ආණ්ඩුව අස්ථාවරයි කියන්නේ මොළේ අසනීපකාරයෝ
ආණ්ඩුව අස්ථාවරයි කියන්නේ මොළේ අසනීපකාරයෝ
චන්දිම වීරක්කොඩි
නියෝජ්‍ය කතානායක
ආණ්ඩුව අස්ථාවර බවට හා ගොවියා නොතකමින් පාලකයන් කටයුතු කරන බවට හිටපු ඇමැති
හේමකුමාර නානායක්කාර මහතා එල්ල කරන චෝදනා හා ඒවාට ලබාදෙන පිළිතුරු වර්තමාන
දේශපාලන හා සමාජ ප්‍රවණතා පිළිබඳ නියෝජ්‍ය කතානායක චන්දිම විරක්කොඩි මහතා
සමඟ සිදුකළ සාකච්ඡාවකි මේ.
l ආණ්ඩුවට මෑතක් වනතුරු සහාය පළ කළ හේමකුමාර නානායක්කාර මහතා පසුගියදා
ආණ්ඩුවෙන් ඉවත්ව ගියා. එසේ ඉවත්ව ගිය ඔහු කියන්නේ ආණ්ඩුවේ අස්ථාවරත්වය නිසා ඔහු
ආණ්ඩුවෙන් ඉවත්ව ගිය බවයි. මේ ප්‍රකාශය ගැන ආණ්ඩු පක්ෂයේ ගාලු දිස්ත්‍රික්කයේ
නියෝජිතයකු විදිහට ඔබ දක්වන්නේ මොන විදිහේ අදහසක්ද?
කවුරුන් හෝ කියනවා නම් මේ ආණ්ඩුවට ඉදිරියට ගමන් කරන්න බැහැ ආණ්ඩුව අස්ථාවරයි
කියලා ඒක එහෙම්පිටින් ම බොරුවක් හා ජනතාව මුලාවට පත් කිරීමක් පමණයි. 1978
දෙවැනි ජනරජ ව්‍යවස්ථාව යටතේ පත් වු ශක්තිමත්ම හා ප්‍රබලම ආණ්ඩුව තමයි මේ
ආණ්ඩුව. එදා ජේ. ආර්. ජයවර්ධන මහතාවත් සිතුවේ නැහැ. මේ ක්‍රමය යටතේ තුනෙන් දෙකේ
බලයක් ලබා ගනී කියලා. එවැනි ප්‍රබල මතවාදිමය තත්ත්වයන් පවා දෙපළු කළ ආණ්ඩුවක්
අස්ථාවරයි කියන්නේ මොළේ අසනීපයක් ඇති කෙනෙක් විතරයි.
මේ දිනවල ප්‍රාදේශීය මට්ටමින් ශ්‍රීලනිප ප්‍රතිසංවිධාන කටයුතු කරගෙන යනවා.
එහි දී අප දකින විශේෂ දෙය තමයි කිසිදා අප සමඟ එක් නොවූ අය පවා අද අපත් සමඟ එකතු
වෙනවා. මෙය සුවිශේෂ තත්ත්වයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ විදිහේ
ප්‍රවණතාවක් තිබිය දී කවුද කියන්නේ ආණ්ඩුව අස්ථාවරයි කියලා.
හේමකුමාර නානායක්කාර මහතා ගම්මට්ටමේ අදහස් හඳුනා ගත් අයෙක්වත් නොවෙයි. සැප
වාහනවල ගිහින් කලු වීදුරුවලින් මිනිස්සු දිහා බලා රටේ යථාර්ථය කියන්න බැහැ.
l මේ ආණ්ඩුවෙන් ගොවියාටත් ගොවිතැනටත් තැනක් නොලැබෙන බවට චෝදනාවක් එල්ල
වෙනවා මේ ගැන ඔබේ අදහස කුමක්ද?
මේ විදිහේ මෝඩ අදහසක් කෙනෙක් ඉදිරිපත් කරනවා නම් ඔහු හෝ ඇය මේ රටේ පය ගහලා
ඉන්න කෙනෙක් වෙන්න බැහැ. ගොවියෝ ගැන අවබෝධයක් තියන කෙනෙක් වෙන්නත් බැහැ.
හේමකුමාර නානායක්කර මහතා තමයි මේ විදිහේ ප්‍රකාශයක් කර තිබෙන්නේ. මම
එතුමාගෙන් එක් ප්‍රශ්නයක් අහනවා. ඔබතුමා 2001 – 2004 රනිල් වික්‍රමසිංහ මහතා
ගේ රජයේත් ඇමැති ධුරයක් දැරුවා. එදා කුඹුරු ගොඩ කළ යුතු බවට රජය ප්‍රසිද්ධියේ
ප්‍රකාශ කළා. එහෙනම් එදත් නානායක්කාර මහතාට කට ඇරලා කියන්න තිබුණානේ කුඹුරු
ගොඩ කරන එක වැරැදියි ඔය වැඩේ කළොත් මම ඉල්ලා අස්වෙනවා කියන්න.
ඒත් කිසිම වෙලාවක ඔහු ඒ විදිහට කෙලින් කතා කළේ නැහැ. අද තමන්ගේ පටු පරමාර්ථ ඉෂ්ට
කරගන්න බැරිවෙද්දි තමයි එක එක දේවල් කියලා සමාජ අවධානය තමන් වෙත යොමුකර
ගැනීමට ඔහු උත්සාහ කරන්නේ. ඒ හැර මෙතැන වෙනත් දෙයක් නැහැ.
පුංචි ළමයකුට වුණත් තේරෙනවා අද කෘෂිකර්මාන්තයට විශේෂ තැනක් ලැබී තිබෙනවා
කියලා. ඉස්සර පාර දිගේ යද්දී තිබුණු බොහෝ කුඹුරු පුරන්වෙලා අද එහෙම නොවෙයි. හැම
බිම් අඟලක් ම වගා කරනවා. ගෙවතු වගාව ගැන වුණත් විශේෂ උනන්දුවක් ඇති වෙලා
තිබෙනවා. ඒ නිසා ගොවිතැනට මේ ආණ්ඩුවෙන් තැනක් ලැබෙන්නේ නැහැ කියලා පැවසීමට
කිසිදු සාධාරණ හේතුවක් නැහැ.
පොහොර සහනාධාරය ලබා දීම වුණත් මෙතෙක් ඉතිහාසයේ කිසිදු දවසක් වු දෙයක් නොවෙයි.
රුපියල් දහසකට පොහොර මල්ලක් රුපියල් තුන්සිය පනහකට ලබාදීම විශේෂ දෙයක්
නොවෙයිද? මේ විදිහේ හොඳ වැඩපිළිවෙළක් තිබියදී ආණ්ඩුව වැඩ නොකරන බවට
ගොවියාගේ අනාගතය අඳුරු කරන බවට එල්ල කරන චෝදනාව වැරැදියි.
l උතුරුමැද හා නැඟෙනහිර ජනතාව ගොවිතැන සඳහා ජලය ඉල්ලා සිටියදී ආණ්ඩුව ඡන්ද
ලබාදෙන බවට විපක්ෂය චෝදනා එල්ල කරනවා. මේ ගැන ආණ්ඩුවේ නියෝජිතයකු විදිහට ඔබේ
මතය ඉදිරිපත් කළ හැකිද?
ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ලබාදීම වරදක් බව කවුරුන් හෝ කියනවා නම්
ඔහු ඒකාධිපතිවාදයට ආවඩන්නෙක් විය යුතුයි. එහෙම නැතිව මැතිවරණයක්
පැවැත්වීම වැරැදියි කියලා අර්ථ ගන්වන්නට කිසිවකුට බැහැ. නැඟෙනහිර පළාත්
සභාවේ හා සබරගමු, උතුරුමැද පළාත්වල නිල කාලය අවසන්වීමට තව එතරම් කාලයක්
ඉතිරිවෙලා නැහැ. ඒ නිසා මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කිරීම ජන මතයට
පිටුපා යාමක් විදියට කවුරුන් හෝ කියනවා නම් එය වැරැදි අර්ථ දැක්වීමක්.
හැබැයි අද සටන්පාඨ නැති විපක්ෂය නම් නියඟය ගංවතුර පාවිච්චි කරමින් දේශපාලනය
කරන්න උත්සාහ කරනවා. මේ දේවල්වලින් අපට තහවුරු වන්නේ විපක්ෂයේ ඇති බංකොලොත්
බව විතරයි. පසුගිය දිනවල විදුලිය අද කපයි, හෙට කපයි කියලා විපක්ෂයේ අය බල බලා
සිටියා. ඒත් අද වෙද්දි ජලාශ පිරිලා ඉතිරිලා ගිහින්. හෙට අනිද්දා උතුරු මැද,
නැඟෙනහිර පැතිවලට වැස්සාම විපක්ෂයේ ඒ සටන් පාඨයත් අහිමි වෙලා යනවා.
විපක්ෂයේ වර්තමාන හැසිරිම් රටාව අනුව ආණ්ඩුවට කිසිදු අභියෝගයක් නැහැ. හැබැයි
මේ දේවල් නිසා දිනෙන් දිනම පිරිහී යන්නේ විපක්ෂයේ ප්‍රතිරූපය හා ඔවුන් වෙත වූ
ප්‍රතිරූපයන්. ජනතා ආකර්ශනය අහිමි වි යාම පමණයි වෙන්නේ. පැය හතරක් එක දිගට
වැස්සොත් ඒ නියගය පිළිබඳ සටන් පාඨයත් විපක්ෂයට අහිමි වෙනවා.
l මැතිවරණ සඳහා මුහුණදීමට ආණ්ඩුවට ඇත්තේ මොන විදිහේ සූදානමක්ද?
අප අමුතුවෙන් සුදානම් වීමට දෙයක් නැහැ. ජනතා බලය ජනතා කැමැත්ත අප වෙත තිබෙනවා.
මේ ආණ්ඩුව ඡන්දයට ඉදිරිපත් වන්නේ නිකම් ම නිකම් නොවෙයි. රටටත් ගමටත් ඉටුවිය
යුතු විශාල කාර්ය ප්‍රමාණයක් ඉටු කිරීමෙන් පසුවයි. සංවර්ධනය වගේ ම සැලැසුම්
සහගත විශාල වැඩ ප්‍රමාණයක් ආණ්ඩුව ඉටු කර තිබෙනවා. ඒ නිසා ඉදිරියේ දී පවත්වන
ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට ආණ්ඩුවට පුළුවන්කමක් තිබෙනවා.
l
මෙරට මානව හිමිකම් හා ඒ ආශ්‍රිත කරුණු පිළිබඳ කතා බහ යළිත් ඇතිවෙලා තිබෙනවා.
ආණ්ඩුවට මානව හිමිකම් සුරැකීම පිළිබඳ එල්ල වන චෝදනා ගැන ඔබේ අදහස කුමක්ද?
මේ ආණ්ඩුව ඉතාම ඉහළින් මානව අයිතීන් පිළිබඳ සැලකිල්ල යොමු කර කටයුතු කරනවා.
යුද්ධයෙන් පසු අත්අඩංගුවට පත් වු හා භාර වු අයගෙන් අතිබහුතරය මේ වනවිට
විධිමත් පුනරුත්ථාපන වැඩපිළිවෙළ යටතේ සමාජගතව සිටින්නේ. අප රටට
දිගුකාලීන ඉතිහාසයක් තිබෙනවා. මානව අයිතීන් හා ප්‍රජාතන්ත්‍රවාදය
පිළිබඳ එවැනි රටකට අමුතුවෙන් මානව හිමිකම් පිළිබඳ ටියුෂන් ලබාදීමක් කළ
යුතුව නැහැ. ඒත් අද අප රට පාලනය කර ගැනීමට ඔවුන්ගේ න්‍යාය පත්‍රවලට අනුව
නැටවීම පිණිස ඇතැම් විදේශ රටවල් සංවිධාන අපට චෝදනා එල්ල කරනවා. අපි මානව
හිමිකම් උල්ලංඝනය කරනවා කියලා. ඒත් මේවා සියල්ල දේශපාලන අවශ්‍යතා පදනම්
කරගෙන එල්ල කරන චෝදනා මිස වෙනත් අරමුණු පෙරටු කරගත් ඒවා නොවෙයි.
l සමහර මාධ්‍ය සංවිධාන මාධ්‍ය මර්දනයක් සිදුවන බවට චෝදනා කරමින් ආණ්ඩුවට
එරෙහිව උද්ඝෝෂණය කරනවා. මේ චෝදනාවල සාධාරණත්වයක් තිබෙනවා ද?
මා ඔබෙන් අහනවා ඔබට මාධ්‍යවේදියෙකු විදිහට එහෙම දෙයක් තිබෙනවා කියා
වැටහීමක් තිබෙනවාද කියා. ඔබේ හෘදසාක්ෂියට අනුව ලබා දෙන්නේ මොන විදිහේ
පිළිතුරක්ද මා දන්නා පරිදි මේ වනවිට මේ රටේ නීත්‍යානුකූල විද්‍යුත් මාධ්‍ය
ආයතන හා සේවා විශාල ප්‍රමාණයක් තිබෙනවා. දිනපතා හා සතිපතා පුවත්පත් විශාල
ප්‍රමාණයක් පළ වෙනවා. මේ කිසිදු මාධ්‍යයකට විශේෂයෙන් ආණ්ඩුවෙන් බලපෑමක්
එල්ල වෙන්නේ නැහැ. ඔවුන්ට නිදහසේ කටයුතු කරගෙන යාමට පුළුවන්කම ලැබී තිබෙනවා.
ඔවුන් නිදහසේ කටයුතු කරනවා ඉතින් මාධ්‍යයට නිදහස නැහැ කියලා කියන්නේ කවුද
ඔවුන්ගේ තර්ක මොනවාද කියන එක ගැටලුවක්. අද ඇතැම් අය මේ නිදහස වල් බුරු
නිදහසක් කරගෙන කටයුතු කරනවා. අන්තර්ජාල වෙබ් අඩවි හරහා නෛතික වගකීමක්
රහිතව සමහරු මඩ ප්‍රහාර පමණක් එල්ල කරනවා. මා කියන්නේ නැහැ සාධාරණ පදනමක්
ඇති විවේචන එල්ල කරන්න එපා කියලා එවැනි විවේචනවලින් අපට හොඳ ගමනකට අවශ්‍ය
පසුබිම සකස් කර ගන්න පුළුවන්.
ඒත් ද්වේශසහගතව පුද්ගලික මට්ටමින් කිසිවකුට ප්‍රහාර එල්ල කරනවා නම් එය
සම්පුර්ණයෙන් ම ජනමාධ්‍ය ආචාර ධර්ම පමණක් නොවෙයි යහපත් සමාජ ආචාර ධර්ම
උල්ලංඝනය වන අවස්ථාවක් විදිහට හඳුන්වා දීමේ අසාධාරණයක් නැහැ.
සාකච්ඡා කළේ
උදිත ගුණවර්ධන
.
|