හොරෙන් ඕස්ට්‍රේලියාවට යන්න හැදූ 127ක් අත්අඩංගුවේ

හොරෙන් ඕස්ට්‍රේලියාවට යන්න හැදූ 127ක් අත්අඩංගුවේ

109ක් නැගෙනහිර මුහුදේදී 18ක් හලාවත-පුත්තලමෙන්

නීති විරෝධීව ඕස්ට්‍රේලියාව බලා ධීවර යාත්‍රා දෙකකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් 109ක් නැගෙනහිර මුහුදේදීත් තවත් පුද්ගලයන් 18ක් හලාවත හා පුත්තලම ප්‍රදේශයේදීත් නාවික හමුදා සහ පොලිස් අත්අඩංගුවට පත් වුහ.

නැගෙනහිර මුහුදේදී බහුදින ධීවර යාත්‍රා දෙකකින් ගමන් කරමින් සිටි පිරිස සිකුරාදා (14) රාත්‍රි නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ත්‍රිකුණාමලය නාවික ජැටියට රැගෙන ආ අතර මේ පිරිස අතර සිංහල ජාතිකයන් අට දෙනෙකු වන බවද නාවික හමුදාව පෙන්වා දෙයි. මේ 13 දා වාලච්චේන මුහුදු තීරයෙන් දියත් වී යමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගත් පිරිස තලවාකැලේ වාලච්චේන හලාවත කල්පිටිය මඩකලපුව යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. අත්අඩංගුවට ගත් මේ පිරිස අතර නිති විරෝධී ගමනට එක්වූ පොලිස් කොස්තාපල්වරයෙකු වන බවද නාවික හමුදා නිලධාරියෙක් පැවසීය.

මේ පිරිස වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතය. මේ මිනිස් ජාවාරමට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා නීති විරෝධී ගමනට එක්වූ පිරිසකගෙන් ප්‍රශ්න කරගෙන යන බවද නාවික හමුදාව කියයි. බහුදින ධීවර යාත්‍රාවක් උපයෝගී කර ගනිමින් හලාවතට නුදුරු මුහුදින් ඕස්ට්‍රේලියාව බලා යාමට සූදානම්ව සිටි පුද්ගලයන් දහ අට දෙනෙකු හා ඊට අනුබල දුන් තිදෙනෙකු හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (15) අලුයම 2.30 ට පමණ හලාවත නගරයේ ස්ථාන දෙකකින් හා මුන්නේශ්වරම දේවාලය ආසන්නයේ මේ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මේ පිරිස යාපනය මුලතිව් ත්‍රිකුණාමලය ආදි ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

මෙම ජාවාරමට සහය පල කළ බවට සැක පිට හලාවත ප්‍රදේශයේ පදිංචි තිදෙනෙකු හා උඩප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 4 දක්වා මුදලක් ඕස්ට්‍රේලියාව බලා ගමන් කිරීම සඳහා එක් පුද්ගලයෙකු ලබාදී ඇති බවට මෙතෙක් කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

මෙම පුද්ගලයන් සතුව ගමන් මලු බිස්කට් ඇතුළු ආහාර ද්‍රව්‍ය බෙහෙත් හා ධීවර යාත්‍රා උපකරණ කිහිපයක් සමග රුපියල් ලක්ෂ හයාමාරක මුදලක් අත්අඩංගුවට ගෙන ඇත. දැනට මාස දෙකක පමණ සිට හලාවත උඩප්පුව ආදි ප්‍රදේශවලින් ඕස්ට්‍රේලියාව බලා යාත්‍රා කිහිපයක් ගමන් කළ බවට තොරතුරු වාර්තා ලැබෙන අතර සැලකිය යුතු ප්‍රමාණයක් මෙලෙස ඕස්ට්‍රේලියාව බලා ගොස් ඇති බවටද තොරතුරු ලැබී ඇති අතර ආරක්ෂක සේවයට සම්බන්ධ දෙදෙනෙකු ද ඒ අතර සිටිති.

හලාවත මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් රණගල මහතාගේ උපදෙස් පරිදි හලාවත පොලිසියේ නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර සැකකරුවන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා