සංවර්ධන ගමනට අභියෝග දෙකක්

සංවර්ධන ගමනට අභියෝග දෙකක්

රටක් සැබෑ සංවර්ධනයකට ගමන් කළ යුත්තේ නිෂ්පාදන ආර්ථිකයක් මඟින්. නිදැල්ලේ එවැන්නක් සිදු වන්නේ නැහැ. එහි දී ජාතික වශයෙන් වැදගත් වන අංශ හඳුනාගත යුතු වෙනවා. එ් සඳහා ආර්ථිකයේ මෙහෙය වීමක් අවශ්‍යයි. ශ්‍රී ලංකා මහ බැංකුව හා මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශය මඟින් එම මෙහෙයවීම කරනු ලබනවා. මේ වන විට අපේ රට ලංකා ඉතිහාසයේ කිසිදු යුගයක නොතිබුණු අයුරින් ආර්ථික සංවර්ධන වේගයක් ළඟාකර ගෙන.

දැන් එය 8%ක් පමණ වන බවයි වාර්තා වෙන්නේ. උදාවු සාමය ඊට ප්‍රබල හේතුවක් වී තිබෙනවා. මේ 8%ක ආර්ථික සංවර්ධන වේගයත් සමඟ දුප්පත්කමේ අනුපාතය, උද්ධමනය, අඩු කර ගැනීමටත් එ්ක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 2400ක මට්ටමකම ගෙන එ්මටත් සමත් වෙලා. දුප්පත්කමේ අනුපාතය 8.5%කට අඩු වූ වකවානුවක් මීට පෙර අසන්නට ලැබෙන්නේ නැහැ.

අපට පාලනය කරගත නොහැකි අන්තර්ජාතික බලවේග, ගෝලීය ආර්ථිකය තුළින් කරනු ලබන බලපෑම් නිසා උද්ධමනය අඩු වැඩි වන නමුත් එය ද තනි ඉලක්කමකට ගෙන එන ලද බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

මේ සමඟ ම ප්‍රධාන අභියෝග දෙකකට අප මුහුණ දෙනවා. ඉන් එකක් වන්නේ 8%ක ආර්ථික වර්ධනය නොකඩවා වසර ගණනාවක් ඉදිරියට තබා ගැනීම. දෙවැන්න නිෂ්පාදන ආර්ථිකයක් මඟින් මෙම ආර්ථික වර්ධනයට වැඩි දායකත්වයක් ලබා ගැනීම. සංවර්ධිත රටක ආර්ථික වර්ධනයට වඩා සංවර්ධනය වන්නා වූ රටක ඉහළ ආර්ථික වර්ධනයක් දිගින් දිගටම පවත්වා ගෙන යෑම වැදගත්. එසේ නොමැති වන්නේ නම් ජනතාවගේ ජීවන වියදමේ හා විරැකියාවේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම පහසු වන්නේ නැහැ.

විශේෂයෙන් ම ජීවන වියදමේ ප්‍රශ්නයට තිබෙන එකම විසඳුම ,උ‍ණෙන් පෙළෙන්නා වතුර ඉල්ලන්නා සේ බඩු මිල වැඩි වන වාරයක් වාරයක් පාසා වේතන වැඩි කිරීම නොවෙයි. එය පැළැස්තර විසඳුමක්. සැබෑ විසඳුම ජීවන වියදමේ ප්‍රශ්නය දරාගත හැකි වන පරිදි ජනතාවගේ ආර්ථික ශක්තිය දියුණු කිරීමයි. නැත්නම් මිල දී ගැනීමේ හැකියාව (ක්‍රය ශක්තිය) ඉහළට ගැනීමයි. විවිධ හේතූ නිසා එසේ ඉහළට ගැනීමට නොහැකි අයට කරන්නේ කුමක් ද ? එය රටක සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයක්. සැබෑ සහනාධාර වැඩපිළිවෙත් රටකට අවශ්‍ය වන්නේ එ් සඳහායි. එය තෝරා ගත් දුප්පතුන් හා ආර්ථික ශක්තියක් නොමැති පිරිස් ඉලක්ක කර සිදු විය යුතුයි. මේ නිසා ජීවන වියදමේ ප්‍රශ්නයට මැදි වී සිටින සැබෑ දුප්පතුන්ට හා ආර්ථික අමාරුකම් ඇති අයට සහනාධාර ලබා දීමට ද යොමු විය යුතුයි.

එවන් සහනාධාර වැඩ සටහනක් වුව ද ක්‍රියාත්මක කළ යුත්තේ යම් නිශ්චිත කාල සීමාවක් ඉලක්ක කර ගනිමින්. ඉන් අදහස් කරන්නේ ඔවුන් දුප්පත්කමින් මිදෙන තුරු නැතිනම් ස්වයං රැකියාවක් හෝ කෘෂි වගාවක් මඟින් තම ආර්ථිකය සකස් කර ගන්නා තුරු ක්‍රියාත්මක වන සහනාධාර වැඩ සටහනක් යන්නයි. ඉන් අනතුරුව එම සහනය වෙනත් දුප්පත් පවුලකට ලබා දිය හැකි වෙනවා. එහෙත් ඇතැම් අය නිකම්ම සියල්ල ලබා ගැනීමට පුරුදු වී සිටිනවා .

මේ පුරුද්ද රටේ ඉදිරි සංවර්ධනයට බාධාවක් විය හැකියි. මේ නිසා පවතින දේශපාලනික සංවර්ධන වැඩ සටහන වෙනස් කිරීමේ කාලය එළඹෙමින් පවතිනවා. අනවශ්‍ය ලෙස පොදුවේ බෙදා හරිනු ලබන සහනාධාර සඳහා වැය කරනු ලබන්නේ සංවර්ධනයට යට කිරීමට නියමිත මුදල්. නැතිනම් යටිතල පහසුකම් සඳහා තව තවත් යෙදවීමට ඇති මුදල්.

මෙ වැනි අභියෝග ඉලක්ක කරගත් ක්ෂේත්‍ර තෝරා බේරා ගනිමින් නිෂ්පාදන ආර්ථිකයකට යොමු විය යුතුයි. රටක ආර්ථික සංවර්ධනයට ආයෝජනය කරනු ලබන ප්‍රධාන අංශ දෙකක් දක්නට ලැබෙනවා. ඉන් එක් අංශයක් වන්නේ රාජ්‍ය අංශයයි. අනෙක් අංශය පෞද්ගලික අංශයයි. ආයෝජනයකින් තොරව ආර්ථික සංවර්ධනයක් නොමැති තරම්. වත්මන් ගෝලීය සංදර්භය තුළ මෙම ආයෝජනය මුලික වශයෙන් සිදු වන්නේ පෞද්ගලික අංශය හරහායි.

එහෙත් ශ්‍රී ලංකාව වැනි සියවස් ගණනාවක් අධිරාජ්‍යවාදීන්ගේ සුරා කෑමට ලක් වූ රටවල අති දැවැන්ත ධනපති පන්තියක් නිර්මාණය වී නැහැ. මෙවන් රටවල් බටහිර අධිරාජ්‍යවාදීන් ඔවුන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීම ඉලක්ක කරගනිමින් පවත්වා ගෙන යෑම නිසා කාර්මික හෝ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ මහා පරිමාණයේ ආයෝජනයන් ද දක්නට ලැබෙන්නේ නැහැ. මේ නිසා නිදහස ලැබීමත් සමඟ ප්‍රධාන ආයෝජන සඳහා යොමු වුයේ රාජ්‍ය අංශයයි. නැතිනම් රජයයි. විශේෂයෙන් ම යටිතල පහසුකම් සංවර්ධනය සිදු වූයේ රාජ්‍ය අංශය මඟින්. එම ක්ෂේත්‍රයට පෞද්ගලික අංශයේ ආයෝජන පැමිණියේ නැහැ.

එහෙත් ගෝලීයකරණයත් සමඟ මේ සියල්ල උඩු යටිකුරු වුණා. පෞද්ගලික අංශය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි අංශයක් බවට පත් වුණා. මේ වන විට ශ්‍රී ලංකාව තුළ වැඩි ප්‍රතිශතයක ආයෝජන සිදු වන්නේ පෞද්ගලික අංශය මඟින්. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් රාජ්‍ය අංශයේ ආයෝජන 6.3%ක් වන විට පෞද්ගලික අංශයේ ආයෝජනය 23.7%ක පමණ වෙනවා.

පෞද්ගලික අංශය මෙන් ම රාජ්‍ය අංශය ද මෙම ආයෝජන කරනු ලබන්නේ රටේ ක්‍රියාත්මක වන බැංකු පද්ධතිය හරහායි. නැතිනම් බැංකු පද්ධතියෙන් ණය ගැනීම් මඟින්. පසුගිය සමයේ අපේ රටේ බැංකු පද්ධතිය ණය නිකුත් කර තිබෙන්නේ වැඩි වශයෙන් ම නිෂ්පාදනයට අයත් නොවන ක්ෂේත්‍රයන්ට. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දරගේ දැඩි අවධානය මේ වන විටත් යොමු වෙලා. පසුගිය දා ඔහු මේ රටේ වානිජ බැංකු පද්ධතියට පොදු දෝෂාරෝපණයක් පවා එල්ල කළා. ජනතාවගේ තැන්පත් මුදල්වලින් මුදල් මවන වානිජ බැංකු පාරිභෝජනය වෙනුවෙන් ණය ලබා දීමට වැඩි ලෝලිත්වයක් දක්වමින් රටේ සැබෑ ආර්ථික ක්‍රියාකාරකම්වලට කුඩම්මාගේ සැලකිල්ල දක්වන්නේ නම් එවන් බැංකුවලින් රටකට ඇති ඵලය කුමක් ද ? යන ප්‍රශ්නය පැන නඟිනවා.

මේ වන විට වානිජ බැංකු 33ක් මෙ රට තුළ ක්‍රියාත්මකයි. ඉන් 12ක් විදේශීය බැංකු. සමස්ත බැංකු පද්ධතිය රටපුරා විසුරුවා ඇති ශාඛා ගණන 6122ක් පමණ වෙනවා. මීට අමතරව බලපත්‍රලාභී ෆිනෑන්ස් සමාගම් ගණන 39ක්. එ්වායේ ශාඛා 704ක් පමණ දිවයින පුරා ක්‍රියාත්මක වෙනවා. මෙතරම් බැංකු හා මුල්‍ය ආයතන ක්‍රියාත්මක වන රටක ඔවුන් ලාභ අංශ වර්ධනය කරගන්නේ රට තුළ නිෂ්පාදන ආර්ථිකයකට රුකුල් දෙන අයුරින් නොවීම අවධානයට ලක් කළ යුතු කරුණක්. මෙම මුල්‍ය ආයතන රට තුළ ක්‍රියාත්මක විය යුත්තේ අලූත් කර්මාන්ත හා නිෂ්පාදන ව්‍යාපාර සඳහා ප්‍රාග්ධනය සපයන ආයතන ලෙසයි. එහෙත් සිදු වී තිබෙන්නේ එහි අනෙක් පැත්ත ය.

එනම් ලෙහෙසි පහසු ක්‍රමවලින් ලාභ උපයා ගැනීමයි. එ් සඳහා ඔවුන් හසුරුවන්නේ ජනතාවගේ තැන්පත් මුදල්ය. අපේ රටේ බැංකු පද්ධතිය ව්‍යාපාරිකයන් වෙත නිකුත් කරනු ලබන සමස්ත ණය ප්‍රමාණයෙන් 28%ක් ම අයත් වන්නේ පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා බව වාර්තා වෙනවා. ඈත අතීතයේ සිට ම මෙරට හැඳින්වූයේ කෘෂිකාර්මික දේශයක්් ලෙසයි. එදා කිව්වේ මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසුයි කියලයි . දේශීය කෘෂි ආර්ථිකය නඟා සිටුවීමේ මං පෙත් ගැන අප නිතර දෙවේලේ කතා පවත්වන රටක්.

තවමත් රටට විදේශ විනිමය ගෙන එන තුන්වැනි අංශය ලෙස සැලකෙන්නේ තේ වගාවයි. තේ අපනයනයෙන් පමණක් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 1500ක පමණ අදායමක් උපයනවා. තේ වගාවෙන් ජීවත් වන පිරිස ලක්ෂ 5කට වඩා වැඩියි. එහෙත් වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයට වාර්ෂික ව සපයා ඇති ණය ප්‍රමාණය සමස්ත ණය සැපයුමෙන් 2.9%ක් පමණ ප්‍රතිශතයක්. රටේ ජනගහනයෙන් ලක්ෂ 10කට වඩා වැඩි දෙනා වී ගොවිතැන ඇතුළු කෘෂි ක්ෂේත්‍රයෙන් ජීවත් වුව ද මේ රටේ බැංකු පද්ධතිය එම ක්ෂේත්‍රයේ ආයෝජනයන් සඳහා ණය නිකුත් කර තිබෙන්නේ 1% ක පමණ ප්‍රතිශතයක්.

පශූ සම්පත් සංවර්ධනය හා කිරි නිෂ්පාදනය සඳහා නිකුත් කර ඇත්තේ 0.35%ක ප්‍රතිශතයක්. රටේ කිරි පිටි අවශ්‍යතාවයෙන් 80%ක් සැපයෙන්නේ විදේශයෙන්. දේශීය දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීමේ වැදගත්කම් නිතර දෙවේලේ අසන්නට ලැබුණ ද අපේ රටේ බැංකු පද්ධතියෙන් ඊට පිටුවහලක් ලැබී නැහැ. එසේ ම ධීවර අංශය දියුණු කිරීමේ ඕනෑකම ද අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. රට වටේම මුහුද පැවතිය ද තවමත් සැමන් ගෙන්වනු ලබන්නේ පිටරටින්. එහෙත් ධීවර ක්ෂේත්‍රයේ ආයෝජන වෙනුවෙන් මේ රටේ බැංකු පද්ධතියෙන් ලබා දී තිබෙනේ 0.29%ක ණය ප්‍රතිශතයක්.

සාමාන්‍යයෙන් අපේ රටේ කෘෂි හා කාර්මික අංශ අභිබවා සේවා අංශය ඉස්මතු වීම කලක සිට දක්නට ලැබෙන ප්‍රවණතාවක්. එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 59%ක් පමණ වෙනවා. මෙරට වානිජ බැංකු සේවා අංශය වෙනුවෙන් 15.1%ක ණය සැපයුමක් ලබා දී තිබෙනවා. එසේ ම පාරිභෝගික ණය ලෙස සමස්ත ණය සැපයුමෙන් 28%ක් තරම් මුදලක් වෙන් කිරීම මඟින් මෙරට වානිජ බැංකු පද්ධතිය ගමන් කරන ඉසව්ව පැහැදිලියි.

රටක සැබැ ආර්ථික සංවර්ධනයට නිෂ්පාදන ආර්ථිකයේ ශක්තිය අත්‍යවශය සාධකයක්. එහෙත් ඒ සඳහා නිසි දායකත්වයක් හා රුකුලක් රටේ ක්‍රියාත්මක වන වානිජ බැංකු පද්ධතියෙන් ලැබී නැහැ. ඊට අවශ්‍ය මඟ පෙන්වීම අදාළ බැංකු පද්ධතියට මඟ පෙන්වන මහ ගෙදරින් ලැබී තිබුණා ද යන්න ප්‍රශ්නයක්. නිසි උපදෙස් ලබා දීමෙන් පසුව ද රටේ බැංකු පද්ධතිය ලාභ ඉපයිමේ යෙදෙන්නෝ නිෂ්පාදන ආර්ථිකයට පිටුපෑවේ නම් එ් ගැන විශේෂයෙන් සොයා බැලීම වැදගත්.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා