රැකියා සඳහා විදේශ ගතවීමට ප්‍රථම ඔවුන්ගේ නමින් සමෘද්ධි බැංකුවේ ගිණුමක්

රැකියා සඳහා විදේශ ගතවීමට ප්‍රථම ඔවුන්ගේ නමින් සමෘද්ධි බැංකුවේ ගිණුමක්

(2012-06-14  11:00)  ගෘහ සේවය සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකික කාන්තාවන් විදේශ ගතවීමට ප්‍රථම අදාළ රැකියා ඒජන්සිය මඟින් ලබාදෙන රුපියල් 75,000 ක මූලික දීමනාව ඔවුන්ගේ නමින් සමෘද්ධි බැංකුවේ ගිණුමක තැන්පත් කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කරයි.

එම මූලික තැන්පතුවට අමතරව කාන්තාව රැකියාව සඳහා විදේශ රටකට ගිය පසු හිමිවන මාසික වැටුපෙන් රුපියල් 10,000 ක මුදලක් හෝ ඇයව යළි ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක් තැන්පත් කළයුතු බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර මහතා පවසයි.

ගෘහ සේවය සඳහා විදේශ රටකට යන කාන්තාවගේ බලාපොරොත්තු ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ඇයගේ සේවා කාලය නිමා කොට යළි ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාව වනවිට කිසියම් මුදලක් ඉතිරිකර දීම මේ වැඩපිළිවෙල මඟින් හැකිවන බවද ඒ මහතා පෙන්වා දෙයි.

නිවෙසක් ඉදිකර ගැනීම, දූ දරුවන්ට ‍හොඳ අධ්‍යාපනයක් ලබාදීම, ණය මුදල් පියවා දැමීම ඇතුළු විවිධ අපේකාෂාවන් මත විදේශ රටවලට ශ්‍රී ලාංකික කාන්තාවන් ගියද නිසි කළමනාකරණයක් නොමැති වීම හේතුවෙන් අවසානයේ කිසියම් මුදලක් ඉතිරිකර ගැනීමට නොහැකිවන බවද ස්වාමි පුරුෂයා නමින් මුදල් යොමු කළද ඇතැම් විට ඒවා නාස්ති කරන බවද හෙතෙම සඳහන් කරයි.

විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන්ට නිවෙසක් ඉදිකර ගැනීම වෙනුවෙන් සහන පොළී පදනම යටතේ ණය මුදල් ලබාදෙන බව සඳහන් කළ අමල් සේනාලංකාධිකාර මහතා ඒ මඟින් ඔවුනට විශාල පහසුවක් සැළසෙන බවද කියාසිටී.

මේ අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා සඳහන් කරන්නේ මෙවැනි ගැටළු නිරාකරණය කිරීමේ අරමුණ ඇතිව රට විරුවෝ නමින් සංවිධානයක් පිහිටුවීමට තීරණය කර තිබෙන බවත් මේ වනවිට කෑගල්ල හා බදුල්ල දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් එම සංවිධාන පිහිටුවා අවසන් බවත්ය.

එම සංවිධානය ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවීමෙන් අනතුරුව ජාතික මට්ටමින් පිහිටුවීමට සැළසුම්කර තිබෙන අතර මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වන බවද ඒ සඳහා විදේශ රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ද ඒ ඒ රටවලින් මේ සඳහා බඳවා ගන්නා බවද සභාපතිවරයා කියා සිටියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා