දයා ටී. පැස්කුවල්, ආයු බෝ වේවා!
දයා ටී. පැස්කුවල්,
ආයු
බෝ වේවා!
බුලත් විටක් හපා දත් හාරමින් පාර්ලිමේන්තු විපක්ෂ මන්ත්‍රී දොරටුවෙන් ඇතුළු වූ
කෙසඟ සිරුරක් ඇති ජාතික ඇඳුම ඇඳගත් පුද්ගලයකු පාර්ලිමේන්තු සභා ගැබ දෙසට ඇති
තරප්පු පෙළ ළඟට ආවේය. කාකි කොට කලිසම සහ කෝට් එක ඇඳගෙන තොප්පියක් පැළඳ සිටි
පොලිස්කාරයා කොහේද යන්නේ යැයි ගොරෝසු හඩින් ප්‍රශ්න කරද්දී මාධ්‍යවේදීන් වූ
අපි දෙදෙනෙක් ද බලා සිටියෙමු.
මා රැස්වීම බලන්න යනවා යැයි කෙසඟ පුද්ගලයා බයාදු
ලෙස කීවේය. රැස්වීමට යන්න හැමෝටම බැහැයි පොලිස්කාරයා ගොරහැඩි ලෙස කියා
සිටියේය. ජාතික බැනියමේ සාක්කුවට අත දමා හැඳුනුම්පතක් අතට ගත් ඔහු මම මතුගම
මන්ත්‍රී දයා ටී. පැස්කුවල් යැයි කීය. අන්ත අසරණ තත්ත්වයට මුහුණ දුන්
පොලිස්කාරයා සැලියුට් එකක් පිරිනමා යන්න සර් යැයි මතුගම මන්ත්‍රීතුමාට
පඩිපෙළ ඉඩ දුන්නේය. මතුගම හිටපු මන්ත්‍රී දයා ටී. පැස්කුවල් මහතා ගැන පුංචි
සටහනක් තබන්නට ඉහත සිද්ධිය සිහිපත් කළේ ඔහු ඒ තරමට ම ගැමියකු සහ චාම්
මිනිසකු වූ නිසාය.
අද ශ්‍රී ලංකාවේ සිටින වයස්ගතම දේශපාලනඥයා ඔහුය. ඒ නිසා 101 වෙනි උපන් දිනය
සමරන පැස්කුවල් මහතා වෙනුවෙන් මේ සටහන තබන්නෙමු. ආචාර්ය ඊ. ඩබ්ලිව්.
අධිකාරම්, විදුහල්පති ධුරය දැරූ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ අධ්‍යාපනය ලබා
එහිම ගුරුවරයකු ලෙස සේවය කළ දයා ටී. පැස්කුවෙල් ආනන්ද ශාස්ත්‍රාලයේ ශාඛාවක්
මතගුම ද ආරම්භ කළේය. ඒ සඳහා ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා වන සී.
ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගරගේ ආශිර්වාදය ලැබුණි.
මතුගම නගරය නිර්මාණය කළ දයා ටී. පැස්කුවල් මතුගම සුළු නගර සභාවේ සභාපති ලෙස
නිතරගයෙන් පත්විය. 1956 මැතිවරණයේ දී මතුගම ආසනයෙන් වැඩිම ඡන්දයෙන්
පාර්ලිමේන්තුවට තේරුණු ඔහු 1977 දී පරාජයට පත්විය. වසර 22ක් මන්ත්‍රීවරයකු
හැටියට මතුගම සිටි ඔහු බස් රියෙන් කොළඹට ආවේය. බස් රියෙන් ම කළුතර ගියේය.
අන්තිම බසය වැරදුනහොත් සැතපුම් 12ක් දුර මතුගමට පයින්ම ගියේය. බස් රියට ගොඩ
වූ මේ අපූරු මිනිසා කොන්දොස්තරලාගේ උදහසට ලක් වූ වාර අනන්තය. ඒ බුලත් හපය සහ
ජාතික ඇඳුම නිසාය.
1977 මතුගම ආසනයෙන් පරාජයට පත් වූ පසු තමන් සතුව ඇති ගිනි අවිය මතුගම
පොලිසියට භාර දී රිසිට් පත එවන ලෙස ආරක්ෂක ලේකම්වරයා පැස්කුවල් මහතාට දැනුම්
දුන්නේය. මා සතුව ඇති එකම ගිනි අවිය, කුඩය සහ බෝල්පොයින්ට් පෑන බව කී පැස්කුවල්
මහතා එය නම් කිසිසේත් භාරදිය නොහැකි බව ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දුන්නේය.
අපි ඔහුට සුබ පතමු.
- මහින්ද
.
|