කළමනාකරණයේ මූලික පාඩම ඉගෙන ගත්තේ අම්මාගෙන්

කළමනාකරණයේ මූලික පාඩම ඉගෙන ගත්තේ අම්මාගෙන්
මහාචාර්ය රංජිත් බණ්ඩාර - සභාපති, ශ්‍රී ලංකා පදනම
හිමිදිරියේ ඇහෙන සිරිමල්වත්ත රජමහා විහාරයේ තේවාව කියන්නේ, උක්කුං පුතාට දවස
ආරම්භ කරන්න වේලාව හරි කියලයි. සරම ඇතුළට ගුලිවුණු උක්කුං පුතා, තව තවත් ඇඳේ
වකුටු වුණේ තේවාව ඇසේදෝ කියලා බයෙන් වගෙයි. එසැණින් උක්කුං පුතාගේ කන වැකුණේ
ඇතුළුගෙයි වැඩ කරන එතනාට යමක් කියන අම්මාගේ ඒ ප්‍රතාපවත් ස්වරයයි.
ඒ ස්වරයට
ඇරුණු කන් ඇතිව සිටිය උක්කුං පුතාගේ මතකය අලුත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. ඔහු
ඇඳෙන් නැගිට්ටා නෙවෙයි බිමට පැන්නා. දොර ළඟ නැවතුණ උක්කුං පුතා ඇතුල් ගෙට එබිකම්
කරලා බැලුවේ කාටත් හොරෙන්. ලිපේ ඉදෙන පොළොස් ඇඹුලේ සුවඳට උක්කුං පුතාගේ කටට කෙළ
ඉනුවා. ඒ විතරක් යැ, ඔහුගේ මතකයේ සැරිසැරුවේ නිවෙසට ඉස්මත්තේ තිබෙන රන්වන් පාට
කරලින් බරවුණු කුඹුරු යායයි. මේ අපූරු දවසේ ඒ කුඹුරු යායේ වැඩ කරන අයට උයන ඇඹුල
දෙස බලාගෙනම හෙමිහිට උක්කුං පුතා මෙන්න ඇතුළුගෙට ඇදෙනවා.
“එදා ඉදුණු පොළොස් ඇඹුලේ සුවඳ මට මේ දැනුත් දැනෙනවා වගෙයි”
උක්කුං පුතා කිව්වේ ඒ සිය අතීතය සිහිපත් කරන මොහොතකයි. එදා නිවැසියන්ගේ
ආදරයට පාත්‍රවුණු උක්කුං පුතා, අද වගකීම් රැසක් හිස මත දරාගෙන සිටින
නිලධාරියෙක්. ඒ මහාචාර්ය රංජිත් බණ්ඩාරයි. ඔහු අප හා කතාබහට එක්වුණේ ශ්‍රී
ලංකා පදනමේ සභාපති ලෙස සිය රාජකාරි අතර කාර්ය බහුලත්වයේ සිටියදීයි.
දළදා හාමුදුරුවන්ගේ අණසක පතුරුවන සීමාවට අයත්වුණු සිරිමල්වත්ත කියන්නේ
අතිශය සුන්දර ගම්මානයක්. මහනුවරත්, සිරිමල්වත්තත් වෙන් කරමින් ගලා ගිය
මහවැලි ගං කොමලිය, සිරිමල් වත්ත ගමේ සුන්දරත්වය අතිශය සුන්දර කළා. ලේවැල්ලේ,
තැන්නේකුඹුර පොල්ගොල්ලේ, මඩවල කියන පාලම් හතරෙන් වටවුණු සිරිමල්වත්ත
ගම්මානයේ ජීවත් වුණේ පවුල් පනහක් හැටක් වගේ පිරිසක්.
අද බොහෝ ප්‍රසිද්ධියට පත්වෙලා තිබෙන දෙගල්දොරුව රජමහා විහාරය වගේ ම, ගංගාරාම
රාජ මහා විහාරයත් පිහිටලා තිබුණේ ගම ආසන්නයේමයි. මේ විහාරවල තේවාව වගේම
දළදා මාලිගාවේ තේවාවත් සිරිමල්වත්ත ගමට නිතර නිතර ඇසුණා. සිරිමල්වත්ත ගමේ
මුදුන්මල්කඩවුණු සිරිමල්වත්ත රජමහා විහාරයේ තේවාව අර ඇහුණු තේවාවලට දෙවැනි
වුණේ නැහැ.
දේවානම්පියතිස්ස රජුගේ කාලයේ පටන් පැවැත එනවා යැයි කියන සිරිමල්වත්ත රජමහා
විහාරය, ගමේ හැම වැදගත් කටයුත්තකදී මූලිකත්වය ගත්තා. එහි වැඩහිටිය ලොකු
හාමුදුරුවෝ ගමේ නිල නොලත් නායකයා වුණා.
ස්වයංපෝෂිත කෘෂිකාර්මික ආර්ථික රටාව නිසා ම, සිරිමල්වත්ත ග්‍රාමයට කෑමෙන්
බීමෙන් අඩුවක් නම් තිබුණේ නෑ. මේ වන විට නම් අර්ධ නාගරීකරණය කරා ගමන් කරලා
තිබෙන සිරිමල්වත්ත ගම්මානයේ, එදා තිබුණු අම්බලම අදත් දකින්නට ලැබෙන්නේ ඒ
අතීතය සිහිපත් කරමින්. රංජිත් බණ්ඩාරයන් ගමට යන හැම වෙලාවකමත්, සමහර
වෙලාවකට කොළොම්පුරවරයේදීත් තනිවුණු ඔහුගේ සිත ඒ අතීතයේ තිබුණු
සිරිමල්වත්ත ගම්මානය හොයාගෙන ගියා. ගල් පොත්තකින් වටවුණු ඉඩම් කට්ටියක
දෙවැනි ඉඩමේ පිහිටලා තිබුණු රංජිත් බණ්ඩාරගේ නිවෙස අයිති වුණේ ගමේ ප්‍රභූ
පවුලකටයි. එදා බොහොම සුන්දර ලෙස වැජඹුණ රංජිත් බණ්ඩාරගේ මහගෙදර වටවෙලා
තිබුණේ කුඹුරුවලින්. පුංචි රංජිත්ට එදා ඈතට විහිද යන වෙල්යාය සුන්දර දර්ශනයක්.
“ඒ සුන්දරත්වය කොයි තරම් ද කියලා දැනෙන්නේ, බොහොම කලබලකාරී බවක් තිබෙන මේ
පරිසරයේ එහා මෙහා යන අතරෙදියි. රත්තරන් පාට පැහැයෙන් නැමුණු වී කරල් පිරුණු
කුඹුරුවල, වේලි අතරින් දුව පැනපු ඒ අතීතය බොහොම සුන්දරයි. මම වැඩියම කැමැති
කුඹුරුවල ගොයම් කපලා පාගන දවසටයි. හුවමාරු ආර්ථික රටාවකට හුරුවෙලා හිටිය
සිරිමල්වත්ත ගමේ හිටියේ ගැමියෝ. ඔවුන් අත්තම් ක්‍රමයට තමන්ගේ කුඹුරුවල වැඩ
කළා. ගොයම් කපන දවසට මුළු ගමම බලන්න ලස්සනයි. කුඹුරු යායේ ගොයම් කපන කාන්තාවන්
කියන ගොයම් කවිවල හඬ මුළු යායෙම රැව් දුන්නා. ඒ විතරක් නෙමෙයි, අපේ කුඹුරුවල
වැඩ කරන දවසට කුස්සියේ ඉදෙන කෑමවල සුවඳ මුළු වෙල් යාය පුරාම විහිදෙන්න්, කාගෙත්
කෑම රුචිය වඩවමින්.
උදේ වගේම දවල් ඇඹුලත් එදාට ගන්නේ කුඹුර ආසන්නයේ තිබුණු, ගහකොළ වටවුණු පුංචි
බිම් තීරුවේ. පුංචි අපිත් එදාට ගමේ හැමෝම අතරට වෙලා නෙළුම් කොළේ ඇඹුල කෑවේ බොහොම
කැමැත්තෙන්. ඒ ඇඹුලේ රස විඳින්න අද පරපුරට නම් කොහෙත්ම ඉඩක් නොලැබෙන වග මට
විශ්වාසයි.
මේ වගේම තවත් ලස්සන දවසක් උදා වෙන්නේ කොළ මඬින දවසටයි. ලංතෑරුම් කිහිපයක්
වගේම, පන්දම් කිහිපයකින් එළිවුණු ඒ ස්ථානය රාත්‍රියට බලන්න ලස්සනයි. ගමේ
වැඩිහිටියො පිරිසක් එකතුවෙලා අම්බරුවන්ගෙන් කොළ මඬින ඒ දර්ශනය කොයි තරම්
සුන්දර ද? එදාට නිදි නැතිව පහන්වන ඒ රාත්‍රිය අවසාන වන්නේ පුංචි අපේ ජීවිතවලට
අත්දැකීම් රාශියක් ගෙන දෙමින්.”
රංජිත් බණ්ඩාර සිය කුඩා කල විඳි ඒ අත්දැකීම් බොහොම අපූරුයි. අද වගේ වී ටික කොටන්න
එදා යන්ත්‍ර සූත්‍ර තිබුණෙත් නෑ. රංජිත්ගේ ගෙදර කුස්සියට පිටිපස්සේ තිබුණු අගුවේ
තම්බන වී කොටන්න ගමේ ගැහැනු වටවුණා. මෝල්ගස් විස්සක් විතර, එහා මෙහා වෙන වී ඇට
අතරින් බොහොම ඉක්මනට හාල් ඇට මතුවුණා. නිවෙසේ තිබුණු අටුවට වගේම වී ගබඩාවටත්
තිබුණේ පුදුම ගෞරවයක්.
මේ වගේ අපූරු පරිසරක හැදුණු වැඩුණු රංජිත්ට, ගමේම අය කතා කළේ හීන් නිලමේ කියලා. ඒ
අතර තවත් සමහරු කතා කළේ රංජිත් බණ්ඩා කියලයි. නිවෙසේ අය නම් රංජිත්ට ආමන්ත්‍රණය
කළේ උක්කුං මල්ලි කියන ආදරණීය නාමයෙන්. නිවෙසේ කාටත් වඩා අම්මගේ ආදරය දිනාගෙන
ඉන්න රංජිත්, අම්මාට උක්කුං පුතා වුණා.
පවුලේ ඔක්කොම හයදෙනයි. ලොකු අක්කා පුංචි
කුමාරිහාමි. ඊළඟට ලොකු අයියා. ඔහු විජේරත්න බණ්ඩා. අපේ කතානායකයා පවුලේ
තුන්වැනියා.
සිව්වැන්නි ගීතා චාන්දනී කුමාරිහාමි. බඩපිස්සි ප්‍රියන්ති ධම්මිකා
කුමාරිහාමි. බඩපිස්සා පාලිත බණ්ඩාර. හිටිහාමි මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ
මේ හයදෙනාම රැකබලා ගත්තේ ඇහැක් වගේ. රාජපක්‍ෂ වාසල තෙන්නකෝන් මුදියන්සේලාගේ
ඩිංගිරි බණ්ඩා, බණ්ඩාර මැණිකේට වගේම, දරුවන් හයදෙනාටත් බොහොම ආදරය කළ
පියතුමෙක්. සැමියෙක්.
“අපේ අප්පච්චිගේ මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රැකියාව නිසා ගමේ වැඩි කාලයක්
ඉන්න ලැබුණේ නෑ. අපි හයදෙනාත්, අම්මවත් තනි කරලා ඔහු හිටියේ නුවරින් ඈත
පොළොන්නරුවේ, නැත්නම් අනුරාධපුරයේ කියන ගම්වලයි. මේ නිසා ගෙදර ප්‍රධානියා
විදියට අපට අණසක පැතුරුවේ අම්මා. අපේ උරුමය බවට පත්වුණේ අම්මා. ඈ ඉස්කෝලේ
නොගිහින් තිබුණත්, අපේ දෑස් පාදන්න ඒක හේතුවක් වුණේ නෑ.
ඈ බොහොම පෞරුෂයක් තිබුණ දක්‍ෂ, එඩිතර කාන්තාවක්. වසරෙන් වැඩි හරියක් ගමෙන්
පිට ඉන්න අප්පච්චි නැතිව අපි හයදෙනෙක් ඇතිදැඩි කිරීම ලෙහෙසි පහසු කාරියක් නම්
නොවෙයි. කොහොම වුණත් ඇය ඒක කළා.
හදිසියේම මේ ශක්තිමත් අත්වැල බිඳ දමමින්, එහි මුල් පුරුක ඔවුන් හැරදා යන්නේ,
දරුවන් සයදෙනෙකුගේ බර බණ්ඩාර මැණිකේගේ කර මත හොවමින්. ඒ හරියටම 1975
වසරයි. අප්පච්චිගේ වියෝව සිය දරුවන්ට නොදැනෙන අයුරින් කටයුතු කිරීමට ඇය ඉටා
ගත්තා. එතැන් පටන් තම දරුවන්ට අම්මා වගේම අප්පච්චි ද වූයේ ඇයයි.
”මොන දේ වුණත් සියයට සියයක්ම නුවර සම්ප්‍රදාය අපේ ගෙදර ක්‍රියාත්මක වුණා.
අප්පච්චි මිය ගියාට පස්සේ, ඒ හැම දෙයක්ම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වුණා. අපේ
අම්මා යකඩ ගැහැනියක් වුණා. අපි හයදෙනාටම ශිල්ප සතර ලබා දෙන්නත් ඈ අමතක කළේ
නැහැ. ඇගේ ආර්ථික කළමනාකරණය කොයි තරම් ඉහළ මට්ටමක තිබුණාද කිව්වොත්, ඇය
දරුවන් සයදෙනෙකුගේ සියලු කටයුතු ඉටු කළේ අපේ වත්තෙන් ලැබෙන ආදායමෙන්.
දරුවෝ
හයදෙනෙකුට ඉගැන්වීම වගේ ම, උස්මහත් කිරීම සුළුපටු කාරණයක් නෙවෙයි.
විශේෂයෙන්ම ගැහැනියක් විදිහට ධෛර්යයෙන් කටයුතු කිරීමේ අපූරු පුරුද්ද ඇගේ
පරම්පරාවෙන් ඇයට ලැබුවක් ද කියලත් අද මට හිතෙනවා. කළමනාකරණය පිළිබඳ
මූලික පාඩම මම ඉගෙන ගත්තේ අම්මාගෙන්. ඒ ලැබූ පාඩම් ජීවිතයේදී මට අද දක්වාම
ප්‍රයෝජනවත්. අද මා ලැබූ මගේ ජයග්‍රහණ පසුපස සිටින්නේ ඇගේ යෝධ සෙවනැල්ලයි.”
අප්පච්චි මිය ගියාට පස්සේ රංජිත්ට ඒ අඩුව එතරම්ම නොදැනුණේ අම්මා නිසා. ඒ වගේම
රංජිත්ගේ නිවෙසෙ ගැවසුණු පිරිසත්, ඒ අඩුව සම්පූර්ණ කළා. නිතරම වගේ නිෙවසේ
කටයුතු කරන්නට වගේ ම, කෑමකට වුණත් දහ දොළොස් දෙනෙක් රංජිත්ගේ නිවෙසේ හිටියා.
රංජිත්ගේ අම්මා බණ්ඩාර මැණිකේ, තමන්ගේ නිවෙසට උදව්වක් ඉල්ලගෙන ආව කිසිම කෙනෙක්
හිස් අතින් ඇරියේ නෑ. නිතරම වගේ පැමිණි කාරණය ගැන කතා කරන්නට පෙර, ඒ අමුත්තට
කහට කෝප්පයක් සංග්‍රහ කරන්න ඇය අමතක කළේ නෑ. මේ නිසාම පැය විසිහතර පුරාම වතුර
කේතලය තිබුණේ ලිපේමයි. මේවාගේ සොඳුරු ගති සිරිත් උකහාගෙන හැදුණු රංජිත්,
මුලින්ම පාසල් ගියේ සිරිමල්වත්ත රජයේ ඉස්කෝලෙටයි. බඩවැටියේ, වෙල් ඉපනැල්ලේ
දඟල දඟල හිටිය රංජිත්ගේ මේ කටයුතුවලට සම්මාදන් වුණු යාළුවෝ කිහිප දෙනෙක් ඔහුට
සිටියා. කුඩා කාලයේදීම දඟ ළමයෙක් වුණු නිසාදෝ, රංජිත්ට දවසක් මුහුණ දෙන්න සිද්ධ
වුණේ හරිම අකරතැබ්බයකට.
එදා වෙසක් පුර පසළොස්වක පෝය දිනයක්.
හැමදාමත් මමත්, මගේ යාළුවොත් උදැහැනැක්කෙම මහවැලි ගඟ අසබඩ තියෙන වැලි තලාව
ළඟට යන්න අමතක කරන්නේ නැහැ. ඒ තැන තියෙන බෝල බෝල ගල් අපි හතර පස්දෙනා ඇහිදින්නේ
තරගයට වගේ. මේ බෝල ගල් සාක්කුවල පුරව ගත්ත අපි, පාසල් යන්නේ ඊට පස්සේ. එදත් අපි
සිල් ගන්න යන්නට පෙර, බෝල ගල් සාක්කුවේ පුරවා ගත්තා. දවල් දවසේ සිල්ගත්ත අය භාවනා
කරන කොට ශාලාවේ තිබෙන්නේ අපූරු නිශ්ශබ්දයක්.
හදිසියෙම අපේ එක යාළුවෙක් එක ගලක් අරගෙන සිමෙන්ති පොෙළාවට දැම්මා. අපේ
අවාසනාවට ඒ ගල වැදුණේ එතැන සිටිය ගැහැනු ළමයෙකුගේ ඇඟේ. ඒ ළමයා හයියෙන්ම කෑ
ගහන්න පටන් ගත්තා. මීයට පිම්බා වගේ තිබුණු ශාලාව නොසන්සුන් වෙන්න වැඩි වෙලාවක්
ගියේ නෑ. මේ ගැන දැනගත්ත විදුහල්පතිතුමා, එතැන සිටිය අපි හයදෙනාම නැඟිටින්න
කියලා සාක්කු පරීක්‍ෂා කළා.
අවසානයේ අපි හැමෝටම අඹගහ මුල දණ ගහගෙන ඉන්න සිදුවුණා. ගමේම අය දන් අරගෙන පාසලට
ආවා. මුළු ගමටම මේ සිද්ධිය ආරංචි වෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. වැරැදි විදියට
ආරංචි වුණු මේ සිද්ධිය නිසා අපට ඇතිවුණේ ලැජ්ජාවක්. අනිත් ළමයින්ව මවුපියො ඇවිත්
ගෙදර අරගෙන ගියා. මාව එක්කගෙන යන්න ආවා. අම්මට මම කිව්වේ, මීට පස්සේ මට නම්
ඉස්කෝලේ යන්න බෑ කියලයි. ඈ ඒකට දුන්න උපදේශය අද වගේ මට මතකයි.”
“උඹ මේ ඉස්කෝලෙට එන්න ඕන නෑ. ශිෂ්‍යත්වය පාස් වුණොත් උඹට වෙනත් ඉස්කෝලෙකට යන්න
පුළුවන්”
උපක්‍රමශීලීව කටයුතු කළ මගේ අම්මා මාව ධෛර්යමත් කළේ ඒ විදිහටයි. මගේ
අනාගතය පිළිබඳ ගත් ඒ මඟ පෙන්වීමෙන්, ඇගේ දුරදක්නා නුවණ පිළිබඳ අපට අපූරු
පාඩමක් උගන්වනවා.”
රංජිත්ට සිද්ධ වුණු මේ අකරතැබ්බයෙන් ඔහු බේරගත්තේ රංජිත්ගේ අම්මා. ගමේ
ඉස්කෝලයෙන් ඈත් වෙන්න ඕන නිසා ම රංජිත් පුතා මහන්සියෙන් පාඩම් කළා. වෙනදාට වඩා
පොතපතට අවධානය යොමු කළා. ඔහුගේ සිතේ ඇතිවුණු ධෛර්ය නිසා ම, ශිෂ්‍යත්වය ඉතා
උසස් ලෙස සමත් වෙන රංජිත් පුතා, ගමේ පාසලෙන් ඉවත් වන්නේ තමාගේ අභිමතාර්ථ ඉෂ්ට
කරගන්නයි.
“අම්මගෙන් ලැබුණු ධෛර්යයත් අරගෙන මම හොඳට ඉගෙන ගත්තා. මට වුවමනා වුණේ
විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නයි. ඒ සිහිනය සැබෑවක් වෙමින් පේරාදෙණිය
විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න තරම් මං වාසනාවන්ත වුණා. එහිදී මාගේ අවධානය
යොමුවුණේ ආර්ථික විද්‍යාව විෂයටයි.”
1983 වසරෙන් ආරම්භ වෙන රංජිත්ගේ විශ්වවිද්‍යාල ගමනේදී ජීවිතය බේරෙන්නේ අනූ
නමයෙන්. ඒ 88 - 89 කලබල කාලයයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට ඔහු
අත්අඩංගුවට ගන්නෙ කිසිදු වැරැද්දක් නැතිවමයි. ඔහුගේ අතුරුදන්වීම පිළිබඳ
බණ්ඩාර මැණිකේට ලැබුණ ආරංචි, ඇගේ පපුව පැලිලා යන තරම්. කොහොම වුණත් රංජිත් පුතාගෙ
කියලා ඒ වෙනකොට ලැබුණු මිනිය භූමදානය කරන්න පවුලේ හැමෝම එකතු වුණා. මේ අතර
රංජිත් පුතා ගෙදරට ආවේ, ඒ හැමෝම පුදුමයට පත් කරමින්. මේ සියලු කරදර බාධක මැද
රංජිත්, පේරාදෙණියෙන් කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණෙන්නේ 1990 වසරේ ඔක්තෝබර්
08 වැනිදා. ඒ පශ්චාත් උපාධි කටයුතු ආරම්භ කරන්නයි. එතැනින් ආරම්භ කරන සිය
අධ්‍යාපන ගමනේ සංධිස්ථානයක් වන්නේ 1993 වසරයි. ඒ එම විශ්වවිද්‍යාලයේම ඔහුට
ලැබෙන කථිකාචාර්ය ධූරයයි. එතැනින් ආරම්භ කරන සිය අධ්‍යාපන ගමන නම් හිණිමඟේ
ඉහළට නැඟීම ආරම්භ වන්නේ ඉන් පසුවයි.
1993 වසරේදී රංජිත් සිය මවු රටට සමු දෙන්නේ, නෝර්වේ කෘෂිකර්ම විශ්වවිද්‍යාලයට
පිවිසෙන්න. ඒ ඔහුට ලැබුණු ශිෂ්‍යත්වයත් සමඟ විද්‍යාවේදී උපාධිය සඳහා 1995
වසරේදී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන මේ ශූර තරුණයා, 1996 වසරේදී නැවතත්
විදෙස් ගතවන්නේ ස්වීඩනයේ ගොතම්බර්ග් විශ්වවිද්‍යාලයට යෑමේ අපේක්‍ෂාවෙන්.
ඉන් පස්සේ ඔස්ට්‍රේලියාවේදී සිය ආචාර්ය උපාධිය අවසාන කරන සොඳුරු තාරුණ්‍යයේ
සිටිනා රංජිත්, නැවත සිය මවුරට බලා සමුදුර තරණය කරන්නේ 2004 වසරේදීයි. මෙතෙක්
කලක් කළ කැපකිරීම් හා උත්සාහයේ ප්‍රතිඵල මත, සිය ජීවිතයේ වාසනාව උදාකර
ගත්තාවූ රංජිත් බණ්ඩාරට මහාචාර්ය පදවියක් පිරිනැමෙන්නේ මේ අතරය. ඒ 2009
වසරයි. පිරිනැමෙන මහාචාර්ය පදවිය ඔහුට ලැබෙන්නේ හිණිමඟේ ඉහළටම ගමන් කිරීමේ
අප්‍රතිහත ධෛර්ය නිසාවෙන්.
වර්තමානය වන විට රාජ්‍ය සේවයේ යෙදී සිටින ක්‍රියාකාරීකයෙකු ලෙස ඔහු තුළ ඇත්තේ
නිහතමානී ආඩම්බරයක්. උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ
ආර්ථීක උපදේශක, බැංකු මූල්‍ය පර්ෂදයේ බැංකු මූල්‍ය අධ්‍යක්‍ෂවරයා ලෙසත්,
ජාතික ආර්ථික කවුන්සිලයේ සාමාජිකයෙක් ලෙස සහ මර්චන්ට් බැංකු සමූහයේ ජ්‍යෙෂ්ඨ
අධ්‍යක්‍ෂවරයා ආදී තනතුරු රැසක්ම දරයි.
ගමේ ඉපදී හැදී වැඩුණු ඔහු තවමත් පෙර ලෙසම ගමට දක්වන ආදරය එලෙසමයි. ඒ අතීතය
සිහිකරමින් ගෙවන අවිවේකී ජීවිතයේ විවේකයක් ලබන්නට ඔහු යන්නේ සිය කුඩා කල
ස්මරණය කරනා ගමේ මහගෙදරටයි. අප හමුවන විටත් ශ්‍රී ලංකා පදනමේ සභාපති ලෙස
කටයුතු කරමින් ඔහුගේ දැනුම බෙදා දෙන මේ සොඳුරු ගමනේ ඔහු පිටුපසින් සිටිනා අනෙක්
සෙවණැල්ල බිරිය ප්‍රදීපා විජේසිංහයි.
”අම්මාගෙන් පස්සේ මගේ ජීවිතයේ සෙවණැල්ල වුණේ ප්‍රදීපා. ප්‍රදීපාව මට
මුණගැසෙන්නේ මගේ ගුරුවරයෙක් වූ මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් නම් හිටපු උප
කුලපතිතුමාගේ නිවහනේදී. මේ තරම් දුරක් එන්න මට පාර කිව්වේ, බිරියක් ලෙස
ඇගෙන් ලැබුණු සහයෝගයයි. ධනංජය හා කණිෂ්ක බණ්ඩාර කියන පුතාල දෙන්නත්. මගේ පුතාලා
මෙන් මා ළඟම සිටිනා සචී, දිලුම්, සමීර කියන පුතාලත් අපේ පවුලට ගේන්නේ අපූරු
සුන්දර බවක්. ඒ වගේම මගේ ගමන එන්න උදව් කළ මගේ ගුරුවරු ඇතුළු හැමෝමත් මා සිහිපත්
කළ යුතුයි. මේ තරම් ආයතන රාශියක වැඩ කටයුතු කිරීමේ වගකීම බාර දුන් හා ඒ යම් යම්
කටයුතුවලින් මා නිදහස් කළ ජනාධිපතිතුමාවත් සිහිපත් කරන්න මම අමතක
කරන්නේ නැහැ.”
මහාචාර්ය රංජිත් බණ්ඩාර නම් වූ මේ සොඳුරු මිනිසාගේ නිහතමානී ගතිය අපට
සිහිකරන්නේ, ගමේ කුඹුරේ කිරිවදින්න කිරිවදින්න බිමට නැමෙන වී කරලක්. සිය
ජීවිතයේ සොඳුරු බව තුරුලු කරගත් ඔහු සිය නිහඬ බවෙන් අපට කියන්නේ කතාවක්. ඒ
ජීවිතය කියන්නේ, වැඩ නොකර සිටීමට වඩා වැඩ කිරීමට ඇති කාලපරිච්ඡේදයක් බවයි.
සටහන
තිලානි ශානිකා විතානාච්චි
සේයාරූ
තුෂාර ප්‍රනාන්දු
.
|