බස ගැන හෙව්වේ ‘අපුච්චා’ නිසයි

බස ගැන හෙව්වේ ‘අපුච්චා’ නිසයි

මහාචාර්ය ජේ.බී.දිසානායක

සම්පූර්ණ නම - රාජපක්ෂ රාජකරුණා මහ වාසල දුක්ගන්නා දිසානායක මුදියන්සේලාගේ ජයරත්න බණ්ඩා දිසානායක
උපන් දිනය - 1937 අප්‍රේල් 16
පාසල් - පුවක්මොටේ බෞද්ධ පිරිමි පාසල, මහනුවර ධර්මරාජ විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය
විශ්වවිද්‍යාල - ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය, අමෙරිකාවේ කැලිෆෝනියා, විශ්වවිද්‍යාලයේ බර්ක්ලි මණ්ඩපය, ලන්ඩන් විශ්වවිද්‍යාලය
නිරත වූ වෘත්තීන් - විශ්වවිද්‍යාල මහාචාර්ය, තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති
බිරිය - කුසුම් දිසානායක

බස නසන්නවුන් වැජඹෙන යුගයක, බස රකින්නට ඔහු නිරතුරු වෙර වෑයම් කරයි. හෙළ බසෙහි වදන් ජනිත වූ ආකාරය, ව්‍යවහාර කරන අයුරු, නිවැරැදිව බස හසුරවන ආකාරය ඈ නෙක් තතු පිළිබඳ ජන මන අවදි කරවමින්, සිංහල භාෂාවේ උන්නතිය උදෙසා ඔහු නොමදව කැපවී ක්‍රියා කරයි. සරසවි සිසුනට පමණක් නොව, මුළු රටේ ම ජනතාවට මා හැගි බස පිළිබඳ දැනුවත් කරනා ඔහු, මහාචාර්ය ජේ.බී. දිසානායක නම් වෙයි.

සුන්දර පුවක්මොටේ ගම්මානයේ උත්පත්තිය ලබා, සිය ජීවන ගමන් මඟේ නෙක් ඉසව් අතික්‍රමණය කරමින් මෙතෙක් සපැමිණි ගමන් මඟ පිළිබඳ, මහ ඇඳුරු ජේ.බී. දිසානායක සමඟ කළ කතා බහකි මේ.

රඹුක්කන පුවක්මොටේ කියන ගමේ මං ඉපදුනේ. ඒක ලස්සන පිටිසර ගමක්. අපේ ගම පිහිටලා තිබුණෙ කඳු දෙකක් අතර වෙල්යායක් මැද ගොඩැල්ලක් වගේ පිහිටි දූපතක. මේ දූපතේ පිහිටි පන්සල ඇරුණහම ගිහි ගෙවල් තුනක් තිබුණා. අපේ ගෙදර එයින් එකක්. අනෙක් ගෙවල් දෙකේ හිටියෙ දැලිවල අම්මණ්ඩි සහ මැද්දෙගොඩ අම්මණ්ඩි කියන අපේ ඥාතීන්. ගමේ තිබුණු පරණම ගේ විදිහට තිබුණෙ අපේ ගේ. ගමේ අය මේ ගෙදරට ‘පරණ ගෙදර’ කියල කිව්වා. අපි අයිති වුණේ හතර කෝරළයට.”

වෙදමහතකු වූ පියාත්, සහෝදරයන් හතර දෙනාත් සමඟ එක්ව ගෙවුණ පුංචි සංධිය කෙතරම් සුන්දර වනු ඇති ද? ඥාතීන් හා එක්ව, එකිනෙකාට උදවු උපකාර කරමින් ගෙවූ ඒ අතීත මිහිරියාව දැනුදු සිහියට නැගෙන විට ඇතිවන හැඟීම මොන තරම් චමත්කාර වන්නේද? දිසානායක මහතා ඒ අතීතය මෙලෙස ගෙනහැර පෑවේ ය.

අපුච්චා’

තරුණ වියේදී

මගේ සහෝදරයන් සිවු දෙනා විජයරත්න බණ්ඩා, සෙනෙවිරත්න බණ්ඩා, කරුණාරත්න බණ්ඩා සහ අභයරත්න බණ්ඩා ලෙසින් නම් ලැබුවා. මගේ අම්මගෙ මවුපියො හිටියෙත් අපේ ගමේමයි. මං අපේ අම්මගෙ තාත්තට කිව්වේ කිරි අත්තා කියලා. අම්මගෙ අම්මා කිරි අම්මා වුණා. අපේ ගෙදර පරණ ගෙදර වුණා වගේ මේ ගේ ‘අලුත් ගෙදර’ වුණා. මං පුංචි කාලෙදි මේ ගෙවල් දෙකේ ම ජීවත් වුණා. ඒ කාලෙ අපේ අම්මා එයාගෙ පියාට කිව්වේ ‘අපුච්චා’ කියලා. ඒත් මං මගෙ පියා ආමන්ත්‍රණය කළේ ‘අප්පච්චි’ කියලයි. මට තේරෙන අවදිය වෙනකොට මං මේ දෙකේ වෙනස මොකක්ද කියලා සොයා බැලුවා. අපේ ගම අයිති වුණේ හතර කෝරළයට. ඒත් අපේ අප්පච්චි උඩුනුවරට අයිති කෙනෙක්. මේ නිසා පියාට කරන ආමන්ත්‍රණවල වෙනසක් ඇති බව මං වටහා ගත්තා. මේ හැම සියලු දෙයක් ම භාෂාව ගැන හොයන්න මට ඉඟියක් ලබා දුන්නා.”

ජේ.බී.දිසානායක නම් වූ පුංචි කොලු පැටියා කුඩා සංධියේ සිට ම මේ වෙනස්කම් පිළිබඳ නිරතුරුවම සොයා බැලීමට උත්සුක විය. තමන් උපන් නිවෙස, තමා ජීවත් වූ ගම, වට පිටාව සිය භාෂා ඥානය පෘථුල කර ගැනීමට අවැසි ඉඩකඩ සපයනු ලැබිණි. සැම සියලු දෙයක් ගැන ම සොයා බැලීමට උනන්දුවීමේ ප්‍රතිඵලය වූයේ, භාෂාව විවිධ පැතිකඩ ඔස්සේ අධ්‍යයනය කිරීමට අවශ්‍ය මඟ විවර වීම ය.

“මගේ පියා වෙද මහත්මයෙක් වුණාට, වෙදකම් නොකරන වේලාවට හොඳ ගොවියෙක්. වෙදකම් කරනකොට හොඳ වෙද මහත්මයෙක්. ගමේ අය තාත්තට කිව්වෙ ‘පරණ ගෙදර වෙද මහත්මයා’ කියලයි. එයා වෙදකම් කළේ නිකං නෙවෙයි. වෙදකම හා හෙදකම යන දෙකම දැනගෙන. මගේ අප්පච්චි බෙහෙත් ගන්න කවුරු හරි ආවහම, ඒ පුද්ගලයා ආව ගමන් ම වෙදකම් කළේ නෑ. ඒ අය බුලත් අත පිළිගැන්වූවාට පස්සෙ, ලෙඩා සමඟ විනාඩි දෙක තුනක සුහද කතාබහක නිරත වුණා. ආගිය තොරතුරු ගැන කතා කළා. ඒක වෙදකමට සම්බන්ධ නැති කතාබහක්. ඊට පස්සේ තමයි වෙදකම ගැන ඇහුවෙ. මේ අනුව අපේ අප්පච්චි වෙදකම සහ හෙදකම ගැන හොඳ අවබෝධයකින් හිටි බව, පුංචි කාලෙදිම මං වටහාගෙන හිටියා. එහෙම කලහම බෙහෙත් හොඳට අහනවා.

මේ නිසා ඒ කාලෙදි විවිධ නම්වලින් හැඳින්වුණු බෙහෙත් බෝතල් ගෙදර තිබුණා. මං මේ බෙහෙත් බෝතල්වල තිබුණු නම් කියවන්න නිතර ම උනන්දු වුණා.”

පියාගේ තෙල් බෙහෙත් බෝතල් රාක්කය තමන්ගේ පුංචි මනසට පළමුව සංස්කෘත වචන හුරු කරවූයේ ඒ ආකාරයට ය. ‘සිද්ධාර්ථ තෛලය’, ‘නේත්‍රකාන්ති තෛලය’ වැනි වදන් හෙමි හෙමිහිට මිමිනූ ඔහු, ඒවා කියැවීමට පන්නරයක් ලැබුවේ ය. මේ ආකාරයට බසෙහි විවිධ ඉසව් කරා පිය නගමින් ඒවා පිළිබඳ නිරතුරු සොයා බැලීමේ අවසන් ප්‍රතිඵලය වූයේ, බස පිළිබඳ ප්‍රාඥයකු වීමට අඩිතාලම සැකැසීම ය.

“මට උදේ හවස සංස්කෘත වචන කනට ඇහෙන්න ගත්තා. අපි හිටියෙ හතර කෝරළේ නිසා, හතර කෝරළේ වචනත් ඇහුණා. අපේ ගේ වටේට ම කුඹුරු තිබුණා. අප්පච්චි ගොවියෙක් නිසා මාත් පුංචි ගොවිරාල කෙනෙක්. ඒ නිසා කමත් භාෂාවත් මගේ කනට වැටුණා.

අප්පච්චි ගොවි මහත්තයෙක් නිසා, ගමේ අය ගොවිතැන් වැඩවලට, කුඹුරු වැඩට උදවු වෙන්න ආවා. ඒ කාලෙ ගම ස්වයංපෝෂිතයි. හොඳ වර්ගවල වී වගා කළා. අප්පච්චි කුඹුරට යනකොට මාත් එයා එක්කම කුඹුරට යනවා. පොඩි උදැල්ලක් අරන් නියර රහිනවා. මඩේ බැහැලා උදවු කරනවා. පුංචි කාලෙ කුඹුරට ගිහින් මඩේ නටන්න, දඟල දඟල ඉන්න ආසයි. ගොයම් කපපු කාලෙට වෙලේ වතුර පිරෙනවා. එතකොට ඒවායේ බැහැලා නානවා. පිදුරු ගොඩේ බුදියනවා. කාටුව ගෑවුණාම කසනවා කියලා කෑ ගහනවා. ගොම්පස් රාජකාරිය කරනවා. ගොන්කාරයාට ‘ගොන් බත’ දෙනවා. වැඩිහිටියෝ කවි කියනවා. අපි ඒවා අහගෙන ඉන්නවා. ලන්තෑරුම් එළියෙන් හඳපානෙ මේවා කළහම හරි ම විනෝදයි. මේ වගේ වැඩවල නිරත වීම නිසා කමත් භාෂාව පිළිබඳ හොඳ වැටහීමකුත් මං ලබා ගත්තා.

බිරිය සමඟ සුහද කතාබහක

ගොයම් කපන කාලෙට ඒ වැඩට එන අයට හොඳට කන්න බොන්න දෙනවා. ඒ කෑම හොඳට, රසට හැදුවා. උම්බලකට හොද්ද, පොලොස් ඇඹුල ඉතාමත් ම රසවත් . ඇතුල්පතට තවාපු කෙසෙල් කොළයක් දානවා. පත් කොළය කියලා ඒක හැඳින්වූවා. මේ පත් කොළයට බත් බෙදාගෙන, වැඩිහිටියොත් එක්ක එකතුවෙලා අපිත් බත් කෑවා. ඒ විදිහට කුඹුරට යාම නිසා කුඹුරු වැඩ ගැන පවා මට හොඳ අවබෝධයක් ලැබුණා. පුංචි කාලයේදී ලබපු මේ අත්දැකීම් වත්මන් සමාජයට අද ලබාගන්න පුළුවන්කමක් නැහැ. කුඹුරට ට්‍රැක්ටරයක් ගෙනත් දාගෙන කුඹුරු වැඩ කරනවා, ඒ නිසා එදා අප අත්දුටු මිහිරියාව අද ළමයින්ට විඳගන්න ලැබෙන්නෙ නෑ.”

අලුත් ගෙදර

දරුවකුගේ ඉගෙනීමට තමා ජීවත්වන පරිසරය අනුබලයක් ලබාදෙන බව සනාථ කරමින්, පරණ ගෙදර දරුවන්ට ඒ සඳහා අවැසි සියලු මංපෙත් විවර වී තිබුණි. සුන්දර ගැමි පරිසරය, වෙල් එළිය, ගේ වටකොට ඇති ගහකොළ සතා සීපාවා අෑ‍ ෙනක් වටපිටාව මේ දරුවන්ගේ ගමන් මඟ සකසනු ලැබීය. එසේ ම වැඩිහිටියන්ගේ චර්යාවන් ඔවුන්ගේ ජීවිතයට අලුත් අත්දැකීම් එක්කාසු කරනු ලැබිණි. “පන්සලේ ප්‍රධාන දායක පවුල විදිහට කටයුතු කළේ අපේ කිරි අත්තා. කිරි අම්මා උදේට හවසට මල් පූජා කළා. එයා පන්සලක මේ වැඩය කරන විදිහටම ඝන්ඨාර ගහලා මල් පූජා කළා. අලුත් ගෙදර පිහිටි සොල්දරේ උඩ බුදු මැදුර වගේ හදාගෙන, කිරි අම්මා එතැන ඉඳන් ගාථා කියනවා. ඇය මේ කටයුත්ත අකුරටම ඉටු කළා. මං ඒවා බලාගෙන හිටියා. ඒ කාලේ ගමේ සොල්දරයක් තිබුණ එක ම ගෙදර වුණේ අපේ කිරි අත්තගෙ ගෙදරයි. ඒක නිසයි ඒක අලුත් ගෙදර වුණේ. බිම සාළුවක් එලලා, ඒක උඩ අත් තියාගෙන කිරි අම්මා ගාථා කියනකොට, මාත් ඒ එක්කම ගාථා කියනවා. සැම අවුරුද්දකම අලුත් ගෙදර දානයක් දුන්නා. අපේ කිරි අත්තා බණ අහන්න හරි ම ආසයි. හාමුදුරුවො බණ කියනකොට ‘එහෙයි හාමුදුරුවනේ’ කියන්න ඉන්නෙ කිරි අත්තා. එයා හොඳට දැනුම් තේරුම් තිබුණ කෙනෙක්. මේ නිසා මේ කටයුතු ගැන හොඳ අවබෝධයක් කිරි අත්තට තිබුණා.

රෑට අපේ කිරි අත්තලගෙ ගෙදර ගියා. එහෙදි පැදුරක් බිම එලලා, කිරි අත්තා මගේ අතට පන්සිය පනස් ජාතක පොත දෙනවා. එයා මොකක් හරි ජාතක කතාවක් පෙරලලා දීලා, මට ඒක කියවන්න කියනවා. ජාතක කතාව අහන්න ලැබීමෙන් කිරි අත්තා බොහෝ සේ සතුටට පත්වුණා. මං ඒ මගින් සාහිත්‍යයේ එන භාෂාව පිළිබඳ අවබෝධයක් ලබා ගත්තා.”

ගමේ ගොඩේ වෙල් එළියේ, ළඳු බැදිවල ගත කරමින් ගෙවූ කොලු අවධියේදීම, භාෂා ප්‍රාඥයකු වීමට අවැසි අඩිතාලම වැටීම කෙතරම් අපූර්වද? ඒ අපූර්ව ජීවන අත්දැකීම විඳගන්නට ඔහුගේ නිවෙස, නෑදෑ පිරිවර දුන් මඟ පෙන්වීම මොන තරම් නම් අගනේද?

“අපේ ගෙදර තිබුණා සරුසාර බුලත් වගාවක්. බුලත් කොළ කඩලා; ගෙදර මැද මිදුලේ ගොඩ ගහලා, රැය පහන් වන තුරු ම මේ බුලත් කොළ ගොනු කළා. ඒ, පහුවදා උදේට පොළට ගෙනයන්න. මේ වැඩේ සඳහා ගමේ අහලපහළ අය උදවු කළා.

බුලත් ගොනු කරනවා කියන්නෙ බොහොම සීරුවට කෙරෙන, කාලය වැයවන වැඩක්. රැයක් පුරා මේ කටයුත්ත කරනකොට නිදිමත ගතිය එන්න පුළුවන්. ඒ නිසා එයින් වැළකෙන්න අපේ අම්මා හොඳ උපක්‍රමයක් යෙදුවා. අපි බුලත් තෝරන අතරේ ඩබ්ලිව්.ඒ.සිල්වාගේ හරි පියදාස සිරිසේනගේ හරි නවකතා පොතක් කියවන්න අම්මා අයියට පවරනවා.

අයියා පොතක් අරගෙන, ඒක ක්‍රමානුකූලව කියවනවා. පොත කියවන එක ටිකකට නවත්වන්න කියලා, ඒකෙ තියෙන සමහර දේවල් ගැන අම්මා අටුවා කියවනවා. එතකොට බුලත් ගොනු කරන අනෙක් අයත් ඒ කතාවට එකතු වෙනවා. ඒ නිසා අපි නොදන්නා අලුත් අලුත් දේවල් ඒ අයගේ කතාබස්වලින් අපට ලැබෙනවා. මං මේ වැඩේට බොහෝ සෙයින් ම ඇළුම් කළා.

අපේ මාමා ඒ කාලෙ ආදායම් පාලක නිලධාරීවරයෙක් විදිහට කටයුතු කළා. ගමේ අය එයාට කිව්වේ ‘දිසා හාමුදුරුවෝ’, ‘රටේ මහත්තයා’ කියලයි. මාමා විවාහවෙලා හිටිය නැන්දා ඉංග්‍රීසි පාඨමාලා පරීක්ෂකවරියක්. අපි එයාට කිව්වේ ‘නැන්දම්මා’ කියලා. මං පාසල් නිවාඩු කාලෙට මාමලගේ ගෙදර යනවා. එතකොට නැන්දා මට ඉංග්‍රීසි භාෂාව ඉගැන්නුවා. මේ විදිහට පුංචි කාලේදිම මගේ ජීවිතයට සිංහල, ඉංග්‍රීසි, සංස්කෘත වගේ විවිධ භාෂාවල පදනම වැටුණා.

පුංචි සන්ධියේදී පුවක්මොටේ පිරිමි පාසලෙන් වසරක් පමණ අධ්‍යාපන කටයුතුවල නිරත වු ඔහු, ඉන් අනතුරුව මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුල් වී, හතරවැනි පන්තිය දක්වා එහිදී අධ්‍යාපනය ලැබීය. සිය වැඩිමල් සහෝදරයා නීතිය ඉගෙන ගැනීම සඳහා කොළඹට පැමිණියේ මේ අවධියේ දී ය. ඔහු සිය සහෝදරයා සමඟ 1947 දී කොළඹට පැමිණේ. ඉන් අනතුරුව කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් සිසුවකු ලෙස අධ්‍යාපන කටයුතුවල නිරත විය. කොළඹ ආනන්දය ද ඔහුගේ දිවියට ආනන්දය එක් කළ අනගි ස්ථානයක් වූ බව නම් නොරහසකි. 1947 සිට 1957 දක්වා ඔහු එම පාසලේ සිසුවකු ලෙස කැපී පෙනෙන්නට විය. සෑම වසරකම ආනන්දයේ සිංහල විෂය පිළිබඳ ත්‍යාගය දිනාගත් ඔහු, 1957 දී ‘රාවණා’ නමින් වේදිකා නාට්‍යයක් ද නිර්මාණය කරනු ලැබිණි. එය ‘මනමේ’ නාට්‍යයේ ආභාසය ලබා නිර්මාණය කරනු ලැබූවකි.

ලංකා විශ්වවිද්‍යාලය

ද්විතියික අධ්‍යාපනයෙන් පසු තෘතියික අධ්‍යාපනය ලැබීම සඳහා ඔහු පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වේ. ඔහු පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් ලබා ගත්තේය. 1961 දී එම විශ්වවිද්‍යාලයේම කථිකාචාර්යවරයකු ලෙස එක්වීමට ඔහුට අවස්ථාව ලැබිණි. ඉන් අනතුරුව 1963 දී ෆුල් බ්‍රයිට් ශිෂ්‍යත්වයක් ලැබ, කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අංශයට බැඳී එම්. ඒ. උපාධිය ලබා ගත්තේය. පසුව ලන්ඩන් විශ්වවිද්‍යාලයට ගිය ඔහු, මයිකල් හැලිඩේ මහාචාර්යවරයා යටතේ බ්‍රිතාන්‍ය වාග් විද්‍යාව හැදෑරීය.

කොළඹ විශ්වවිද්‍යාලයේ වසර 41 ක් පුරා සිංහල භාෂාව ඉගැන්වීමේ නිරත වු මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා, මේ වනවිට සිංහල භාෂාවෙන්, මෙන් ම ඉංග්‍රීසි බසින් පොත්පත් රාශියක් රචනා කර ඇත. ඔහු ලියු ප්‍රථම කෘතිය වූයේ 1969 දී රචිත ‘භාෂාවක රටා සමුදාය’ කෘතියයි. විවිධ විෂය යටතේ ඒ වසරේ පළ වූ හොඳ ම පොතක් ලෙස මේ කෘතිය රාජ්‍ය සාහිත්‍ය සම්මානයට පාත්‍ර විය. ඔහු 2002 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් විශ්‍රාම ගත්තේය. එහිදී එම විශ්වවිද්‍යාලයෙන් ඔහුට සාහිත්‍ය සූර උපාධිය පිරිනමනු ලැබීය. එය කිසියම් විශ්වවිද්‍යාලයක කීර්තිනාමය උදෙසා කරන ලද සේවාව සඳහා පිරිනැමෙන්නකි. මීට අමතරව සේවාර්ජිත මහාචාර්ය ධූරයෙන් ද ඔහු පිදුම් ලැබී ය.

2007 වසරේදී තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති ලෙස සේවයට ගිය මෙතුමා, නැවත 2011 දී සිය මවු රටට පැමිණේ. මේ වනවිට නැවත වතාවක් කොළඹ සරසවියේ පශ්චාත් උපාධිය හදාරන දූ දරුවන්ගේ බස පිළිබඳ දැනුම් පිපාසාව සංසිදුවමින්, රටත්, ජනතාවත් වෙනුවෙන් ඇප කැප වී කටයුතු කරමින් සිටී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා