සැරින් සැරේ වැස්ස කඩා වැටී තුන්වැනි තරගය නවතා දමයි

සැරින් සැරේ වැස්ස කඩා වැටී තුන්වැනි තරගය නවතා දමයි

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති 3වැනි එක්දින තරගය වරින් වර ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.

වර්ෂාව සම්පූර්ණයෙන්ම නැවැතී රාත්‍රී 8.30ට පිටිය පරික්ෂා කළ විනිසුරු පෝල් රයිෆල් හා අශෝක ද සිල්වා යන මහත්වරු නායකයන් දෙදෙනාගෙන් කරුණු විමසා තරගය නවතා දැමීමේ අවසන් තීරණය ප්‍රකාශ කළහ.

කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන ක්‍රිකට් නායක මිෂිබා උල් හක් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර,තරගය අතහැර දමද්දී කඩුලු 2කට ලකුණු 12ක් ලබා තරමක අපහසුතාවකට පත්ව සිටියේය.

අසාඩ් ෂාහීෆ් නොදැවී ලකුණු 7ක් හා මිෂිබා උල් හක් ලකුණු නොලබා කඩුල්ලේ රැදී සිටියහ.මාලිංග හා කුලසේකර කඩුල්ල බැගින් බිදහෙලා පාතිස්තාන ආරම්භක පිතිකරුවන් අසරණ කර තිබුණි.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පාකිස්තාන පිල වසර 8ක් තුල සහභාගීවූ තරග 9කදීම පරාජයවී නොමැති අතර මේ තරගය විසදුමකින් තොරවීම හේතුවෙන් තවදුරටත් එම වාර්තාව නොබිදී පවත්වාගෙන යෑමේ වාසනාව ඔවුන්ට හිමි විය.

ලසිත් මාලිංග පළමු පන්දුව යවද්දීම වර්ෂාව පතිතවී තරගය නතර කෙරුණු අතර නැවැත පස්වරු 3.45ට තරගය ආරම්භ කෙරුණි.

එතැන් සිට ඕවර් 6.2ක් වෙද්දී සිහින් පොද වර්ෂාවක් ආරම්භවී එය ක්‍රමයෙන් වර්ධනය විය.

වර්ෂාව නැවැත්වූ අවස්ථාවේ පිටියේ ආවරණ ඉවත් කළ අතර විනාඩි කිහිපයකදී නැවැත වර්ෂාව පතිත විය.

දිගින් දිගටම සිහින් පොද වැසි වැටීම තරගය අතහැර දැමීමට හේතු විය.

ශ්‍රී ලංකා එක්දින වරම් හිමිකර ගත් 151වැනි ක්‍රීඩකයාවූ සජීව වීරකෝන්ට මේ තරගයේදී එකම පන්දුවක් හෝ යැවීමට නොහැකිවීම අවාසනාවන්ත සිදුවීමකි.

තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය දැනට 1-1ක් ලෙස නිමාවී ඇති අතර,සිවුවැනි දිවා රාත්‍රී එක්දින තරගය ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම ලබන සෙනසුරාදා (16) පැවැත්වීමට නියමිතය.

පාකිස්තානය කඩුලු 2කට ලකුණු 12(6.2) මොහොමඩ් හෆීස් 0,අසාර් අලී 7, අසාඩ් ෂාහීෆ් නොදැවී ලකුණු 7, මිෂිබා උල් හක් නොදැවී 0(මාලිංග 9/1,කුලසේකර 3/1,මැතිව්ස් 0.2/0)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා