2016 වනවිට ද.දේ.නි. ඩොලර් බිලියන 98යි

2016 වනවිට ද.දේ.නි. ඩොලර් බිලියන 98යි

(2012-06-14  11:40) එළඹෙන 2016 වනවිට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 98.0 ක (රුපියල් කෝටි 1,274,000) ඉලක්කයක් කරා යාම අපේක්ෂාව බව රජය පවසයි. පසුගිය 2011 වසර අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 59.2 ක්ව (රුපියල් කෝටි 651,200) පැවැති බවද මේ වර්ෂය අවසන් වනවිට එම අගය තවදුරටත් ඉහළ යනු ඇති බවද මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ආර්ථික වශයෙන් සංවර්ධනය කරා ගමන් කරන ශ්‍රී ලංකාවේ වත්මන් ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 2,836 ක් බව පෙන්වා දෙන එම අමාත්‍යාංශය ලබන 2016 වනවිට එම තත්ත්වය ඇමෙරිකානු ඩොලර් 4,470 දක්වා ඉහළ නැංවීම අරමුණ බවද සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකාවෙන් සිදු කෙරෙන අපනයන ඇමෙරිකානු ඩොලර් බිලියන 18 දක්වාද ජාත්‍යන්තර වෙළෙඳ පිරිවැටුම ඇමෙරිකානු ඩොලර් බිලියන 44.1 දක්වාද ඉහළ නැංවීමට රජය සැළසුම්කර ඇති අතර 2016 වනවිට ජාත්‍යන්තර සේවා ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.6 දක්වා ඉහළ නැංවීම අරමුණ වී තිබෙන බවද මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය නිකුත්කළ නවතම වාර්තාවක සඳහන් වෙයි.

මේ අතර එම වාර්තාව පෙන්වා දෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩපිළිවෙලට අනුව මෙවැනි ඉලක්කයක් කරා ගමන් කිරීම අපහසු නොවන බවත් ඒ සඳහා සියලු දෙනාගේම දායකත්වය අවශ්‍ය බවත්ය.

සෑම අංශයකින්ම ඉදිරියට ගමන් කිරීම සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන බව පෙන්වා දෙන මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය උද්ධමනය සියයට 4.0 දක්වා පහතට ගෙන ඒම, සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.75 ක ආදායමක් ඉපයීම, රැකියා වියුක්තිය සියයට 3.2 දක්වාද දරිද්‍රතාවය සියයට 4.2 දක්වාද පහත හෙළීම මෙහිදී අපේක්ෂාව වී තිබෙන බවද කියාසිටී.

ඊට අමතරව 2016 වනවිට සාක්ෂරතාව සියයට 99 දක්වාද පරිගණක සාක්ෂරතාව සියයට 75 දක්වාද ඉහළ නැංවීම රජයේ අරමුණ වී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා