ඉතිරි වන්නේ නැත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා