බැංකු කොල්ලකරු පොලිස් වෙඩි පහරින් මරුට

බැංකු කොල්ලකරු පොලිස් වෙඩි පහරින් මරුට

බත්තරමුල්ල ලංකා බැංකුව කොල්ලකෑමට ඊයේ (13) අළුයම පැමිණ ඇති කොල්ලකරුවන් තිදෙනෙකුගෙන් එක් අයෙක් පොලිස් වෙඩිපහරින් මියගොස් තිබේ. මියගිය සැකකරු අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලකිරීමට තැත්කිරීමේදී පොලිසිය වෙඩි තබා ඇත.

කොල්ලයට පැමිණි එක් අයෙක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර අනෙකා පළාගිය බව පොලිසිය පවසයි.

කොල්ලකරුවන් ලංකා බැංකුවට ත්‍රීරෝද රථයකින් පැමිණ ඒඅසල එය නවතා දෙදෙනෙක් ඉන් බැස ඇතුළු වෙද්දී මාර්ගයේ ගමන්ගත් තවත් ත්‍රීරෝද රථයක ගමන්ගත් කණ්ඩායමක් බැංකුවට ඇතුළු වූ දෙදෙනා ගැන සැකසිතී එහි පැමිණ තිබේ. මේ අය දැක කොල්ලකල්ලිය පැමිණි ත්‍රීරෝද රථය පළාගොස් ඇති බව පොලිසිය කීය.

ඒ අනුව මහමඟ ගමන්ගත් රථයේ සිටි කණ්ඩායම බැංකුවට ඇතුළුවී සිටි සැකකරුවන් දෙදෙනා අල්ලාගෙන තිබේ. ඉන් එක් අයෙක් ඔවුන් ගෙන් මිදී දුවන්නට උත්සහ කරද්දී පොලිස් ජංගම රථය එහි පැමිණ තිබේ. එය දුටු පැනයමින් සිටි කොල්ලකරු සඟවාගෙන සිටි අත්බෝම්බයක් ගෙන පොලිස් නිලධාරීන්ට දමා ගසන්නට උත්සහ කර ඇත. ඒ අනුව පොලිසිය සැකකරුට වෙඩිතැබූ බව පොලිසිය සඳහන් කළේය. වෙඩිවැදීමෙන් බරපතළ තුවාල ලැබූ සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමෙන් පසු මියගොස් ඇත.

සිද්ධිය වූ ස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයාගෙන තිබේ. මරණය පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිද්ධිය වූ ස්ථාන යේදී පැවැත්විණි. මෘතශරීරය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය ජාතික රෝහලේදී පැවැත්වීමට නියමිතය.

කොල්ලය සඳහා පැමිණ පළා ගිය බව කියන ත්‍රීරෝද රථය හා සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියේ විශේෂ කණ්ඩායමක් යොදවා තිබේ. සිද්ධය පිළිබඳ තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා