තම්මැන්නාවේ මැණික් අලෙවියෙන් ලැබූ රු. ලක්ෂ 170 පවුල් 47කට බෙදයි

තම්මැන්නාවේ මැණික් අලෙවියෙන් ලැබූ රු. ලක්ෂ 170 පවුල් 47කට බෙදයි

කතරගම, තම්මැන්නාව මාර්ගයේ තිබී හමු වූ මැණික් ගල් විකිණීමෙන් ලැබුණු රුපියල් ලක්ෂ එකසිය හැත්තෑවක මුදල ප්‍රදේශයේ පවුල් හතලිස් හතක් අතර බෙදා දීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තීරණය කරයි.

කතරගමදී ඉකුත් 13 වැනි දින පැවැති ‍ප්‍රථම මැණික් වෙන්දේසියේදී අළෙවි වූ මැණික් ගල් දෙකකින් මෙසේ ලබා ගත් මුදල එක් පවුලකට රුපියල් ලක්ෂයක් පමණ වන පරිදි බෙදා දීමට අධිකාරිය කටයුතු යොදා ඇති බව එම අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් නිමල් බණ්ඩාර මහතා “දිනමිණ“ ට පැවැසීය.

වෙන්දේසි කළ මැණික් ඉඩම් කට්ටි හයක ගැරීම් කටයුතු ඉතිරි වී ඇති බවත් ප්‍රථමයෙන් වෙන්දේසි කළේ මාර්ගයේ තිබූ ඉල්ලම් පසින් හමු වූ මැණික් බවත් ඒ මහතා පවසයි.

මැණික් වෙන්දේසිය කතරගම ප්‍රදේශයේ සාර්ථකව සිදු නොවූ බවත් ඒ සඳහා සුදුසු ප්‍රදේශයක වෙන්දේසිය පැවැත්වීමට කටයුතු යොදමින් සිටියදී සුලු පිරිසකගේ දැඩි ඉල්ලීම මත එම ප්‍රදේශයේ සිදු කළ බවත් හෙතෙම කීය. වැඩි මුදලකට මැණික් අළෙවි කොට ප්‍රදේශයේ සමෘද්ධිලාභී පවුල් 47 වෙත බෙදා දීම අධිකාරියේ අපේක්ෂාව වූ බවද ඒ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

කෙසේ වුවද සාධාරණ ලෙස ජනතාව වෙත මැණික් ඉල්ලමෙන් ලැබූ අදායම බෙදා දීමට කටයුතු කරන බවත් ඉතිරි ඉඩම් කට්ටිවල ගැරීම් කටයුතු කඩිනමින් ආරම්භ කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා