දෙමළ ඩයස්පෝරාව අද අපට වඩා බ්‍රිතාන්‍යයට කරදරයක් වෙලා

දෙමළ ඩයස්පෝරාව අද අපට වඩා බ්‍රිතාන්‍යයට කරදරයක් වෙලා

ජනපති ලේකම් කියයි

එල් ටීටීඊ ඩයස්පෝරාවේ ඕනෑම අභියෝගයකට, තර්ජනයකට රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමාත්, අපත් මුහුණ දීමට සූදානම්.

අද ශ්‍රී ලංකාවටත්, ජනාධිපතිතුමාටත් වඩා ඩයස්පෝරාව ප්‍රශ්නයක්, කරදරයක් අභියෝගයක් වී ඇත්තේ බ්‍රිතාන්‍යයට සහ ලන්ඩන් වැසියන්ට බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා කීය.

ලලිත් වීරතුංග මහතා මේ බැව් පැවැසුවේ ඊයේ (13 වැනිදා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති පුවත්පත් කර්තෘවරුන්ගේ මාධ්‍ය සාකච්ඡාවකදීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බ්‍රිතාන්‍ය සංචාරය පිළිබඳ පළවන විවිධ පුවත් කටකතා, මතවල සැබෑ තත්ත්වය සාකච්ඡා කිරීම මේ මාධ්‍ය හමුවේ මූලික අරමුණ විය.

එහිදී තවදුරටත් කතා කළ ජනාධිපති ලේකම්වරයා ජනාධිපතිවරයා දෙවන එළිසබෙත් මහ රැජිනගේ වජ්‍ර ජයන්තියට සහභාගි වූයේ එතුමියගේ ආරාධනයෙන්. ඒ ඔස්සේ 2013 වර්ෂයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයන්ගේ සමුළුවට සහභාගි වන නායකයන්ව සත්කාර රටේ නායකයා ලෙස හමුවී ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට ලැබුණා. එසේම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මණ්ඩලයද ව්‍යාපාරික ප්‍රජාවද ජනාධිපතිතුමා හමුවුණා.

කොටි ඩයස් පෝරාවේ තර්ජනය අද අපේ රටට, ජනාධිපතිතුමාට වුවත් හෙට තර්ජනය බ්‍රිතාන්‍යයට, බ්‍රිතාන්‍ය ආණ්ඩුවට විය හැකියි. බ්‍රිතාන්‍ය රජය ජනාධිපතිතුමාට ඉහළ ආරක්ෂාවක් ලබා දී තිබුණා. වෙඩි නොවදින රථවල ගිය නායකයන් කීප දෙනා අතර ජනාධිපතිතුමා ද එක් අයෙක්.

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ ජනාධිපතිතුමා හමුවේ දී එල්. ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ විරෝධතාව පිළිබඳ බ්‍රිතාන්‍ය අගමැතිවරයා ජනාධිපතිතුමාට සිය කනගාටුව පළ කළ අවස්ථාවේ ජනාධිපතිතුමා කියා සිටියේ “වසර 42 ක මගේ දේශපාලන ජීවිතය තුළ මෙවැනි සිදුවීම්වලට මම ඕනෑ තරම් මුහුණ දී ඇති නිසා මෙවැනි දේ අමුත්තක් නොවන බව ද මේවා මට හොඳට හුරුපුරුදු දේවල්” කියාය.

ඩයස්පෝරාවේ විරෝධතාවලට බියෙන් අප පසුපසට යා යුතුද කියා ප්‍රශ්න කළ ලේකම්වරයා ඔවුන්ගේ විරෝධතා නිසා එංගලන්ත ගමන අප නොගියා නම් අපට ජනමාධ්‍යවලින් සහ විවිධ කතා පතුරවන අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබේවි කියා ඔබ හිතනවාද යනුවෙන් මාධ්‍යයෙන් ප්‍රශ්න නැඟීය.

මේ මාධ්‍ය සාකච්ඡාව අමතා පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, විදේශ ලේකම් කරුණාරත්න අමුණුගම, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් සේනිස් මහත්වරුද කතා කළහ. ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය උපදේශක බන්දුල ජයසේකර මහතාද මෙයට සහභාගී විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා