දේශපාලනඥයන් සහ නිලධාරීන් ජනතා සේවය කාර්යක්ෂමව කළ යුතුයි

කොළඹ දිස්ත්‍රික් විශේෂ සංවර්ධන කමිටු රැස්වීම

දේශපාලනඥයන් සහ නිලධාරීන් ජනතා සේවය කාර්යක්ෂමව කළ යුතුයි

ජනපති මහින්ද රාජපක්ෂ අවධාරණය කරයි

සංවර්ධන ක්‍රියාවලිය පහසු කිරීම සඳහා පත් කර තිබෙන දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු මඟින් ජනතා සේවය කාර්යක්ෂමව කිරීමට දේශපාලනඥයන් හා නිලධාරීන් වග බලා ගත යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ කොළඹ දිස්ත්‍රික් විශේෂ සංවර්ධන කමිටු රැස්වීමට කොළඹ පදනම් ආයතනයේදී 13 වැනිදා එක්වෙමිනි.

ඛණිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා- ජනාධිපතිතුමා පෞද්ගලිකව අධීක්ෂණය කරන වැඩපිළිවෙළක් ලෙස පසුගිය වසරේ බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනේම ප්‍රගති සමාලෝචන රැස්වීම් පානදුරේදී පැවැත්වුණා. අද නැවතත් කොළඹ දිස්ත්‍රික් රැස්වීම පැවැත්වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් කරන ලද සමාලෝචනයන් හා නිලධාරීන්ගේ වාර්තා පදනම් කරගෙන පූර්ව සූදානමක් ඇතිව ජනාධිපතිතුමා ඉදිරියේ ප්‍රගතිය සමාලෝචනය කර ගැටලු සාකච්ඡා කරනවා.ශ්‍රී ලංකාවේ අගනගරය ලෙස කොළඹ සංවර්ධන ප්‍රගතීන් හා ඉදිරි සැලසුම් සාකච්ඡා කිරීම බලාපොරොත්තුවයි.

කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්. ඩී. කමල් පද්මසිරි මහතා- අපි ප්‍රාදේශීය හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලදී හඳුනා ගත් ගැටලු හා ඒවා විසැඳීමට පියවරත් දිස්ත්‍රික් මට්ටමින් අපට විසඳා ගැනීමට නොහැකි ගැටලුත් අද ඉදිරිපත් කෙරෙනවා. වර්ග කිලෝමීටර් 663. 83ක වර්ග ප්‍රමාණයකින් සමන්විත කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක් තිබෙනවා. ජාතික මට්ටමේ සාක්ෂරතාව සියයට 91. 3ක් වන විට කොළඹ දිස්ත්‍රික්කයේ සාක්ෂරතාව සියයට 94. 1ක ඉහළ අගයක් ගන්නවා. ඒ වගේම ජාතික මට්ටමේ සියයට 8.9ක් වන දරිද්‍රතාව කොළඹ සියයට 3. 6 යි.

ජාතික සවිය ගමනැගුම වැඩසටහන යටතේ 2006- 2011 වර්ෂ සඳහා ව්‍යාපෘති 3598ක් සඳහා රුපියල් මිලියන 1429.21ක් වැය කර තිබෙනවා. මාර්ග කාපට් කිරීමේ ව්‍යාපෘතිය යටතේ මාර්ග කිලෝමීටර් 124 කින් 91 ක් දැනට අවසන් කර තිබෙනවා. දිවිනැගුම යටතේ පවුල් 83550ක් ආවරණය කළා. කොළඹ දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර් 6932 ක් ඇති අතර මෙට්‍රික් ටොන් 260000ක වාර්ෂික වී නිෂ්පාදනයක් වාර්තා වෙනවා. පුරන් කුඹුරු හෙක්ටයාර් 890ක් නැවත වගාවට කටයුතු යොදා තිබෙනවා.

ධීවර ක්ෂේත්‍රය සළකා බැලූ විට වර්ෂ 2016 වන විට මත්ස්‍ය අස්වැන්න මෙට්‍රික් ටොන් 600 දක්වා ඉහළ දැමීමට ඉලක්ක කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ආදායමක් නැති ජල සම්පාදනය ඉහළ අගයක් ගන්නවා. එය සියයට 49. 3ක්. කාන්දුවීම්, නීතිවිරෝධී ජල සැපයුම්, අපතේ යාම් ආදිය මේ ආදායමක් නැති ජල සම්පාදනයට අයත් වෙනවා. එම ප්‍රමාණය සියයට 9.4 දක්වා අඩු කිරීමට ඉලක්ක කර තිබෙනවා. වර්ෂ 2016 වන විට දිස්ත්‍රික්කයේ ජලසම්පාදනය සියයට 83 දක්වා ඉහළ දැමීම අරමුණයි.

දිස්ත්‍රික්කයේ විදුලිය ඇති ප්‍රමාණය සියයට 99ක් වන අතර එය සියයට 100 දක්වා ඉහළ දැමීමට සැලසුම් කර තිබෙනවා. ලක්ෂ 24 ක ජනගහනයක් සිටින කොළඹ දිස්ත්‍රික්කයේ ඒ ශ්‍රේණියේ මාර්ග කිලෝමීටර් 166ක් බී ශ්‍රේණියේ මාර්ග කිලෝමීටර් 258ක් තිබෙනවා. මේ වන විට වැඩ අරඹා ඇති පාලම් 12ක් මේ වසරේ අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. පිටත වටරවුම් මාර්ගයේ දෙවැනි අදියර මේ වන විටත් ඇරැඹී අවසන්. පෑලියගොඩ සිට ජාඇල දක්වාත් මැලිබන් හන්දියේ සිට පානදුරේ නල්ලූර් දක්වාත් මාර්ග සංවර්ධනයට ලෝක බැංකු ආධාර් යටතේ කටයුතු කරනවා.

හඳුනා ගෙන ඇති ව්‍යාපෘති ලෙස බත්තරමුල්ල සිට කොල්ලුපිටිය දක්වා නව මාර්ගයක් ඉදිකිරීම, බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීම, මුහුදුබඩ මාර්ගය දෙහිවල දක්වා දීර්ඝ කිරීම, ගොඩගම රත්නපුර මාර්ගය දීර්ඝ කිරිම, කැලණිසිරි පාලමේ සිට කොස්වත්ත දක්වා මාර්ගය දියුණු කිරීම පෙන්වා දිය හැකියි. දිනකට කොළඹ නගරයකට වාහන ලක්ෂ 15ක් පමණ ඇතුළු වෙනවා. තදබදය අවම කිරිමට සැලසුම් සකසා තිබෙනවා.

ජනප්‍රිය පාසල්වලට විසැඳුමක් ලෙස ද්වීතීක පාසල් දහසේ ව්‍යාපෘතිය යටතේ පාසල් 47ක් සංවර්ධනය කරන්නට සැලසුම් කර තිබෙනවා. වර්ෂයකට උසස් පෙළ විභාගයෙන් සියයට 28ක් අසමත් වන අතර මේ අය කිසිදු වෘත්තීය පුහුණුවක් නැතිව සමාජයට යනවා. මේ ගැටලුවට පිළියම් ලෙස හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය හා රත්මලාන කොතලාවල විද්‍යාලය මඟින් වෘත්තීය පුහුණුව ලබාදීමට කටයුතු කරනවා. දිස්ත්‍රික්කයේ අඩුම අධ්‍යාපන ප්‍රතිශතයක් ඇත්තේ හෝමාගම අධ්‍යාපන කොට්ඨාසය තුළයි.

ජනාධිපතිවරයා- හෝමාගම ද අඩුම ?

අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා - වර්ෂ 2016 දී හෝමාගම කොළඹ දිස්ත්‍රික්කයේ පළමු තැනට ගෙන ඒමයි අපේ ඉලක්කය.

දිස්ත්‍රික් ලේකම්වරයා- සෞඛ්‍ය දර්ශක අතින් කොළඹ ඉදිරියෙන් සිටිනවා. ජාතික තලයේ ජනගහනයෙන් දහසකට වෛද්‍යවරුන් 7ක් සිටින විට කොළඹ 15.8ක් සිටිනවා. හෙදියන් 24. 07 ක් සිටිනවා. ඩෙංගු රෝගයෙන් 2011 වසරේ රෝගීන් 57ක් ජීවිතක්ෂයට පත් වූ අතර 2012 වසරේ මේ වන විට 24 දෙනකු මියගොස් සිටිනවා. ජූනි මාසයේ පමණක් රෝගීන් 650ක් වාර්තා වුණා. ග්‍රාම නිලධාරීන් සාම නිලධාරීන් ලෙස පුහුණු කිරීමට යෝජනා කරනවා

ජනාධිපතිවරයා - දැනටමත් පොලීසිය ඒක කරනවා නේද ?

පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා - ඔව් ජනාධිපතිතුමනි අපි ඒ වැඩපිළිවෙළ අරඹා තිබෙනවා.

පළාත්සභා මන්ත්‍රීවරයෙක් - ජනාධිපතිතුමනි, වෙනිවැල්පොළ අමණු කඩලා අලුත් අමුණක් හදන්න යනවා. ඇස්තමේන්තුව මිලියන 17 ක්. නමුත් අක්කර 450 ක් ඒකෙන් විනාශ වෙනවා.

නිලධාරියෙක් - මම ඒ ගැන බලලා වාර්තාවක් දෙන්නම්.

ඇමැති බන්දුල ගුණවර්ධන මහතා - මේකට දැන් වසර දෙකක්. එක එක නිලධාරීන් ඇවිත් කතා කරලා යනවා විතරයි. වගකීම එක එක අයට පවරනවා.

ජනාධිපතිවරයා- නිලධාරීන් මේ ගැන දන්නවාද ?

නිලධාරීයෙක්- ඒක පත්තරවල දැක්කා.

ජනාධිපතිවරයා - වහාම මේක සාකච්ඡා කරන්න. මට වාර්තා කරන්න ඕනෑ නෑ. මට කියන්න මේ වසර අවසන් වන විට මේ වැඩේ කරනවා කියලා.

මම රොබට් ගුණවර්ධන මාවතට ගියා. එතැන තිබෙනවා විශාල කුඹුරක් පුරන් වෙලා. කඩුවෙල ආසනයේ. ඒක වවන්නෙත් නැහැ. අයිතිකරුවෝ බලන්නෙත් නැහැ.

බස්නාහිර පළාත් ඇමැති උදය ගම්මන්පිල මහතා - අපි පුරන් කුඹුරු අස්වද්දන්න අවශ්‍ය දේ දෙනවා. නමුත් කුඹුරු අයිතිකරුවෝ කැමැති ඒ කුඹුරු ගොඩකරන්න. ගොවිජන කොමසාරිස්ට බලය තිබෙනවා කුඹුරු අස්වද්දන්න පවරා දෙන්න. වගා කරන්න කැමැති අයත් ගොඩක් ඉන්නවා.

ජනාධිපතිවරයා - කැමැති අය නම් ගොඩක් ඉන්නවා. ඒ පාරත් හොඳ නැහැ.

කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා - කොළඹ නම් මේ වගේ කුඹුරු අස්වද්දන්න විශාල සමාගම් කැමැත්තෙන් ඉන්නවා. නමුත් ඒ අය ඉල්ලන්නේ අක්කර 50 ට වැඩි කුඹුරු.

ජනාධිපතිවරයා - එච්චර කුඹුරු කොහෙද තිබෙන්නේ ?

ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා - මේ වගේ කුඹුරුවල කාලයක් තිස්සේ වගා නොකිරීම නිසා පස වෙනස් වෙලා. ඒවා භාවිතා කරන්නේ අතිරේක බෝග වගාවට.

ගොවිජන සේවා නිලධාරියෙක් - අපේ පනත අනුව අතිරේක බෝග වගාවට ඉඩ තිබෙනවා.

ජනාධිපතිවරයා - ගොඩ නොකර ඕනේ දෙයක් කරන්න. ඒ අයිතිකරුවෝ ගෙන්නලා සාකච්ඡා කරන්න. නීතිය පෙන්වලා දෙන්න ඒ අයට.

නිලධාරියෙක් - හංවැල්ල, කඩුවෙල හා හෝමාගමට ජලය දෙන්න ව්‍යාපෘතියක් තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 1400 ක් වැයවෙනවා. මේකට මුදල් හොයා ගන්න පුළුවන් ක්‍රම දෙකකට. එකක් තමයි මුදල් අමාත්‍යාංශයෙන් ලබා ගැනීම. අනෙක පත්තරවල දැන්වීම් දාලා ආයෝජකයන් සොයා ගැනීම.

ජනාධිපතිවරයා - මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරන්න.

ඇමැති බන්දුල ගුණවර්ධන මහතා - රටේ ක්‍රියාත්මක නව සංවර්ධන ව්‍යාපෘති සමඟ ජලය සැපයීමේ ගැටලුවක් තිබෙනවා. හෝමාගම පමණක් නව ව්‍යාපෘති පහක් කෙරෙනවා. හෝමාගම අධ්‍යාපනය ගැන කතා කළොත් අපිට ජාතික පාසල් දෙකයි තිබෙන්නේ. කොළඹට ජාතික පාසල් 29ක් තිබෙනවා. ඒ නිසා අපි හෝමාගමට වැඩිවැඩියෙන් පහසුකම් දෙන්න ඕනෑ.

ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා- ඒ ගැන අවධානය යොමු කර ඊට මූලික සැලසුම් හදලා තිබෙනවා. එක යෝජනා ක්‍රමයකට රුපියල් මිලියන 1100ක් යනවා.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් - ජනාධිපතිතුමනි අලුතෙන් හදපු මාර්ගය ජලය දෙන්න කැඩුවා. තාම හදලා නැහැ.

ජනාධිපතිවරයා - මම හැමදාම කියනවා පාර හදන්න පෙර මේවා සැලසුම් කරන්න කියලා. නැතිනම් පාර හදලා පසුවදා කඩනවා ජලය දෙන්න. මම 2005 ඉඳන් කියන කතාවක් මේක.

මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා -

අපි මාර්ග අලුත්වැඩියා කරන විට ජලනළ ඉවතට ගන්න වෙනවා. නැතිනම් ඒවා කාන්දු වෙලා නැවත පාර කැඩෙනවා. ඒ වගේම මණ්ඩලය නිතරම නිවෙස්වලට සම්බන්ධතා දෙනවා. ජල සම්පාදන මණ්ඩලය ජලනළ එළියට ගන්න මුදල් ඉල්ලනවා. ඇතැම්විට පාර හදනවාට වඩා මුදලක් යනවා ඒ සඳහා. නමුත් අපිට එතරම් ප්‍රතිපාදන ලැබෙන්නේ නැහැ. අපි දැන් පාර හදන කොන්ත්‍රාත්කරුටම ජලනළ එලන්නත් දෙනවා.

ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරයෙක් - ජනාධිපතිතුමනි, අපේ ප්‍රදේශයේ පවුල් 1500කට ජලය දෙන්න මාර්ගය කඩන්න බැහැ කියනවා. කිලෝමීටර් 9 යි කඩන්න වෙන්නේ. මම නියෝජ්‍ය ඇමැතිතුමාගේ ලියුමක් අරගෙන ගියා ලේකම්තුමා ළඟට. එතුමා ඒක විසි කළා.

ජනාධිපතිවරයා - මේ ලේකම්තුමා ගැන පැමිණිලි ලැබිලා නැහැ. ප්‍රථම වරට ඔයාගෙන් තමයි පැමිණිල්ලක් ලැබුණේ.

මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා- මේ අය මුදල් දෙන්නේ නැහැ.

ජනාධිපතිවරයා- එහෙම බැහැ. පාරට මුදල් දෙන්න ඕනෑ.

නාගරික මන්ත්‍රීවරයෙක් - ජනාධිපතිතුමා මම ඒකට දෙනවා මුදල්.

ජනාධිපතිවරයා - ඔය තියෙන්නේ. මෙයාගෙන් ගන්න මුදල්. හෙට මුදල් අරන් අනිද්දා ඉඳන් වැඩේ කරන්න. කාපට් කරන්න ගියාම ඇති වන ප්‍රශ්නයක් මේක. ජල නළ දාලා ඉවර වුණාම පාර හදන්න ගන්න. පාර දෙපසින් තීරුවක් වෙන් කරන්න බැරිද ?

මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා - සමහර මාර්ගවල ඒකට ඉඩ නැහැ.

ජනාධිපතිවරයා- සේවා කෝරිඩෝරයක් තියන්න බැරිද ? ඒක තමයි හොඳම ක්‍රමය. මේ ඉඩම්වල කාණුව කපලා වැඩේ කරලා වහලා ඒ අයටම දෙන්න.

මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා - ඒ ගැන සාකච්ඡා කරන්නම්.

ජනාධිපතිවරයා - ඒක බලන්න. අපි ඉඩම් අයිති අයට මුදලුත් ගෙවනවානේ.

මහරගම නගරාධිපතිනිය- දුම්රිය පොළ පාර අලුත්වැඩියා කර දෙන්න. ඒක කොට්ටාවට විකල්ප මාර්ගයක්. ඒ වගේම සියඹලාවත්ත පවරා දෙන්න.

මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා - ඒක පළාත් සභා මාර්ගයක්.

පළාත් ඇමැති නිමල් ලාන්සා මහතා - ඒක එතරම් වැදගත් මාර්ගයක් නොවෙයි. අපි මුදල් වෙන් කළාම මේ අය වෙන පාරවල් හදා ගත්තා.

ප්‍රාදේශීය ලේකම්වරිය - සියඹලාවත්ත පවරා දීම ගැන යෝජනාව අමාත්‍යාංශයෙන් දෙන්න ඕනෑ.

පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා - යෝජනාව ලැබිලා නැහැ.

ජනාධිපතිවරයා- නගරාධිපතිතුමිය යෝජනා හිතේ තියාගෙන ඉඳලා වැඩක් නැහැ ඉදිරිපත් කරන්න. ප්‍රාදේශීය ලේකම්තුමිය තමන්ට ලැබිලා තියෙන බලතල භාවිතා කරන්න. මේ යෝජනා ආවාම ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීමක් තිබෙනවා. අපේ පළාත්වල මන්ත්‍රීවරුන් යෝජනාවක් ගෙනාවාම ප්‍රාදේශීය ලේකම් තමයි කරන්නේ සේරම.

පළාත් ඇමති උපාලි කොඩිකාර මහතා- කොට්ටාව නගර සැලසුම.

ජනාධිපතිවරයා - ඉතිහාසය ඕනේ නැහැ. මුල්ගල් තියපුවා පෝලිමක් තිබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරිය- ඒ සැලසුම් සකස් කරගෙන යනවා. ප්‍රතිපාදනවල ගැටලුවක් තිබෙනවා.

මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා - අපි කොට්ටාව තදබදය ගැන ආරක්ෂක ලේකම්තුමා සමඟ කතා කළා. ඒකට විසඳුම තමයි කොට්ටාව බස්නැවතුම අධිවේගය අසළට ගෙනයාම.

ඇමැති පාඨලී චම්පික රණවක මහතා - කොට්ටාව වෙනස් නොකළොත් අධිවේගයෙන් වැඩක් නැහැ.

මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා - ඉක්මනින්ම කරන්න පුළුවන් දේ තමයි බස්නැවතුම ගෙන යන එක.

ජනාධිපතිවරයා -

මටත් මේ ගැන කියනවා සමහරු. ගාල්ල ඉඳන් විනාඩි පනස් පහෙන් ආවා. නමුත් කොළඹට යන්න පැයක් යනවා කියනවා.

ඇමැති ගාමිණී ලොකුගේ මහතා- පිළියන්දල මාර්ගයෙන් කොළඹ එන්න පැය එකහමාරක් යනවා.

ජනාධිපතිවරයා- මහාමාර්ග ගැන වෙන දවසක කතා කරමු. ඒකට සාකච්ඡාවක් කැඳවන්නම්.

කොටිකාවත්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් - ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල මාර්ගය ඉතාම අබලන්. පාලම් සියල්ලම කැඩිලා. ගුවන් පාලමේ ලයිට් නැහැ.

ජනාධිපතිවරයා- විදුලි බල මණ්ඩලය තමයි ලයිට් දෙන්නේ.

ඇමැති පාඨලී චම්පික රණවක මහතා- කවුරු හරි මුදල් දෙනවා නම් අපි විදුලිය දෙනවා.

පළාත් සභා මන්ත්‍රීවරයෙක් - ගුවන් පාලම නගර සභාවට බාර දෙනවා නම් ගෙවන්න පුළුවන්.

ඇමැති පාඨලී චම්පික රණවක මහතා - ඒක අපිට අයිති කාර්යයක් නොවෙයි.

මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා- වසර 15කට විතර පෙර මේ මාර්ගය සකස් කර තිබෙනවා. පාර පුළුල් කරන්න බැරි පාර හදනවා වගේ දෙගුණයක් වන්දි ගෙවන්න වැය වෙන නිසයි. දැනට කාපට් කරලා තිබුණත් දුර්වලතා තියෙනවා. පාලම් දෙකක් අබලන්. ඒවා පාලම් ව්‍යාපෘතිය යටතේ හදනවා. පාර පටුයි. නිතරම කන්ටේනර් යන මාර්ගයක්. පාර හැදුවත් පටු නිසා තදබදයට විසඳුමක් නැහැ.

ජනාධිපතිවරයා - පාලම් ව්‍යාපෘතිය යටතේ පාලම් දෙක හදන්න.

කඩුවෙල නගරාධිපතිවරයා - බලධාරියා නගර සභාව වුණත් සංවර්ධන කටයුතු කරන්නේ ප්‍රාදේශීය ලේකම්. ජනතාව අපට බනිනවා.

ජනාධිපතිවරයා - එහෙනම් මීට පස්සේ කඩුවෙලට වැඩ කරන්න එපා.

ඇමැති විමල් වීරවංශ මහතා - ජනාධිපතිතුමනි නගර සභාවේ වගකිවයුත්තන් සංවර්ධන කමිටු රැස්වීමට එන්නේ නැහැ. ඒ අය එනවා නම් ගැටලුවක් නැහැ.

ජනාධිපතිවරයා- කොළඹ නගර සභාවේ මේ කිසිදු ගැටලුවක් නැහැ. නාගරික සංවර්ධන අධිකාරිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ වැඩ කරගෙන යනවා. කවුරු කළත් අන්තිම ප්‍රයෝජනය එන්නේ රටට. ජනතාව වෙනුවෙන් කරන දේට අරයාගේ බලතල, මෙයාගේ බලතල කියලා බලන්න එපා. තමුන්ලත් සම්බන්ධ වෙන්න. රජය දිස්ත්‍රික්, ප්‍රාදේශීය සංවර්ධන කමිටු පත් කර තිබෙන්නේ සංවර්ධන ක්‍රියාවලිය පහසු කරන්න. එහෙම බලතල ගැන හිතේ තියාගෙන වැඩ කරන්න බැහැ. ඒ බලතල පොදුවේ රටට, ජනතාවට සෙතක් වන විදියට යොදා ගත යුතුයි.

පළාත් සභා මන්ත්‍රීවරයෙක් - ජනාධිපතිතුමාගේ මෙහෙයවීම යටතේ එක ගමකට එක වැඩක් වැඩසටහනින් අපට දුන් මුදල් වියදම් කරන්න ලැබෙන්නේ නැහැ.

අපි කඩුවෙල ආසනයේ වැඩකරන්න ව්‍යාපෘති තෝරා ගත් විට නගරාධිපතිතුමා අපිට කලින් ගිහින් ඒවායේ වැඩ පටන් ගන්නවා. නමුත් කරන්නේ භාගයයි. ජනාධිපතිතුමා අපට දෙන දේ ජනතාවට දෙන්න වෙන්නේ නැහැ මේ නිසා.

ඇමැති විමල් වීරවංශ මහතා - මේ කාරණය නිසා ව්‍යාපෘති 19ක් ප්‍රතික්ෂේප වුණා.

ජනාධිපතිවරයා - මේවා එකතු වෙලා කරන්න ඕනේ දේවල්. කොළඹ නගර සභාවට මේ මොන ගැටලුවක්වත් නැහැ විපක්ෂයේ නගර සභාවක් වුණාට. මනාප, ඡන්ද ගැටුම් ඒ කාලෙට තියාගන්න. නගරාධිපතිතුමාට තමයි හොඳ නම එන්නේ පාර හොඳ වුණොත්.

ඇමැති විමල් වීරවංශ මහතා - එතුමාට මම ආරාධනා කරනවා සංවර්ධන කමිටුවට එන්න කියලා.

ඇමැති බන්දුල ගුණවර්ධන - යම් ආසනයකට එහෙම කරන්න බැරි තරම් මුදල් තියෙනවා නම් ඒ මුදල් අපිට දෙන්න කියලා ඉල්ලා සිටිනවා.

මහරගම මහ නගර සභාවේ විපක්ෂ නායක- ජනාධිපතිතුමනි අපි සතුටු වෙනවා පළාත් පාලන මන්ත්‍රීවරුන්ට වැඩක් කරන්නට ඉඩකඩ ලබා දීම ගැන. අපිට එලෙස මුදල් ලැබෙන්නේ නැති නිසා අපි වැඩ කරන්න මුදල් ගන්නේ අපේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිපාදනවලින්. නමුත් නගර සභාව අපිට ඉඩ දෙන්නේ නැහැ.

නගර සභාව කරන වැඩවලට වඩා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කරන වැඩ කල් පවතිනවා. අපි මන්ත්‍රීවරුන් හරහා වෙන්කර ගන්නා මුදලින් නම් කරන ලද ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා වැඩ කරන්න ඉඩ දෙන ලෙස ඉල්ලා සිටිනවා.

මහරගම නගරාධිපතිනිය- එහෙම ප්‍රශ්නයක් නැහැ. ව්‍යාපෘතියකට ලක්ෂ පහක් යනවා නම් ඒ මන්ත්‍රීවරු දෙන්නේ ලක්ෂයක් වුණත් අපි ඉතුරු ලක්ෂ හතර දාලා වැඩේ කරනවා. නමුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එහෙම කරන්නේ නැහැ.

ජනාධිපතිවරයා - ඒ අයට ප්‍රාදේශීය ලේකම් හරහා වැඩ කරගන්න ඉඩ දෙන්න. පාර්ලිමේන්තුවෙන් එන සල්ලි භාවිතා කරන්න. ඔහොම කරන්න ගියොත් කිසිම වැඩක් කරන්න වෙන්නේ නැහැ. රාජධානි පිහිටුවා ගන්න එපා. දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් එකතුවෙලා වැඩ කරන්න. පළාත් පාලන ආයතන කිසිවකුගේ රාජධානියක් ලෙස සළකන්න එපා. තමන්ගේ කියලා වෙන් කර ගන්න ගියාම තමයි ප්‍රශ්නය.

කොළොන්නාව නගර සභා මන්ත්‍රී ප්‍රින්ස් ගුණසේකර මහතා - මාදින්නාගොඩ පාලම අබලන්. ඒක ඉදිකරන්න ඕනේ.

ජනාධිපතිතුමා-ලේකම්තුමා ඒක බලන්න.

ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයෙක් - ජනාධිපතිතුමනි කුඹුරක් මැදින් පෞද්ගලික තාක්ෂණ විද්‍යාලයකට පාරක් දෙන්න හදනවා.

ජනාධිපතිවරයා- කුඹුරු මැදින් පාරවල් දෙන්න බැහැනේ. ඒ ගැන බලන්න.

පොලිස්පතිතුමා රථවාහන තදබදයට මොකද කරන්නේ ?

පොලිස්පතිවරයා - යෝජනා දෙකක් තිබෙනවා රථවාහන තදබදයට විසඳුම් ලෙස. රථවාහන තදබදය අධික ස්ථානයක් තමයි කඩුවෙල මංසන්ධිය. එතැනට ගුවන් පාලමක් ඉදිකළ යුතුයි. අනෙක් ස්ථානය කොහුවල මංසන්ධිය. එතැනටත් ගුවන් පාලමක් අවශ්‍යයි.

ජනාධිපතිවරයා - දුම්රිය මාර්ග නවීකරණය කිරීමේ කටයුතු කොහොමද ?

ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා - කොටුව සිට අවිස්සාවේල්ල දක්වා දුම්රිය මාර්ගය නවීකරණය කර අවසන්. නමුත් එම මාර්ගයේ නැවතුම් ස්ථාන 35 ක් තිබෙනවා. එක නැවතුමක මිනිත්තු දෙක බැගින් නතර කළත් මින්ත්තු හැත්තෑවක් ගත වෙනවා. ඒ නිසා මේ මාර්ගයේ ගමනාන්තයට පැය තුනක්වත් යනවා.

ජනාධිපතිවරයා - දුම්රිය නතර කළ යුතු ස්ථාන අලුතෙන් හඳුනාගෙන අවශ්‍ය පියවර ගන්න. මෙතැනට ගිහින් බලන්න. ඇවිදින එක ඇඟටත් ගුණයිනේ. දේශපාලන නායකත්වය සමඟ එකතුවෙලා තීරණයක් ගන්න.

ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා - අපි මොරටුව විශ්ව විද්‍යාලය සමඟ එකතු වෙලා සමීක්ෂණයක් කරනවා කොළඹ තදබදය ගැන. ඒ අය අලුතෙන් සැලසුම් කරමින් යනවා තදබදය අවම කිරීම ගැන. තව සති දෙකකින් ඒ වාර්තාව ලැබෙයි.

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා