මහත්මා ගාන්ධි ලබන මාසයේදී බ්‍රිතාන්‍යයේදී වෙන්දේසි වෙයි

මහත්මා ගාන්ධි ලබන මාසයේදී බ්‍රිතාන්‍යයේදී වෙන්දේසි වෙයි

(2012-06-14  11:30)  ඉන්දීය නිදහසේ ප්‍රතිරූපයක් වන මහත්මා ගාන්ධි ට අදාල ලිපි, ලියකියවිලි හා ඡායාරූප දහස්ගණනක එකතුවක් ලබන මාසයේදී බ්‍රිතාන්‍යයේදී වෙන්දේසි කරනු ලබන බව සෝද්බයිස් වෙන්දේසි ආයතනය පෙරේදා ප්‍රකාශ කළේය.

මේ ලේඛන තොගය අයත්ව තිබී ඇත්තේ ගාන්ධිගේ සමීප මිතුරකු වූ ජර්මන් යුදෙව්ජාතික කායවර්ධක හා වාස්තුවිද්‍යාඥ හර්මන් කාලෙන්බාච් සතුවය.1904 දී ‍ඔවුන් ජොහැන්ස්බර්ග් හිදී හමුවූ තැන් පටන් ගාන්ධි ඔහුගේ නිත්‍ය මිතුරකු බවට පත්ව තිබිණ.

වෙන්දේසි අයිතමයන් අතර මේ දෙදෙනා දැක්වෙන ඡායාරූප 287 ක් හා මීට කලින් ප්‍රකාශයට පත් නොවූ මේ දෙදෙනා අතර හුවමාරුවූ ලිපි කීපයක් පවත්නා බව සඳහන්ය.

වෙන්දේසියට ඇතුළත් ලියකියවිලි බහුතරයක් 1905-1945 අතර දශක පහක කාලයක් තිස්සේ ගාන්ධිගේ පවුලේ අය හා මිතුරන් මෙන්ම ඔහුගේ අනුගාමිකයන් වෙතින් ලත් ඒවාය.ඒ සමගම ගාන්ධි විසින් කාලෙන්බාච් ට ලියන ලද ලිපි 13 ක්ද පවතී.

වෙන්දේසියෙන් ඩොලර් 780,000 ක් උපයාගත හැකිවෙතැයි අපෙක්ෂිතය. වෙන්දේසි ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ගැබ්රියල් හීටන් පවසන්නේ මේ සුවිශේෂී ලේඛන ගාන්ධිගේ සමීපතමයකු ලෙස කාලෙන්බාච් ඔහුගේ ජීවිතයට කෙතරම් වැදගත් වීද යන්න පිළිබිඹු කරන අතර දෙදෙනා අතර පැවති මිත්‍රත්වය මැනවින් අනාවරණය කරන බවත් ඒවා ගාන්ධි චරිතය පිළිබිඹු කරන මූලාශ්‍රයන් ලෙස වැදගත් වන බවත්ය.

කාලෙන්බාච් විසින් ගාන්ධිට ලියන ලද ලිපි කීපයකින් නාසිවාදය නැගීම සම්බන්ධයෙන් ඔහු දක්වන සැලකිල්ල මෙන්ම යුරෝපයේ සිටිනසෙසු යුදෙව් සගයන් ගේ තත්ත්වය ද මැනවින් පිළිබිඹු වන බවද ගැබ්රියල් සඳහන් කර ඇත.

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත දක්වා ඇති පරිදි කාලෙන්බාච් ගේ ලේලියක වූ ඉසාසාරිඩ් ගේ නිවසේ තිබී මේ ලිපි සොයාගෙන ඇත්තේ ඉතිහාසඥයකුවන රාමචන්ද්‍ර ගුහා විසිනි. තවද මේ ලිපි කාලෙන්බාච්ගේ ඊශ්‍රායල් ඥාතීන්වෙතින් මිලදීගැන්මට ඉන්දීය රජය ගත් උත්සාහය මිලගණන් මත වැලකීගිය බවද එහි දැක්වේ. කෙසේවෙතත් ජුලි 10 දා අදාල අයිතමයන් වෙන්දේසි කරනු ඇති බව පැවසී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා